මම සීඅයිඞී එකේ ඩිරෙක්ටර් කෙනෙක් ඔය පුටුවෙ ඉන්න ඕන නම් පැමිණිල්ල ගොඩින් බේරල යවන්න

834

* පයාගල පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කළ ව්‍යාජ ‘ඩිරෙක්ටර්’ අත්අඩංගුවට

‘මම සීඅයිඞී ඩිරෙක්ටර් කෙනෙක්. ඔය පුටුවෙ ඉන්න ඕන නම් පහරදීමක් ගැන තියෙන පැමිණිල්ල ගොඩින් බේරලා යවන්න යැයි පයාගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අරුණ ශාන්ත රණවීර මහතාට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන පුද්ගලයකු පැමිණිලි විභාගයට පැමිණ සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පයාගල මැටියලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර නීති විරෝධී මත්පැන් ජාවාරම්කරන අයකු බව පොලිසිය කියයි.

සිද්ධිය මෙසේය.

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් පුද්ගලයකු කියා සිටියේ තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ චන්ද්‍රා ජයවර්ධන බවත් ලැබී ඇති පැමිණිල්ල කැඳවා සාමදාන කර ගොඩින් බේරා හරින ලෙසත්ය.

නමුත් ඔය පුටුවේ තවදුරටත් ඉන්න ඕන නම් මෙය කළ යුතු අතර නැත්නම් ගෙදර යෑමට බලාගෙන සිටිය යුතු බවත් ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව පවසා ඇත.

තමා පසු දින හම්බන්තොට ප‍්‍රදේශයට යන බවත් ආපසු එන ගමනේදී පයාගල පොලිස් ස්ථානයට ගොඩවන බවත් ඒ වනවිට මෙම සිද්ධිය විසඳා තිබිය යුතු බවත් ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව ප‍්‍රකාශ කර තිබේ.

පොලිසියේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් ලබාගන්නා ලෙස මෙම ‘සීඅයිඞී ඩිරෙක්ටර්ගෙන්’ පොලිස් ස්ථානාධිතිවරයා මෙහිදී ඉල්ලීමක් කළ විට ‘ඔව් මම ඒකටත් දැන් කෝල් එකක්’’ ගන්නවා යැයි ඔහු ප‍්‍රකාශ කළද එසේ පොලිසියේ ස්ථාවර දුරකථනයට නැවත ඇමතුමක් ගෙන නැත.

මේ පිළිබඳව සැක සිතූ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයෙන් විමසූ විට දැනගත හැකිවූයේ ඒ නමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු නොමැති බවයි.

පසුදින පැමිණිලි විභාගයට පිරිස පැමිණ සිටි අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා තමාට තර්ජනය කරමින් ඇමතුම ආ දුරකථන අංකයට ඇමතුමක් ගත්තේය.

ඒ සමගම පහරදීමේ සිද්ධියේ සැකකරුගේ පියාගේ දුරකථනය නාද විය. ඒ අනුව තමාට තර්ජනය කරමින් ඇමතුම දුන් පුද්ගලයා හ`දුනාගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු අත්අඩංගුවට ගත්තේය.

සැකකරු අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම, පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම හා රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (24 දා)  කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත පයාගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අරුණ ශාන්ත රණවීර, පොලිස් පරීක්‍ෂක ලලිත්, පොලිස් සැරයන්වරුන් වන රත්නසිරි (41118) හා චමිල (8326) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment