මම තාමත් ක‍්‍රිකට් ගහන්නෙ තාත්තගේ හීනය වෙනුවෙන් – චමරි අතපත්තු

353

යම්තම් අවුරුදු තුන හතරක් වූ කාලයේ පටන් බෝලෙට බැට් එකෙන් තට්ටු කරමින් කොල්ලෙක් වගේ ක‍්‍රිකට් ගහන්න සැරසුණු කෙල්ලක් ගොකරැුල්ලේ වූවාය. ශ‍්‍රී ලංකාව 1996 දී ක‍්‍රිකට් ලෝක කුසලානය ජයග‍්‍රහණය කරන අයුරු නිදි වර්ජිතව නරඹනවිට ඇයගේ වයස අවුරුදු හයකි.

 ශ‍්‍රී ලංකාව එදා ලෝක ශූරයන් වනු දැකීමෙන් සිය සිත තුළ ඇතිව තිබූ ක‍්‍රිකට් ආදරය තවත් උද්දීපනය විණි. ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් වීමට සිහින දකිමින් එදා නින්දට ගිය ගොකරැුල්ලේ මේ පුංචි කෙල්ල අද කාන්තා ලෝක ක‍්‍රිකට් පිටියටම මහත් අභියෝගයක් වී ඇත. ලෝක ක‍්‍රිකට් ශූරියන් පවා ඇය ඉදිරියේ දණින් නැවෙන මේ අන් කවුරුවත් නොව රටත් ලෝකයත් දන්නා චමරි අතපත්තුය. ශ‍්‍රී ලංකා පන්දු වාර විස්සයි 20 කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වන ඇය සිය ගමන් මග පිළිබඳව අත්දැකීම් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය” සමග මෙසේ බෙදා හදා ගත්තාය.

 පොඩි කාලේ ඉඳන් මට ඕන වුණේ ක‍්‍රිකට් ගහන්න. මම ඒකට ගොඩක් ආස වුණා. අපේ මාමා තමයි ඒ සඳහා මාව උනන්දු කළේ. ඔහු ක‍්‍රිකට් පුහුණු කරුවෙක්. ආසාව වගේම දක්ෂතාවකුත් මා තුළ තිබුණු නිසා මාමා තාත්තට කිව්වා අපි දුවව ක‍්‍රිකට් ගහන්න යොදවමු කියලා. ඒ වෙනකොට මම ඉස්කෝලෙදිත් යාළුවෝ එක්ක ක‍්‍රිකට් ගහනවා.

 * යහළුවොද යෙහෙළියොද?

 ගැහැනු ළමයි ක‍්‍රිකට් ගහන්න ආවේ නැහැ. මේ කියන්නේ මගෙ පළමු ඉස්කෝලෙ වන ගොකරැුල්ල විද්‍යාලයේ දී. එහෙදී දෙක, තුන, හතර වසරේ පටන්ම මම පිරිමි ළමයි එක්ක ක‍්‍රිකට් සෙල්ලම් කළා. ගැහැනු ළමයෙකුට හිටියේ මම විතරයි. කලිසම් කමිස ගොඩයි. එක සුදු ගවුමයි. ඒත් මේ කලිසම් කමිස ගොඩටම එක සුදු ගවුම අවුට් කර ගන්න බැරි වුණා. මම මුලින් බැට් කළොත් ‘ඉන්ටර්වල්‘ එක ඉවර වෙනකම්ම බැට් කරනවා. ඒ නිසා ඒ අය නීතියක් ගෙනාවා පිරිමි ළමයි බැට් කළාට පසුව තමයි මට බැට් කරන්න චාන්ස් එක දෙන්නේ කියලා. ඉතින් මම මුලින් එයාලව අවුට් කරලා පසුව බැට් කරනවා.

මම තාමත් ක‍්‍රිකට් ගහන්නෙ තාත්තගේ හීනය වෙනුවෙන් - චමරි  අතපත්තු



 * ඒ ඉස්කෝලෙ ඔබ ඉන්නේ පහ වසර වෙනකම් විතරයි…

 ඔව්. මම ශිෂ්‍යත්ව විභාගෙ සමත් වුණා. එහිදී මාව ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට තේරෙනවා. කණ්ඩායමක් වශයෙන් ලෙදර් පන්දු සෙල්ලම් කරන්න පටන් ගන්නේ

 ඉබ්බාගමුව ඉස්කෝලෙදි. පාසලේදී මම දැක්වූ දස්කම් මත ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට මාව තෝරා ගන්නවා. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය තමයි මගේ මුල්ම කණ්ඩායම. ඊට පසුව ජාතික සංචිතයට ආරාධනා ලැබෙනවා. එදා සිට අඛණ්ඩව ජාතික කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරනවා.

 * ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සිහිනය සැබෑ වෙන්නේ කුමන අවුරුද්දේද?

 මුලින්ම පන්දු වාර 20 20 තරග අංශයෙන් 2009 වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව. ඊට පසුව 2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක් දින ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත්තා.

 * ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට වැඩිම එක් දින ජාත්‍යන්තර ශතක ප‍්‍රමාණයක් රැුස් කළ ක‍්‍රීඩිකාව ලෙස ඔබ සැලකෙනවා. ඔබ ලබා ගත් එම ජාත්‍යන්තර ශතක පහ අතරින් වඩාත්ම මතකයේ රැුඳෙන ශතකය කුමක්ද?

 ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව එංගලන්තයේදී නොදැවී ලබා ගත් ශතකය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. 2017 වසරේ පැවති කාන්තා එක් දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී තමයි ඒ ශතකය වාර්තා වුණේ. කාන්තා ලෝක ක‍්‍රිකට් ශූරියන් විදිහට තමයි ඔස්ටේ‍්‍රලියාව තරග වැදුණේ. එදා මං පන්දු 143කදී නොදැවී ලකුණු 178 ක් ලබා ගත්තා. එය ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියකදී ලබා ගත් වැඩිම දෙවන ලකුණු සංඛ්‍යාව ලෙස තවමත් වාර්තා පොත්වල

 රැුඳී තිබෙනවා. එසේම එය ක‍්‍රීඩිකාවක් එක් දින තරගයකදී ලබාගත් ලොව වැඩිම තෙවැනි ලකුණු සංඛ්‍යාවද වෙනවා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ වගේම අයර්ලන්තයට එරෙහිව ලබාගත් පළමු ශතකය ද මට අමතක කරන්න බැහැ. එය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් ලබාගත් පළමු ජාත්‍යන්තර ශතකය ද වුණා.

 ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව චමරි එදා ලබා ගත් එම ශතකය සඳහා හතරේ පහර 22ක් සහ හයේ පහර හයක් ඇතුළත් වී තිබුණි. ශ‍්‍රී ලංකා ලංකා ඉනිමේ හතරවෙනි පන්දුවේදී පිටියට පැමිණි චමරිව දවා ගැනීමට ලෝක පූජිත ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවන්ට ඉනිම අවසන් වනතුරුම නොහැකි වූ අතර ශ‍්‍රී ලංකාව රැුස් කළ ලකුණු 257න් 178ක් චමරි ලබා ගනිද්දී ඊට පසුව වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස සටනක් වූයේ ලකුණු 24කි. ලකුණු 10 සීමාව පසු කළේ තවත් එක් ක‍්‍රීඩිකාවක් පමණි. අනෙක් ක‍්‍රීඩිකාවන් සියලූ දෙනාම පන්දු 157කදී ලබා ගෙන තිබුණේ ලකුණු 60කි. එම තරගයට පෙර ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව කණ්ඩායමක් ලෙස රැුස් කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේද ලකුණු 176කි. චමරි එදා සිය චමත්කාරජනක වමත් පිතිහරඹයෙන් තනිව එම සියලූ සීමා අතික‍්‍රමණය කළාය. චමරිගේ එම ඉනිම ලොව ආකර්ෂණීයම ඉනිමක් වන්නේ ඒ නිසාය.

මම තාමත් ක‍්‍රිකට් ගහන්නෙ තාත්තගේ හීනය වෙනුවෙන් - චමරි  අතපත්තු



 ‘‘ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ මුලින් මාව දවා ගන්න බැලූවා. නොයෙක් උපක‍්‍රම යෙදුවා. ඒත් මම එන්න එන්නම පිටියේ ස්ථාවර වුණා. ඊට පස්සෙ ඔවුන් මාව අවුට් කර ගන්න බැරි නිසා අනෙක් ක‍්‍රීඩිකාවන්ව දවා ගන්න බැලූවා. මාව පන්දුවට පහර දෙන අන්තයට ගේන එක සීමා කරන්න හැදුවා. ඒත් අවසන් පන්දු වාර 15 පමණ වන විට ඕන පන්දුවක් හතරේ සීමාවට එල්ල කරන්න තරම් හැකියාවක් ආවා.”

 චමරි එම විශිෂ්ට ඉනිම පිළිබඳව අප හා එසේ පැවසූ අතර එදින ඔස්ට‍්‍රලියා කණ්ඩායමේ නායිකාව වූ මෙග් ලැනින් තරගයෙන් අනතුරුව මෙසේ ප‍්‍රකාශ කළාය.

 ‘‘කතා දෙකක් නැහැ. අති විශේෂ ඉනිමක්. ඇයව නතර කරන්න අමාරුයි. අපි ගොඩක් සැලසුම් හැදුවා. අන්තිමේදී ඒ එකක්වත් සාර්ථක වුණේ නැහැ.”

 ඉන් පසුව 2018 වසරේදී චමරි ශ‍්‍රී ලංකා එක්දින කාන්තා කණ්ඩායමේද නායකත්වය දරන්නීය. එහෙත් ඊට වසර 10කට පෙර එක්තරා දිනයකදී චමරි මේ ජීවිතයේ වඩාත් ආදරය කළ තැනැත්තෙක් චමරිව හැරදමා යන්නේය.

 ‘‘මගේ තාත්තා 2008 වසරේදී ජීවිතයෙන් සමුගත්තා. මාව ක‍්‍රිකට් ප‍්‍රැක්ටිස්වලට දාලා ගෙදර යන අතරමගදී තමයි තාත්තා මිය ගිහින් තිබුණේ. ඒක මට ගොඩක් වේදනාකාරී අත්දැකීමක් වුණා. මම අම්මගෙන් ඇහුවා අම්මෙ මම දැන් මොකද කරන්නේ කියලා. අම්මා කිව්වා හොඳට විභාගෙ කරන ගමන් තාත්තගේ හීනෙත් හැබෑ කරන්න කියල. තාත්තගෙ හීනය වෙලා තිබුණේ කවද හරි ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරනවා දැකීමයි. අන්තිමේදී මම තාත්තගේ හීනෙ හැබෑ කළා. මම අදටත් ක‍්‍රීඩා කරන්නේ තාත්තගේ හීනය වෙනුවෙන්. පරාද වෙන, කඩා වැටෙන, හැම වෙලාවෙම මම තාත්තව සිහි කර ගන්නවා. මම එතනින් ධෛර්යය ගන්නවා. ඒ වගේම මාව ක‍්‍රිකට්වලට යොමු කළ මගේ මාමාගේත් බලාපොරොත්තුව වුණේත් මම ජාතික කණ්ඩායමට එන එකයි. ඔහුත් අද ජීවතුන් අතර නැහැ.”

 පුංචි කාලයේ හිතේ උපන් ආසාවට ක‍්‍රිකට් ක‍්‍රීඩා කර පසුව එය තාත්තගේ හීනය හැබෑ කිරීම දක්වා ගිය චමරි එතනින් නතර වූයේ නම් නැත. ජාත්‍යන්තර ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියක් නියෝජනය කළ පළමු ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩිකාව බවටද චමරි පත්වූවාය. ඒ සඳහා චමරි මුල්ම ඇරයුම ලබන්නේ සුප‍්‍රකට බිග් බෑෂ් ලීග් ක‍්‍රිකට් තරගාවලියටය. චමරි 2017දී ඔස්ටේ‍්‍රලියාවට එපා වෙන්න දියත් කළ ලකුණු 178 ඉනිමට පසුව චමරිව ඔස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ්වලට නොගත්තානම් තමයි පුදුමය. ඊට පසුව අයිපීඑල් ඇතුළු ලොව ප‍්‍රධාන පෙළේ කාන්තා ලීග් තරගාවලි සඳහා චමරි නැතුවම බැරි ක‍්‍රීඩිකාවක් වූවාය. මේ විශිෂ්ට ක‍්‍රීඩිකාවගේ එදා පටන් අද දක්වාම ක‍්‍රිකට් වීරයා සනත් ජයසූරියයි. බැට් එක නැතත් සනත් ජයසූරියගේ අතේ පිරිත් නූල් මිටියක් නම් වැරදුණේම නැත. මේවා දුටු පුංචි චමරිත් එදා සිය අතේ පිරිත් නූල් ගැට ගසා ගත්තාය.

 ‘‘පොඩි කාලේ ඉඳන් මං සනත් අයියට ආසයි. මටත් ඕන වුණේ සනත් අයියා වගේ කෙනෙක් වෙන්න. මම බැට් කරන්න බැලූවෙම එයා විදිහට. ඔහු බැට් කරන්න සැරසෙන හැටි, බැට් කරන හැටි මම අනුගමනය කළා. ඔහු පිරිත් නූල් බඳිනවා දැකපු මමත් පිරිත් නූල් බැන්දා. සනත් අයියගෙ විතරක් නොවෙයි, 96 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ අරවින්ද අයියගෙ, උපුල් චන්දන අයියගෙ, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ අයියගෙ, කුමාර ධර්මසේන අයියගේ, චමින්ද වාස් අයියගේ පන්දු යැවීමේ ඉරියව් මෙන්ම පිතිහරඹයේ ඉරියව් ද හොඳින් අනුකරණය කරන්න පුළුවන්කම මට ඒ කාලේ ඉඳන්ම තිබුණා. ඒ කාලේ ටීම් එකේ හිටිය හෂාන් අයියා දැන් අපේ පුහුණුකරු. කොටින්ම ඒ ටීම් එකටම මම හරි කැමතියි. ඒ වගේම පසුකාලීනව ලසිත් මාලිංග අයියගෙ ක‍්‍රීඩාශීලීත්වයට කැමති වුණා. දැනුත් මම ඉඳල හිටලා සනත් අයියට කතා කරනවා. මාලිංග අයියට කතා කරනවා. ඒ අය අපිට ගොඩක් උපදෙස් දෙනවා. ඒ අත්දැකීම් අපිට ගොඩක් වටිනවා.”

 ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය දා මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජයගෙන අදාළ තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ චමරි අතපත්තුගේ නායකත්වය යටතේය. එහිදී සහභාගි වූ තරග හතරම

 ශ‍්‍රී ලංකාව ජයගත් අතර තරග හතරෙන් තුනකම දක්ෂතම ක‍්‍රීඩිකාව වුණේත් තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව වුණේත් චමරි අතපත්තුය.

 ‘‘පෞද්ගලිකව මමත්, ඒ වගේම කණ්ඩායමක් ලෙසත් එහිදී දැක්වූ දස්කම් ගැන සතුටු වෙනවා. එහිදී මම හොඳින් ලකුණු අතරට ආවා. ඒ වගේම මගේ පන්දු යැවීමෙන්ද කණ්ඩායමට ලොකු ප‍්‍රයෝජනයක් වුණා. එහිදී පැවති බංග්ලාදේශය සමඟ තරගය තීරණාත්මක වුණා. මම හිතනවා නායිකාව ලෙස මම ඒ තරගාවලිය හොඳින් කළා කියලා”

 පුංචි කාලේ මතු නොව චමරි තමාට වයස අවුරුදු 15, 16 , 17 යන වයස්වලදී ද පිරිමි පාර්ශ්වය සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වූවාය. ඒ නිසා වේගයෙන් එන පන්දුවලට හොඳට ඇහැ හදාගන්න චමරිට හැකි වූවාය. තමා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය දිනූ ක‍්‍රීඩිකාවක් වීම පිළිබඳව චමරි පවසන්නේ මෙවැන්නකි.

 ‘‘මේ මගේ විශේෂ දක්ෂතාවක් නොවෙයි. අපි හැමෝටම සහජයෙන් එන දක්ෂතා තිබෙනවා. හැබැයි ඒවා දියුණු කරගන්න ඕන. මට කවුරුහරි ඉලක්කයක් දුන්නොත් මම ඒ ඉලක්කයට අනිවාර්යයෙන් යනවා. මං මගේ අඩුපාඩු හදා ගන්නවා. මේ තමයි මගෙ වරද කියලා ඉක්මනට වරදක්

 හදාගන්න මට පුළුවන්. උත්සාහයක් තියෙනවා නම් ප‍්‍රතිපත්තියක් තියෙනවා නම් ඕනෑම අයෙකුට තමන්ගෙ ඉලක්කයට යන්න පුළුවන්. අභියෝගයක් දුන්නොත් මම එය භාර ගන්නවා. අභියෝගයක් නැත්නම් මම මාවම අභියෝගයට ගන්නවා. ඒකයි මගේ සාර්ථකත්වයෙ රහස.”

 ශ‍්‍රී ලංකාවට ඉදිරියේ තිබෙන ජාත්‍යන්තර තරගාවලිය වන්නේ පාකිස්තානයට එරෙහිව තරගාවලියකි. ඒ සඳහා සහභාගිවීමට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. ඊට පෙර චමරි අයිපීඑල් කාන්තා ක‍්‍රිකට් තරගාවලියට ද ක‍්‍රීඩා කිරීමට නියමිතය. එසේම හොංකොං ලීග් ක‍්‍රිකට් තරගාවලි සඳහා ද චමරි සූදානම්ය. ඒ අතර තවත් බලාපොරොත්තු කිහිපයක්ද සමග ඇය අනාගතය දෙස බලමින් සිටින්නීය.

 ‘‘ශ‍්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලි ජයග‍්‍රහණයක් ගෙන ඒමට අපි හැමදෙනාම ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අපේ කණ්ඩායම අංක 1ට ගෙන ඒමත් බලාපොරොත්තුවක්. පෞද්ගලිකව මගේ හිතේ තියෙන ඉලක්කයක් තමයි ලෝකයේ අංක එකේ ක‍්‍රීකට් ක‍්‍රීඩිකාව වීම. අයිසීසී මාසයේ ක‍්‍රීඩිකාව අතරට මගේ නම දැනටමත් තේරිලා තිබෙනවා. ඒ විදිහට මාස හතරක් විතර ඉස්සරහට එන්න පුළුවන් වුණොත් වසරේ ක‍්‍රීඩිකාව වෙන්න පුළුවන්. මේ වසරේ එක් දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව එක් දින තරගවලට සමුදීමේ බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මට දැන්ම එයට ඉඩ දෙන පාටක් නැහැ. ඔවුන්ට අවශ්‍යයි මම තව වසර දෙක තුනක් කණ්ඩායමේ ඉන්නවා දැකීමට. ඊට පසුව මම ක‍්‍රිකට්වලින් එහා ජීවිතය ගැන හිතනවා.



 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment