මරණයටද පන්ති භේදයක් තිබේ…. ආසියාවේ ටයිටැනික් ඛේදවාචකය

704

නත්තලට ගම රට යමින් සිටි 4387 ක් මරුට කැපකළ “ඩෝනා පාස්” නැව් අනතුර

ජීවිතයේදී මොන මොන සෙල්ලම් දැම්මත් මරණයේදී අප කවුරුත් එකයි කියා කතාවක් තිබේ. නමුත් එය ඇත්තක් නොවේ. මරණයටද පන්ති භේදයක් තිබේ.

මෑතකදී ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණ වන්නේ ටයිටැනික් සහ ඩෝනා පාස්ය. දෙකම නෞකා අනතුරුය. ටයිටැනික් අමතක කළ නොහැක. අනෙක මතක් කර ගත නොහැක.

ටයිටැනික් අනතුර සිදුවුණේ මීට වසර 110කට පෙරය. අපේ රටේ සිට බලන විට ලෝකයේ අනිත් පැත්තේය. මිය ගිය ගණන වූයේ 1500 කට ටිකක් වැඩි පිරිසකි. අඩුම තරමින් 710 කට දිවි බේරා ගන්නට හැකිවිය.

ඩෝනා පාස් අනතුර සිදුවූයේ අප කවුරුත් ජීවත්වන ආසියාවේ පිලිපීනය ආසන්න මුහුදේදීය. අනතුරේදී දෙපැයක් ඇතුළත 4358 ක් රුදුරු ගිනි දැල් වලට බිලිවී මිය ගියහ. දිවි බේරා ගත හැකි වූයේ යාන්තම් 26 කට පමණි. ඒත් හොඳටම පිළිස්සී මිය යෑමට ඔන්න මෙන්න කියා තිබියදීය.

ඩෝනා පාස් අනතුර සිදුවූයේ නත්තලට දින පහක් තිබියදීය. ඒ 1987 දෙසැම්බර් 20 වෙනිදාය. අදට අවුරුදු 35කට පෙරය.

ශත වර්ෂයක් ගතවීමෙන් පසුවද අපි අදත් ටයිටැනික් ගැනත් එහි ගමන් ගත් සුර කුමර කුමරියන් බඳු මිනිසුන් සහ ගැහැනුන් ගැනත් කතා කරමු. ශෝක ගීතයක් අසන්නාක් මෙන් රස විඳිමු. ඒ ගැන නොදන්නාකමද මදි කමක් ලෙස සලකන සමාජයක දිවි ගෙවමු.

ඩෝනා පාස්හි ගමන් ගත්තේ ටයිටැනික් චාරිකාවෙන් මෙන් ජීවිතයට කීර්තියක් අත්කර ගැනීම සඳහා සිය අතිරික්ත ධනය වියදම් කිරීමේ යෙදුණු ධනවතුන් නොව, මුළු අවුරුද්ද පුරාම ශ්‍රමය වැය කොට උපයා ගත් මුදලින් යමක් කමක් එකතු කොටගෙන තම නෑදෑ හිතවතුන් සමග නත්තල් කන්නට ගම රට බලා යමින් සිටි සාමාන්‍ය ජනතාවය. ඒ මරණ වලට වෙනමම ඇගයීමක් ඇත්තේ එහෙයිනි.

මරණයටද පන්ති භේදයක් තිබේ…. ආසියාවේ ටයිටැනික් ඛේදවාචකය

ඒ නිසා අප රටේ වැඩි දෙනකු වැනි මිනිසුන්ට අත් වූ, ඇත්තෙම්ම කියනවා නම් නැව් මුදලාලලිලා විසින් අත්කර දෙනු ලැබූ මෙම කෲර ඉරණම ගැන දැන ගනිමු.

1987 දෙසැම්බර් 20 වෙනිදා ඩෝනා පාස් නෞකාව පිලිපීනයේ සම්මත වේලාවෙන් 06.30ට එරටෙහි දූපත් පන්තියට අයත් ටක්ලොබාන්හි (tacloban) ලෙයිටේ (leyte) සිට සිය සුපුරුදු චාරිකාව ආරම්භ කළාය. එහෙත් නෞකාවට මගීන් පටවනු ලැබුවේ නම් සුපුරුදු ආකාරයට නොවේ. දහසකට අඩු ප්‍රමාණයක් මගීන් ගෙන යා යුතු බවට නිර්දේශිත මෙම නෞකාවට හාර දහසකට වැඩි පිරිසක් පටවනු ලැබ තිබිණි. නත්තල් කෑමට ගම රට බලා යන මිනිසුන්ගේ අහිංසක වුවමනාව, තමාට නත්තලක් කර ගැනීමට නැව් හිමියා අවස්ථාව කර ගත්තේ ඒ ආකාරයෙනි. ලොකු කුඩා බාල මහලු ළමා ළපටි විශාල පිරිසක් තම තමන්ගේ බඩු පොදිද සමඟින් උණුසුම් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් නෞකාව තුළ තදබදව රැඳී සිටියහ. මෙය එක් දිනක ගමනක් වූ හෙයින් කිසිවෙක් ඒ අපහසුතා ගණන් නොගන්නටද ඇත. හාර දහසකට වැඩි කෑලි ගණනක් ලෙස විනා මේ ඉන්නේ මිනිසුන් යයි කියා නැව් කාරයෝද ගණන් නොගන්නට ඇත. ඒ නිසා මෙහෙයුම් මැදිරියට ආධුනිකයෙක් යොදවනු ලැබ කපිතාන්වරයා වූ eusebio nazareno සිය කුටියට වී අඩියක් ගසමින් චිත්‍රපටයක් බලන්නට පටන් ගත්තේය. සෙසු නිලධාරීහු විවේකාගාරයට බියර් සාදයක් ආරම්භ කර ගී ගයන්නට වූහ. විඩාපත් මගීහුද සිය ගමන් මලු වලටම හේත්තු වී වැටුණු වැටුණු තැන් වලම දැඩි නින්දකට පත්වී සිටියහ. පසුදින පාන්දර 4.00 වන විට මැනිලා වෙත ළඟා වීමේ අරමුණින් යාත්‍රාව පැයට නොට් 20-25 අතර වේගයකින් ගමන් කරමින් තිබුණි. කුණාටුවක් නොතිබුණද මුහුද තරමක් රළු වී තිබුණි.

මේ අතර පිලිපීනයේ අන්තර් දූපත් චාරිකාවේ යෙදෙමින් ඉන්ධන ප්‍රවාහනයේ යෙදෙන MV VECTOR නෞකාව BATAAN වල සිට MASBATE දක්වා ගමන් කරමින් තිබුණේ පෙට්‍රල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ලීටර් 1,050,000 ක් නොහොත් ටොන් 1041 ක් සහිතවය. පැයට නොට් 8-10 අතර වේගයකින් යාත්‍රා කරමින් තිබූ එම නෞකාවත්, ඩෝනා පාස් නෞකාවත් එකිනෙක ගැටෙන තුරු කිසිවෙකුත් දැන නොසිටියහ. ගැටුමත් සමග ඉන්ධන නෞකාවේ මහා ගිනි ජාලාවක් හට ගත් අතර, එය සැණෙකින් ඩෝනා පාස් වෙතටද ගැතිර ගියේය. හරියට වැළඳ ගන්නට බලාපොරොත්තුව සිටියාක් මෙන් ඩෝනා පාස්ද ඒ ගිනි දැල් වලින් වෙලී ගිය අතර මර නින්දෙන් අවදි වූ මගීන්ට කර කියා ගන්නට දෙයක් නොවූහ. හාර දහස් ගණනින් එකෙකුට හෝ ආරක්ෂක කබා නොලැබුණ අතර ඒවා අල්මාරිවල අගුලු දමා තිබුන බව පසුව හෙළිවිය. කාර්ය මණ්ඩලයද මග පෙන්වීමට අසමත් වූ අතර මිනිසුන් ට මුහුදට පැනීම හැර වෙන විකල්පයක් නොවීය. එහෙත් එයින්ද පිළිසරණක් නොවූයේ ඔවුන් මුහුද මතුපිට ගලා ගිය තෙල්වලට ඇවිලී තිබූ ගිනි ජාලාවලින් පිළිස්සෙන්නට පටන් ගත් බැවිනි. මුහුදට වැටුණ සමහරු තම ඇඳුම් බෑගයන් ජීවිතාරක්ෂක කබා ලෙස යොදා ගෙන නොගිලී සිටින්නට උත්සාහ කළද දිය මත පැතිරුනු ගිනි දැල් වලින් බේරීමට නොහැකි වූහ. උපකාර ඉල්ලීමට වේලාවක් නොතිබුණාක් මෙන්ම ක්‍රමයක්ද නොවූයේ නෞකාව තුළ ගුවන් විදුලි සංඥා පද්ධතියක්ද නොවූ හෙයිනි.

නෞකා ගැටුම සිදුවූ වහාම පිපිරීම් මාලාවක් ඇතිවූ අතර ඒ මොහොතේ යාත්‍රා කරමින් තිබූ තවත් අන්තර් දූපත් චාරිකා යාත්‍රාවක් වූ පි ක්‍ක්මාසද නෞකාවේ කපිතාන්වරයා ඒ බව දැක තිබේ.

මරණයටද පන්ති භේදයක් තිබේ…. ආසියාවේ ටයිටැනික් ඛේදවාචකය

පැයක් ඇතුළත එතැනට ළඟාවීමට ඔහු සමත් වූ නමුදු ඔහුට බේරා ගනු පිණිස හාර දහස් ගණනකින් ඉතිරිව සිටියේ 26 දෙනකු පමණි.

එයින් 24 දෙනකු ඩෝනා පාස් නෞකාවේ වූ අතර සෙසු දෙදෙනා ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකි. ඉන්ධන නෞකාවේ සිටි මුළු ගණන 13 ක් වූ අතර සෙසු 11 දෙනාම අනතුරින් මිය ගියහ. ඩෝනා පාස් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් දිවි ගලවා ගත්තේ නැත.

නමුත් දෛවයේ හාස්කමකට මෙන් මෙම බිහිසුණු ගිනි ජාලා මධ්‍යයේ ඇඳුම් බෑගයක එල්ලී පාවෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට හැකි වී තිබේ. එහෙත් ඔහු පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොමැත. මීට අමතරව එවකට 14 වැනි වියේ පසුවූ දැරියක් වන Valeriana duma ද මෙම අනතුරින් දිවි බේරා ගත් නමුත් ඇය පිළිබඳ අවධානය යොමු වූයේද වසර ගණනාවක් ගත වීමෙන් අනතුරුවය.

ඊළඟ පුදුම සහගත කරුණ නම් මෙම අනතුර පිළිබඳව පිලිපීන වෙරළ ආරක්ෂක බළකාය දැන ගත්තේ පැය අටකට පසුව වීමය. අනෙක් කාරණය ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේ තවත් පැය අටකට පසුව වීමය.

පරීක්ෂණ වලින් පසුව හෙළි වුණේද අප කලින් සඳහන් කළ ආකාරයට කලිතාන්වරයා නෞකාවේ බ්‍රිජ් එක නොහොත් පාලන මැදිරියට ආධුනිකයෙකු යොදවා තිබීමත්, සමස්ත කාර්ය මණ්ඩලය අවධානයෙන් තොරව සීටීමත්, ගෙන යා යුතු ප්‍රමාණයට වඩා මගීන් පටවා තිබීමත් ආදී කරුණුය. ඒ හැරුණු කල සීමාව ඉක්මවා ප්‍රවේශපත් අලෙවි කිරීමද එක් හේතුවකි.

ජීවිත අහිමි වීමට අමතරව මිය ගිය වුන්ට මෙන්ම ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටද සිදුවූ අනෙක් අසාධාරණය වූයේ ඔවුන්ගෙන් වැඩි පිරිසකට කිසිදු වන්දියක් නොලැබීමය. එයට හේතුව ඩෝනා පාස් මගී ලේඛනයේ සඳහන්ව ඇත්තේ 1493 ක ප්‍රමාණයක් වන හෙයිනි. නමුත් ඉතා පැහැදිලිවම මෙහි මගීන් හාර දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් ගත් බවට සාක්ෂි මේ වන විට ලැබී ඇත. වාර්තා වන පරිදි ඒ පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග තවමත් අවසන් නැත.

මේ වන විට මූලික වැරදි කරුවා වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඉන්ධන නෞකාව වෙතය. ඒ එය බලපත්‍රයක් සහ සුදුසුකම් සහිත කපිතාන්වරයෙකු නොමැතිව යාත්‍රා කළ බව හෙළි වී ඇති හෙයිනි.

“නැෂනල් ජියෝග්‍රැපික් “ චැනලය විසින් මේ පිළිබඳව “ආසියාවේ ටයිටැනික් ඛේදවාචකය.” නමින් විනාඩි පනහකට ආසන්න වාර්තා චිත්‍රපටයක්ද තනා තිබේ.

ටයිටැනික් ඛේදවාචකය අප තුළ ඉතිරි කර ඇත්තේ ශෝකයකි.

ඩෝනා පාස් ඛේදවාචකයෙන් ඇති කෙරෙන්නේ නැති බැරි කම මිලට ගන්නන් කෙරෙහි කෝපයකි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment