මම නෙවෙයි මේකප් නැති, ලයිටින් නැති, ට‍්‍රයිපොඩ් නැති චරිත දෙකකට සීමා වූ සිනමාපටයක් – එම්. සෆීර්

1289

එම්. සෆීර් යනු වේදිකාවේ නව ආකෘති, නව අත්හදා බැලීම් සොයා ගිය පර්යේෂණාත්මක නාට්‍යකරුවෙක්. අවුරුදු 30 ක වේදිකාවේ අත්දැකීම් වලින් සන්නද්ධව ඔහු සිනමාවට පිවිස සිටිනවා. ඔහුගේ පළමු සිනමාගමනය ඔහු නම් කොට ඇත්තේ ‘මම නෙමෙයි’ යනුවෙන්. ‘මම නෙමෙයි’ නව අත්හදා බැලීමක්ද? මේ කතාබහ ඒ පිළිබඳවයි.

මගේ චිත‍්‍රපටයේ තිබෙන්නේ චරිත දෙකක් පමණයි. මේ චරිත දෙක කොළඹින් පටන්ගෙන ලංකාව වටේ කි. මී. 1497 ක් යන ගමන තමයි චිත‍්‍රපටය. මෙහි චරිත වන රියැදුරා සහ අනෙක් ස්ත‍්‍රී චරිතයේ සංවාදය තමයි මුළු චිත‍්‍රපටයම. ඉතින් මම සිනමාකාරයෙක් නොවන නිසා හා සිනමාවේ රීති නොදන්නා නිසා මම මගේ චිත‍්‍රපටය නිදහසේ නිර්මාණය කළා. උදාහරණයක් කිව්වොත් මගේ චිත‍්‍රපටයේ මේකප් නැහැ. ට‍්‍රයිපොඞ් පාවිච්චි කළේ නැහැ, හස්තගත කැමරාව. ලයිට් නැහැ, දිවා ආලෝකයෙන් තමා රූගත කළේ. ඉතින් පසුගියදා මාධ්‍ය දර්ශනය නැරඹූ සියයට අසූවක් දෙනා මගේ චිත‍්‍රපටයට කැමතියි. සියයට විස්සකට පමණ ප‍්‍රශ්න තිබෙනවා, මම තියරියට අනුව වැඩ කරලා නැහැ කියා.

මම නෙවෙයි මේකප් නැති, ලයිටින් නැති, ට‍්‍රයිපොඩ් නැති චරිත දෙකකට සීමා වූ සිනමාපටයක් - එම්. සෆීර්
එම්. සෆීර්

මම විශ්වාස කරන්නේ හැමවිටම අපි ජීවත් වෙන්නේ ඊයෙ කියලයි. ඔබ හා මා මේ කතා කරන මොහොත පවා ක්ෂණයෙන් අතීතයට එකතු වෙනවා. ඊට පස්සෙ මොහොත අපි දන්නෙ නැහැ. මම තව මොහොතකින් පාරට ගිහින් නැතිවෙන්න පුළුවන්. එතකොට ඔබ කියයි, ‘අයියෝ මම පොඞ්ඩකට කලින් සෆීර් එක්ක කතා කළානෙ’ කියලා. ඉතින් මම කියන්නෙ අපේ සතුට තියෙන්නේ ඊයෙ. මොකද අපි දැන් ගතකරන මොහොත අපි දන්නෙ නැහැ. මම චිත‍්‍රපටය පුරාවට කතා කරන්නේ ඒ අතීතය ගැන. ඊයෙ ගැන. ස්ත‍්‍රී චරිතය ගමන් කරන්නේ තමන්ගේ අතීත සැමරුම් සොයාගෙන. ඇය පල්ලි පන්සල් කෝවිල් ආදියට ගිය විට ඇයට දැනෙන්නේ සහනයක්. ‘මේ ස්ථානවලට ගිය විට දැනෙන සහනය එකක් නම් ඇයි ඒවා වෙන් කොට තිබෙන්නේ?’ කියා ඇය අසනවා. මටත් තිබෙන ප‍්‍රශ්නයම තමයි මම ඇය හරහා අහන්නේ. මේ ස්ත‍්‍රී චරිතය හෝ පිරිමි චරිතය කවුද කියා මම කිසි තැනක හඳුන්වා දෙන්නේ නැහැ. එවැනි සන්දර්භයක් තුළ තමයි මම චිත‍්‍රපටය ගෙන යන්නේ.

මම නෙවෙයි මේකප් නැති, ලයිටින් නැති, ට‍්‍රයිපොඩ් නැති චරිත දෙකකට සීමා වූ සිනමාපටයක් - එම්. සෆීර්

මම රංගන ශිල්පීන් දෙදෙනාට උපදෙස් දුන්නේ කැමරාව ඔබට අදාළ නැහැ. ඔබට නිදහසේ හැසිරිය හැකියි. කැමරා අධ්‍යක්ෂවරයාට මම කිව්වේ ඔවුන්ගේ ඔවුන්ගේ නිදහස් හැසිරීම් ඔබ රූපගත කළ යුතුයි කියලා. මම බොහෝ විට ටේක් වන් වලින්ම මට අවශ්‍ය දේ ලබා ගත්තා. එය රංගන ශිල්පියෙකුට අභියෝගයක්. අපි ඒ අභියෝගය ජයගත්තේ චිත‍්‍රපටය රූපගත කිරීමට මාස ගණනක පෙර සිටම රංගන ශිල්පීන් දෙපළ හා කරපු පෙර පුහුණුවීම් වලින්. ස්ත‍්‍රී චරිතය නිරූපණය කරන දිල්හානි අසෝකමාලා හා රියැදුරාගේ චරිතය නිරූපණය කරන සංජීව උපේන්ද්‍ර අපට සිටින ප‍්‍රවීණ විශිෂ්ට චරිතාංග නිරූපණ ශිල්පීන්. ඔවුන් මේ වැඬේ හරියටම කළා.

ඔබ අංග රචනයකින් තොරව නිරූපණ ශිල්පීන් රූගත කිරීමේදී ලබාගන්නා රූපයෙහි කිසියම් ඌනතාවක් දැනුනේ නැතිද?

අපි තාක්ෂණිකව ලොකු දේවල් ගොඩක් විසඳාගෙන තමයි රූගත කිරීමට ගියේ. අපි පාවිච්චි කළේ අතිසංවේදී සිනමා කැමරාවක්. ඉතා අඩු ආලෝක තත්ත්වයන් තුළ වැඩ කළ හැකි බ්ලැක් මැජික් නම් කැමරාවෙන් තමයි රූගත කිරීම් කළේ. අනෙක තමයි මගේ චිත‍්‍රපටයේ සියයට අනූවක්ම දර්ශන තිබෙන්නේ ගමන් ගන්නා විවෘත වාහනයක් තුළයි. චිත‍්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක් කීවේ මෙය රෝඞ් මූවී කැටගරි එකේ චිත‍්‍රපටයක් කියා. නමුත් මට ඒකට මොකුත් කියන්නට බැහැ, මම දන්නෙ නැති නිසා.

මම නෙවෙයි මේකප් නැති, ලයිටින් නැති, ට‍්‍රයිපොඩ් නැති චරිත දෙකකට සීමා වූ සිනමාපටයක් - එම්. සෆීර්

ඔබ කියනවා චරිත දෙකක් පමණක් ඇති ඔබේ චිත‍්‍රපටය සියයට අනූවක් පමණ වාහනය තුළ කියලා. මෙය බලා සිටින්නට කම්මැලි නැතිද? බෝරිං නැතිද?

සම්මත කතන්දරයක් තුළ ඇති ගැටුම් මෙහි නැහැ. නමුත් පරිස්සමින් තෝරාගත් සිද්ධි දාමයක් තුළින් තමයි මම මේ කතාව කියන්නෙ. චිත‍්‍රපටය ඉදිරියට යන්න යන්න තමයි මේ චරිත දෙක නිරාවරණය වෙන්නේ. ඉතින් මගේ මේ හිතුවක්කාර වැඬේ බෝරිං නොවී කරන්න මගේ නළුනිළි දෙපළ හා අනෙකුත් සියලූම ශිල්පීන් ඉතා කැපවීමෙන් දායක වුණා.

ඔබ නාට්‍යකරුවෙක්. ඉතින් වේදිකාවෙන් සිනමාවට පිවිසීමේ ඔබේ අත්දැකීම කවරාකාරද?

මම හිතන්නෙ වේදිකාව, සිනමාවට වඩා දැවැන්තයි. එසේම වේදිකාව අවුරුදු දෙදහස් ගණනක් පැරණියි. අනෙක් ප‍්‍රසාංගික කලාවන් සියල්ලම ආවෙ ඊට පසුවයි. ඉතින් මේ මහා වේදිකාව තුළ අවුරුදු 30 ක අත්දැකීම් සිනමාව තුළ භාවිත කරන්න ලැබුණා කියලයි මම හිතන්නෙ. මගේ ප‍්‍රකාශනය කරන්න මම සිනමා කැමරාව පාවිච්චි කළා. මම කියන්නෙ නැහැ මගේ චිත‍්‍රපටය මාර සම්භාව්‍යයි කියලා.

  • නිමල් ෆ‍්‍රැන්සිස්
advertistmentadvertistment
advertistmentadvertistment