මම තවම කවියට ළදරුවෙක් – ශෂික සදීප්

288

කවිය සිය හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෙස භාවිතා කරන ශෂික සදීප් කෙටි කලක් තුළ කාව්‍ය ලැදි රසික පර්ශද තුළ ඉහළින්ම තහවුරු වූ තරුණ නිර්මාණකරුවෙක්ය. අන්තර්ජාල වේදිකාව තුළින් කවියට අත්පොත් තබන ශෂික ග්‍රන්ථකරණය නම් සංස්කෘතික අඩවියට පා තබන්නේ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ‘අම්මපයි මං කඩුව දුන්නා…’ මුද්‍රණයෙන් නිකුත් කරමින්ය.

 පහත පළවන්නේ ඉහළ පාඨක අවධානයක් දිනා ගැනීමට සමත් එම කාව්‍ය සංග්‍රහය පිළිබඳව ශෂික සදීප් සමඟ සිදුකළ පිළිසඳරකි.

මම තවම කවියට ළදරුවෙක් - ශෂික සදීප්


ඩිජිටල් අවකාශය කියන්නෙ හොඳ නිදහසක්. ඉඩක් තිබෙන තැනක්. මම හැදුණෙ වැඩුණෙත් එතැන තමයි. ඒ හරහා විශාල පිරිසක් හඳුනා ගන්නත් පුළුවන්. නමුත් ඒ අයත් සැරිසරන්නෙ ඒ අවකාශය තුළමයි. එතනදී මම තීරණයක් ගත්ත ඒ හඳුනාගැනීම් භෞතිකව සිදුකරන්න නම් පොතක් කළ යුතුයි කියල.

 ඔබ සමාජ මාධ්‍ය ඇසුරෙහි සැදී වැඩුන කවියෙක්. ඒ ආරම්භය ලබා ගත්තෙ කොහොමද?

 මගේ ආරම්භය සිද්ධවෙන්නෙ යමක් පිළිබඳව නිර්මාණාත්මකව හිතන්න ගැනීමත් සමඟයි. ඒ සිතුවිලි වචන බවට පත් කරන්න අවශ්‍ය මෙවලමක් විදියට මම ඩිජිටල් තාක්‍ෂණය පාවිච්චි කරන්න ගත්ත. ඒ තුළින් තමයි මගේ කවිය කවියට ඇල්මක් දක්වන විශාල පිරිසක් අතරට යන්න ගත්තෙ. නමුත් ඊට පෙරත් උසස් පෙළ ශිෂ්‍යයෙක් ලෙස කවියත් සමඟ ඇසුරක් ගොඩනංවාගන්න මම යම් යම් උත්සාහයන් ගත්තා. නමුත් මගේ අම්ම, තාත්ත දෙන්නවත් ඒ බවක් දන්නෙ නෑ. නමුත් මම දැනගෙන හිටිය මට යමක් පිළිබඳ කිසියම් දෙයක් හෝ දැනෙනව නම් ඒව වචන බවට පත් කරල තවත් පිරිසක් අතර බෙදාගන්න කවිය පාවිච්චි කරන්න පුළුවන් කියල.

 විදේශගතව රැකියාවක් කරන අතරෙ තමයි ඔබ තුළ පැවති නිහඬ කවිකම අවදිවෙන්නෙ. ඒ සඳහා පසුබිම සැකසෙන්නෙ කොහොමද?

 අදින් වසර 05කට පමණ පෙර මම ලංකාවෙන් කොරියාව බලා පිටත් වෙද්දී මගේ ළදරු කවිකමත් අරගෙන තමයි ඒ ගමන යන්නෙ. ඒ ගියාට පස්සෙ නන්නාඳුනන මිනිස් සමූහයක් අතරෙ දැනෙන්න ගත්ත තනිකම, හුදෙකලාව විසින් මාව කවිය දෙසට නැවත යොමුකළා කිව්යොත් වඩාත් නිවැරදියි. එතනදී නැවත මම කවි ලියන්න ගන්නව. එහෙම ලියන කවිය ලංකාවට එවන්න මම පාවිච්චි කරන්නෙ ඩිජිටල් තාක්‍ෂණය. කාලයක් ඒ දේ කරගෙන යද්දී මගේ කවියට යම් වටිනාකමක් හිමිවෙන්න ගන්නව. නිර්මාණයක් සමාජ මාධ්‍යයට මුදාහැරියට පස්සේ ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර හරහා මම තේරුම් ගත්ත කවියත් සමඟ මට ගමනක් තිබෙනව කියල.

 කවිය පමණක් නොවෙයි ගීතය කියන කලා මාධ්‍ය ගත්විටත් වත්මන් තරුණ පරපුර අතර ඔබ යම් ජනප්‍රියත්වයක් හිමිකරගත් නිර්මාණකරුවෙක්. ඒ ඉලක්කය ජය ගත්තෙ කොහොමද?

 කවියේම දිගුවක් ලෙස තමයි මගේ ගීත කීපය ශ්‍රාවකයන් අතරට යන්නෙ. ඒ ගීත පිළිබඳ විශ්වවිiාල ඇතුළෙ කතා කරන්න ගන්නව. ඒ වගේම වෙනත් වෙනත් විචාරක අවධානයට ලක්වෙනවා. රූපවාහිනි වැඩසටහන් කීපයක කතාබහට ලක්වෙනව. ඊට අමතරව සමාජ මාධ්‍ය ඇතුළේ විශාල පිරිසක් විසින් ඒ ගීත කීපය ශ්‍රවණය කරනවා. මේ කියන කාරණත් එක්ක මම රටින් පිට හිටියත් මගේ නිර්මාණ පිළිබඳව යම් සමාජ කතිකාවක් ඇතිවෙනවා. ඇත්තටම මා සතු යම් හැකියාවක් පවතිනවා නම් ඊට වාසනා ගුණයත් එක්වීමෙන් මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න ඇති කියල මම විශ්වාස කරනවා.

 එහෙම වටපිටාවක් ඇතුළෙ තමයි ඔබේ මුල්ම නිර්මාණ එකතුව “අම්මපයි මං කඩුව දුන්නා” කාව්‍ය සංග්‍රහය නිකුත් වෙන්නෙ. ඇයි ඩිජිටල් අවකාශයෙන් මහපොළොවට බහින්න තීරණය කරන්නෙ.

 ඩිජිටල් අවකාශය කියන්නෙ හොඳ නිදහසක්. ඉඩක් තිබෙන තැනක්. මම හැදුණෙ වැඩුණෙත් එතැන තමයි. ඒ හරහා විශාල පිරිසක් හඳුනා ගන්නත් පුළුවන්. නමුත් ඒ අයත් සැරිසරන්නෙ ඒ අවකාශය තුළමයි. එතනදී මම තීරණයක් ගත්ත ඒ හඳුනාගැනීම් භෞතිකව සිදුකරන්න නම් පොතක් කළ යුතුයි කියලා. මේ සමාජ ආර්ථික වටපිටාව ඇතුළේ පොතක් කරනවා කියන්නෙ විශේෂයෙන්ම කවි පොතක් එළිදක්වනව කියන්නෙම අභියෝගයක්. නමුත් ඒ වන විට මා වටා කවියට ඇලුම් කරන පිරිසක් සිටින හින්ද මම ඒ අවදානම භාර අරගෙන මගේ ප්‍රථම නිර්මාණ එකතුව ‘අම්මපයි මම කඩුව දුන්නා’ නමින් එළිදැක්වූව.

 පොතක් එළිදැක්වීම තුළින් බරසාර සංස්කෘතික අඩවියකට පිවිසෙන්න ඔබට අවස්ථාව ලැබෙනව. කුළුඳුලේ ඒ අත්දැකීම විඳගත්තෙ කොහොමද?

 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට දින කීපයකට පෙර තමයි ඒ කටයුත්ත සිද්ධ කරන්නෙ. ඉන් අනතුරුව පැවති පොත් ප්‍රදර්ශනය තුළත් ඉන් පිටතත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පැවතුණා. මගේ පොත හොයාගෙන ආව කිසි කෙනෙක් ඒ වන තෙක් මගේ කවිය මිසක් මාව දැකල තිබුණෙ නැහැ. මුහුණු පොතේ ලියනවට වඩා කඩදාසියෙ ලියවෙන මුද්‍රිත අකුර කොච්චර බරද කියල මොනතරම් හෘදයාංගමද කියල මගේ ප්‍රථම කවි පොත එළිදැක්වීමේදී මා විසින් අවබෝධ කරගත්ත. කවි පොතක් සඳහා ශාලාවක් පිරෙන්න සෙනඟක් එනව කියන්නෙම ලොකු ජයග්‍රහණයක්.

 දීර්ඝ අභ්‍යාස කාලයකින් අනතුරුව තමයි සාර්ථක කවියෙක් බිහිවිය යුත්තෙ. ඉහත සඳහන් කළ ආකාරයට ඔබ මේ ක්‍ෂේත්‍රයට පිවිසිල වසර 05ක් පමණයි තවම ගත වී තිබෙන්නේ. දැනට ඔබ රැඳී සිටින ආස්ථානය පිළිබඳ තෘප්තිමත් ද?

 නැහැ. මේ ආරම්භයක් පමණයි. ඒ ආරම්භයත් එක්ක විශාල පිරිසක් මා වටා එකතුවීමේ සතුට මා තුළ පවතිනවා. නමුත් කවියෙක් වශයෙන් මම තාමත් ඉන්නෙ ළදරු අවදියෙ. ඒ හින්ද ඉදිරිය කියන්නෙ කවිය පිළිබඳ තව තවත් හැදෑරීම් සහ අභ්‍යාසයන්ගේ නිරත විය යුතු කාලයක්. ජනප්‍රිය වීමයි කුසලතාපූර්ණ වීමයි කියන්නෙ දෙකක් කියල අවබෝධය සහිතව තමයි මම කටයුතු කරන්නෙ. ඒ නිසා මගේ පරම්පරාවට පෙර ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ සහ අද පරම්පරාවේ කවි කිවිඳියන් පසුපසින් ඔවුන්ව හදාරමින් මගේ ගමන යනවා. පොතක් වශයෙන් මගේ නිර්මාණ එකතුවක් ජනගතවීමත් එක්ක මම වඩාත් යහපත් සාහිත්‍ය සමාජයකට අවතීර්ණවුණා කියන හැඟීම නිතරම දැනෙන්න ගත්ත.

 ස්ත්‍රී ආත්මය විවරණය කරන්න ලොකු උත්සාහයක් ගත් බවක් මෙම කාව්‍ය සංග්‍රහය තුළ දකින්න ලැබෙනව. ඒ සඳහා බලපාන ලද සුවිශේෂී හේතුවක් පවතිනවද?

 මගේ නිර්මාණ එකතුව ගත්විට එය කාව්‍ය නිර්මාණ 52කින් සමන්විතයි. ඒ නිර්මාණ අතරින් ස්ත්‍රිය සම්බන්ධව නිර්මාණය වූ කවි 13ක් පමණ තිබෙනවා. ඒකට එක හේතුවක් තමයි මම රටින් බැහැරව වෙනත් රටක ජීවත්වීම. එතනදී ඒ රටේ ගැහැනිය සහ අපේ රටේ ගැහැනිය පිළිබඳ සංසන්දනාත්මකව බලද්දී තවමත් අපේ රටේ ජීවත් වෙන්න සංස්කෘතික ගැහැනියක්. ඒ රටේ ගැහැනියක් විඳින නිදහස සැහැල්ලුව අපේ රටේ නැහැ. ඔන්න ඔය වගේ කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් නිර්මාණකරණයේ යෙදීම හේතුවෙන් වෙන්න ඇති ගැහැනිය කේන්ද්‍ර කරගත් නිර්මාණ ගණනාවක් මගේ පොතට ඇතුළත් වෙන්නෙ. ‘අම්මපයි මං කඩුව දුන්නා’ කියන නිර්මාණයට යොදාගත් නමින් තමයි පොත නම් කරන්නෙ. කඩුව දුන්න තමයි. දෙන්න හේතුව මෙන්න මේකයි කියන කාරණය ඒ නිර්මාණය ඇතුළෙ තිබෙනවා. අපේ රටේ ගැහැනියව ඒ අපවාදයෙන් නිදහස් කරන්න තමයි මම ඒ නිර්මාණයෙන් උත්සාහ කරන්නෙ.

 අවසන් වශයෙන් ඔබේ නිර්මාණ කියවන, විඳින රසික ප්‍රජාව වෙත යමක් පවසන්න තිබෙනවද?

 මගේ නිර්මාණ රසවින්ද යමෙක් වේ නම් ඒ අයගෙන් මම ඉල්ලා සිටිනවා ඒ ඒ නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ මාව දැනුවත් කරන්න කියල. මොකද ඒ තුළින් මගේ ඉදිරි නිර්මාණ ජීවිතයේ හරි පාර හොයාගන්න මට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දැනට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඉමහත් සතුටක් ලැබෙනවා. අහම්බයෙන් වගේ මේ ලැබුණ ඇගයීම දිගටම රැකගන්න මම කැමතියි. මේ ජනප්‍රියත්වය තුළ වඩාත් සාර්ථක නිර්මාණකරුවෙක් වීම මිසක් මගේ සෙවණැල්ලට මාව වැහිල යනව දකින්න මම කැමති නැහැ.

සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment