මම රඟපානවාට සාරංගත් කැමතියි… බබා නිසා බිසී වුණා!

346

අවුරුද්දක නිහැඬියාවෙන් පස්සෙ දිනක්‍ෂි ප්‍රියසාද් ‘ලෝක’ එක්ක පුංචි තිරයට ඇවිත්’ නිහැඬියාව කිව්වට ඇය ඒ කාලය තුළ චිත්‍රපටයකටත් රංගනයෙක් එකතු වෙලා. කොහොම වුණත් මවකගෙ වගකීමත් එක්ක ඇයට දැන් ඉස්සර වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබෙන ඉඩකඩ අඩු වෙලා.

මොනවද ඉදිරි වැඩකටයුතු කියල අපි ඇයගෙන්ම අහල දැනගනිමු.

දිනක්‍ෂි නැවතත් ‘ලෝක’ එක්ක පුංචි තිරයට ඇවිත්?

ඔව්. මම අවුරුද්දක් විතර කලාවට සම්බන්ධ වුණේ නැහැ. ඒ බබාගෙ වැඩකටයුතු නිසා. නමුත් ශිවගුරුනාදන් මහත්මයාගේ ‘ලෝක’ ටෙලි නාට්‍යයේ අසෙනි චරිතයත් එක්ක නැවතත් මම ආසාවෙන් වැඩ කරන්න පටන්ගත්ත.

අසෙනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ අතර නරක ප්‍රතිචාරත් තියෙනව. මිනිස්සු බලන විදිහ සාපේක්‍ෂයිනෙ. ඒක මට හැමදාම ලැබුණ දෙයක්. හොඳ වගේම නරක ප්‍රතිචාරත් මම සතුටින් භාර ගන්නව.

අසෙනි මොන වගේ චරිතයක්ද?

අසෙනි කියන්නෙ නාට්‍ය හා රංගකලාව හදාරණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ නාට්‍ය කණ්ඩායමේම ලෝක කියන තරුණයාට ඇයගෙ කැමැත්තක් තියෙනව. ඒ කැමැත්තට ඉදිරියේදී මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියල දන්නෙ නැහැ.

මම  රඟපානවාට සාරංගත් කැමතියි... බබා නිසා බිසී වුණා!

අලුත් ආරාධනා?

පසුගිය අප්‍රියෙල් සහ මැයි යන මාසවල චිත්‍රපටයක රූගතකිරීම් වලට සහභාගි වුණා. මේ අවුරුද්ද අවසානයේ හෝ ලබන අවුරුද්ද මුල ඒක තිරගත වේවි. මේ අයගෙම තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනව. ඒකෙ රූගතකිරීම් ලබන අවුරුද්දෙ මුල ආරම්භ වේවි.

ඔබේ වැඩි කැමැත්ත සිනමාවටද ටෙලි නාට්‍යයටද?

මට එහෙම විශේෂත්වයක් නැහැ. ඒ දෙකටම එක වගේ කැමතියි. නමුත් සිනමා නිර්මාණ ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්නෙ. වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට.

සාරංගව දකින්නෙ කොහොමද?

ඇත්තටම මම සාරංග ගැන හරිම ආඩම්බර වෙනව. එයා කරන වැඩේට සියයට දාහක් කැපවෙන කෙනෙක්. මට සාපේක්‍ෂව එයාගෙ වෘත්තිය වෙනුවෙන් කැපවීම ගොඩක් ඉදිරියෙන් තියෙනව. එවැනි කෙනෙක් මගේ සැමියා වීම ගැන මම ගොඩක් සතුටු වෙනව.

ඔහු ඔබට සීමා දාලද?

අනේ නැහැ. මට කිසිම සීමාවක් දාල නැහැ.

ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?

ජනප්‍රියත්වය කියන්නෙ මම ලබපු භාග්‍යයක්. මම අද යම් තැනක ඉන්නවනම් ජනප්‍රියත්වය තමයි ඒකට හේතු වුණේ. මට ජීවිතයේ දෙයක් ලැබුණ නම්, යමක් දිනාගෙන තියෙනව නම් ඒ මේ ක්‍ෂේත්‍රය නිසා.

දිනක්‍ෂිට වඩා සාරංග ජනප්‍රියයි කිව්වොත්?

අම්මෝ ඔව්. එයා තරම් මම ජනප්‍රිය නැහැ. අපි විවාහ වෙන්නත් කලින් ඉඳන් ක්‍ෂේත්‍රයේ ඉහළින්ම හිටපු කෙනෙක් තමයි සාරංග කියන්නෙ.

ඔබ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණයක් කළොත්?

සාරංග නිෂ්පාදනය කළ ‘ලංසුපතිනියෝ’ ටෙලි නාට්‍යයට මමත් රඟපෑමෙන් එකතු වුණා. මේ දවස්වල අලුත් නිර්මාණයක් නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කරන්න සාකච්ඡා කරගෙන යනව. ක්‍ෂේත්‍රයට අලුත් යමක් දෙන්න ඔහු ආසාවෙන් ඉන්නව. ඒකට මට පුළුවන් හැටියට උදව් කරනව. ඒ වගේම මම හිතනව සාරංග දිගටම නිෂ්පාදන අංශයෙන් එයාගෙ දායකත්වය ලබාදෙයි කියල.

මම  රඟපානවාට සාරංගත් කැමතියි... බබා නිසා බිසී වුණා!

ඔහුගේ අධ්‍යක්‍ෂණය යටතේ ඔබ රඟපාන්න සූදානම්ද?

මම දැනට නම් කියල තියෙන්නෙ මම රඟපාන්න එන්නෙ නැහැ කියල. මොකද අනිත් අයට හොඳින් කිව්වට මට බනිනවනෙ, ඒ නිසා මම එන්නෙ නැහැ කියල විහිළු කර කර ඉන්නෙ. ඒ වුණාට හොඳ චරිතයක් තිබුණොත් සහ මම ඒකට අවශ්‍ය නම් ඒ සහයෝගය ලබා දෙනව.

මෑතකාලීන ආර්ථික රටාවත් එක්ක ක්‍ෂේත්‍රය අර්බුධ රැසකට මැදි වෙලා?

ඔව්. රටේ ප්‍රශ්න වැඩිපුර බලපෑවෙ අපේ ක්‍ෂේත්‍රයට. මිනිසුන්ගේ විනෝදාස්වාදයට. ඒ සමග මේ ක්‍ෂේත්‍රය කඩාගෙන වැටුණ. දැන් නැවතත් ටිකෙන් ටික යථා තත්වයට පත් වෙන්න උත්සාහ ගනිමින් ඉන්නව. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒක සාර්ථක වුණොත් මේ ක්‍ෂේත්‍රයට අනාගතයක් තියේවි.

සාරංග දිනක්‍ෂි කියන්නෙ සමාජමාධ්‍ය තුළ ජනප්‍රිය චරිත දෙකක්?

අපි අපේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජමාධ්‍ය හරහා බෙදාගන්න දෙන්නෙක්. ඒක එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය කැමතියි, සමහර අය අකමැතියි. මේ දේවල් නිසා විවිධ කතා ඇති වෙනව. අපි ඒ දිහා බලල හිනා වෙලා ඉන්නව.

‘ලෝක’ හරහා ලැබුණු වෙනත් ආරාධනා?

දැනට එක නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනව. ඒක තවම තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ. ඉස්සර නම් නාට්‍ය දෙකතුනක එකදිගට වැඩ කළා. දැන් බබාගේ වැඩ නිසා මට කාලය කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාව තියෙනව.

දරුවාගේ වැඩකටයුතු සිදුවෙන්නෙ ඔබ අතින්මද?

එහෙම විශේෂත්වයක් නැහැ. අපි දෙන්නම තමන්ට ඉඩ තියෙන හැටියට දරුව ගැන බලනව. ඒ යුතුකම් ඉටුකරනව. ඒ වගේම මට ගෙදරිනුත් ගොඩක් උදව් තියෙනව. ඒ නිසාම තමයි ඉක්මණින්ම ආයෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. සාරංගත් මට කියන්නෙ වැඩකරන්න කියල. එයා කැමතියි මම ක්‍ෂේත්‍රයේ ඉන්නවට. මගේ අම්ම තාත්තත් එහෙමයි.

ඔබේ නැගණිය ෂනුද්‍රි ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම එයා ගොඩක් දක්‍ෂ කෙනෙක්. රඟපෑම අතින් ගත්තොත් අපිට වඩා දක්‍ෂතාව තියෙන්නෙ ෂනුද්‍රිට. ඒ වගේම නර්ථනයට, ගායනයටත් ඇය එක වගේ දක්‍ෂයි. අක්ක විදිහට මට නංගි ගැන ගොඩක් සතුටුයි. අපි හැමෝටම වඩා ඉදිරියට ගිහින් සාර්ථක වෙන්න ඕන කියල තමයි නිතරම හිතන්නෙ. ඒ වගේම පවුලක් විදිහට එයා ගන්න හැම තීරණයකටම අවශ්‍ය සහයෝගය ලබාදෙන්නත් අපි එයත් එක්ක ඉන්නව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment