මම එදා වගේම හෙටත් රටත් ජනතාවත් සමග සිටිනවා – ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර අගමැති මහින්ද රාජපක්‍ෂ පාක්‍ෂිකයන් අමතමින් කියයි

255

පවතින අර්බුදයට විසඳුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව කළ සියලු පාර්ශ්වයන්ට ඉදිරියේදී රටට මුහුණ දීමට සිදුවන අභියෝග භාරගැනීමට ඉදිරිපත් වන ආකාරය දැක ගත හැකි වන බවත් ජනාධිපතිවරයාට බාධාවකින් තොරව ඒ සම්බන්ධයෙන් තීණ්දුවකට එළඹිය හැකි බවත් ධුරයෙන් ඉවත්වීමට පෙර අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස බලකිරීමට විශාල පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ එම ජනතාව අමතමින් මේ බව සඳහන් කළ හිටපු අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

රජයක් විදියට අපට මුහුණදෙන්න සිද්ධ වුණේ ඒ අලුත්ම අභියෝගවලට. වෙනදා අවුරුදු හතරකට පහකට වියදම් වෙන සෞඛ්‍ය වියදම අපිට එක අවුරුද්දෙ දරන්න සිදුවුණා. ඒක මා අමුතුවෙන් කිවයුතු නැහැ. සංචාරක කර්මාන්තයෙන්, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අපට අහිමි වුණා. ජනතාවගේ ජීවිත ආරක්‍ෂාවට මුල් තැන දුන්න නිසා ඇත්තටම අපට බොහෝ දේ අහිමි වූ බව ඔබ දන්නවා.

අද විරුද්ධ පක්‍ෂය රටේ ආර්ථික අර්බුදය මතින් තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙන යන බව රහසක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. අපි එකතුවෙලා රට ගොඩගමු කිව්වත් ඒ ආරාධනාවට ඔවුන් පයින් ගැහුවා. තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් ගන්න කිව්වත් ඔවුන් ඉන්නෙ දෙලොවක් අතර, හරියට ආසයි බයයි වගේ. ගන්නවද? නැද්ද? ආසයි ගන්න. හැබැයි බයයි.

මෙතැනදි ජනතාවට වගකියනවා නම්, රටට වග කියනවනම් මේ වගේ රිවස් ගහන ජනතා නියෝජිතයන් නම් ඔබව රකියි කියලා මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ.

එදා 2015 දී අපි පරාජයට පත්වුණා. මම දේශපාලනයෙනුත් සමුගෙන ගෙදර ගියා. මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසයයි. ඔබලා තමයි එදා මැදමුලනට ඇවිල්ල මාව ඇදගෙන ආවේ. එදා ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා. ඒ කඳවුරත්, ඒ ජනතාවත් අපි අතරත් අප වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා.

ජනතාවට හැමදාමත් හිස නමපු නායකයෙක් විධියට මම දැන් ඔබෙන් අහනවා, අපි දැන් මොකද කරන්නේ කියල?

(ජනතාව කෑ ගසමින් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්නොවන ලෙස කියයි)

ඒ කියන්නේ මම ඉල්ලා අස්වෙන්න ඕනේ නැහැ. ඔබ දන්නවා දේශපාලනයේදී මම හැමදාම හිටියේ රටේ පැත්තේ. ජනතාවගේ පැත්තේ.

මට මගේ ජීවිතයේ සදා නොමැකෙන සිහිවටනයක් තියෙනවා නම් ඒ තමයි දෙකඩ වෙන්න ගිය මේ මාතෘභූමිය ඔබට රැකදෙන්න පුළුවන් වුණා කියන සිහිවටනය මට තියෙනවා. ඒක තමයි මගේ ජීවිතයේ සාදානුස්මරණීයම සිහිවටනය වෙන්නෙ. ඒ නිසා මේ මැයි මාසේ කියන්නේ අපි ඒ ජයග්‍රහණය ජනතාවට දුන්නු මාසය.

මේ රටේ අනාගතය වෙනුවෙන් එදා වගේම හෙටත් ඔබ එක්ක එක තීරණයකට එන්න අපි සූදානම් කියන එක කියන්න ඕනේ. ඒ විශ්වාසය කවදාවත් වෙනස් වෙන්නෙ නැති බව මම ඔබට සිහිපත් කරනවා. මම හැමදාමත් කිව්වේ, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවැනුවත් මව්බිම කියලයි.

ඒ නිසා කුමන හෝ ක්‍රියාමාර්ගයකින් ජනතාව හමුවේ ඇති ආර්ථික පීඩාව ඉතා ඉක්මනින් අවසන් වෙනවා දකින එක තමයි අපේ එකම පරමාර්ථය, ප්‍රාර්ථනාව යැයි ද ඔහු කීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment