මරණයේ බිම්වලට හුස්ම ගෙනෙන යුද්ධ හමුදාවේ කාන්තාවෝ

138

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ගැහැනියද පිරිමියා තරම්ම දක්ෂතාවලින් පරිපූර්ණ වූවා පමණක් නොව ඇතැම් අංශවලින් පිරිමියාටත් වඩා ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණ ඇති බව මේ වන විට රහසක් නොවේ. ගැහැනිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මක මෙන්ම ඇය වෙත පැවරී ඇති කාර්යභාරය අනුව ද පුරුෂයාට වඩා ඉහළ මට්ටමක පවතී. බුදු දහම අනුව ස්ත්‍රිය හා පුරුෂයා වෙන වෙනම හඳුන්වා දී ඇතත් ඉන් එක කොටසකුදු අනිත් පක්ෂයට වඩා උසස් ලෙස සඳහන් කර නොමැත. අතීත සමාජයේ පැවැති ආකල්ප සමග සසඳන විට වර්තමාන සමාජයේ ගැහැනිය, පිරිමින් සමඟ කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයති. අතීතයේ පිරිමියාට පමණක් සීමා වූ විවිධ වෘත්තීන්හි අද යෙදෙමින් නූතන කාන්තාව ඒ බව සනාථ කර ඇත. විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පිරිමියා සමග කරට කර සිටිමින් කුසලතා ප්‍රදර්ශනය කිරීම අතින්ද අද කාන්තාව සමාජයේ ඉදිරියටම ගොස් ඇත. සම්ප්‍රදායික ආකල්ප අනුව ගැහැනියකට පැවරී ඇති කාර්යය කොටස්ද නොපිරිහෙළා ඉටුකරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් ද්විත්ව භූමිකාවන්හි සාර්ථක ලෙස නියැළී සිටින කාන්තාවෝ අද බහුල වෙති. එමඟින් මුලින්ම තම පවුලේ අනාගත දියුණුව සඳහා ද ඒ සමඟම පොදුවේ රටේ සංවර්ධනය උදෙසා ද ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අනභිභවනීය බව පැවසීමට දෙවරක් සිතිය යුතු නැත.

මරණයේ බිම්වලට හුස්ම ගෙනෙන යුද්ධ හමුදාවේ කාන්තාවෝ

මේ සියල්ල යථාර්ථයක් බවට පත්ව ඇති බවට හොඳම උදාහරණය වන්නේ 1979 වර්ෂයේ සැප්තැම්බර් 01 දින ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ වීර සෙබළියන්ය. එවකට යුද්ධ හමුදාධිපතිව සිටි ජෙනරාල් දේශමාන්‍යය ජේඊඩී පෙරේරාගේ මැදිහත් වීමෙන් සහ මඟපෙන්වීමෙන් පළමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය පිහිටුවන ලදී. එලෙස පිහිටුවූ පළමුවන යුද්ධ හමුදා කාන්තා බළකායේ අරමුණ වූයේ කාර්යාල රාජකාරි කටයුතුවල යොදවා සිටි සහෝදර සෙබළුන් යුද බිමේ රාජකාරි සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මුදා හැරීමය. එම බළකායේ පුහුණුවීම් සිදුකිරීම සඳහා බ්‍රිතාන්‍යය රාජකීය කාන්තා බළකායේ උපදේශිකාවක් වූ මේජර් ජේඑග් ලෝසන් දිවයිනට පැමිණීමත් බ්‍රිතාන්‍යය රාජකීය යුද්ධ හමුදාවේ මඟපෙන්වීම් යටතේ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කැඩෙට් නිලධාරිනීන් කණ්ඩායම බ්‍රිතාන්‍යයේදී පුහුණුව ලැබීමත් සමඟ කාන්තා බළකාය ආරම්භ විය.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමත් සමඟ ඇති වූ ජාතික අවශ්‍යතාවට උරදෙමින් මාතාභූමියේ ස්වෛරීභාවය රකිනු වස් සෙබළුන් සහ උරෙනුර ගැටී ක්ෂේත්‍ර රාජකාරි ඉටු කිරීමේ අභිලාසයෙන් දෙවැනි ස්වෙච්ඡා කාන්තා බළකායත් ඉන් අනතුරුව තුන්වන, හතරවන, පස්වන හා හයවන ස්වෙච්ඡා ඒකක හා හත්වන නිත්‍යය කාන්තා ඒකකය ස්ථාපන කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ මෙහෙවර තව තවත් පුළුල් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය ආදියේත් කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් මේවන විට සේවය කරන අතර ඔවුන් ඉටුකරන සේවය සුළුපටු නොවේ.

නමුත් අද අපේ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටින මූලික ක්ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුවලත් ප්‍රථම කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් පිළිබඳවය. “කාන්තාවට සමතැන ලබා දීමේ” එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) හා ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දරගේ මගපෙන්වීම යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන විසින් කාන්තා සෙබළියන් සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් සාම සාධක රාජකාරී සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මුලික ක්ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලදී. 2021 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව වව්නියාව බූඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේත්, කන්කසන්තුරය පිහිටි 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේදීත් පවත්වන ලදී. ඉංජිනේරු බළකායට පමණක් ආවේණික මෙම පාඨමාලාව කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු හා කාන්තා සෙබළියන් 51 දෙනකු ප්‍රථම වරට සාර්ථකව හදාරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ දෙවැනි ලුතිනන් ඩීඑම්ඩී විතානගේ සිය පාඨමාලාවේ ලද අත්දැකීම් පිළිබඳ අපට විස්තර කළේ මෙසේය.

මරණයේ බිම්වලට හුස්ම ගෙනෙන යුද්ධ හමුදාවේ කාන්තාවෝ

මේ බිම් බෝම්බ ඉවත් කිරීමේ භාරදූර මෙහෙයුම මේවන තෙක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සෙබළුන් විසින් විතරයි. නමුත් ලෝකයේ අනෙක් රටවල් ගත්තාම මෙම රාජකාරී සඳහා කාන්තාවන් යොදවලා තියෙනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවත් නිලධාරිනියන් තිදෙනකුගෙන් සහ සෙබළියන් පනස් එක් දෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම පුහුණු කරලා සූදානම් කරලා තියෙනවා. දැනට අපි පාඨමාලාව සාර්ථකව අවසන් කරලා පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ රාජකාරිය අපිට අලුත් අත්දැකීමක් වුණත් ඉදිරියේදී අපිට මුහුණ දෙන්නවෙන සියලුම අභියෝගවලට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්නවා. ඉංජිනේරු බළකායේ සහෝදර සෙබළුන්ට වගේම කාන්තා බළකායේ සෙබළියන්වන අපටත් නුදුරේදී ශ්‍රී ලංකා මාතෘභූමිය බිම්වෙඩි සහ පුපුරා නොගිය වෙඩිද්‍රව්‍යයවලින් නිදහස් රටක් බවට පත්කර ගැනීමටත් සිවිල් ජනතාවට කිසිම බයක් නැතිව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටත් දායකත්වය ලබා දීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් හිතේ ලොකු සතුටක් තියෙනවා. යැයි ඇය අප සමඟ කීවාය.

මෙම නිලධාරිනියන් හා සෙබළියන් ලද පුහුණුව ජාත්‍යන්තර සම්මත ක්‍රියා පටිපාටීන්ට අනුකූලව ලබා දුන් පුහුණුවක් වන අතර ලෝකයේ ඕනෑම රටක මානුෂ්‍යවාදී බිම් වෙඩි ඉවත් කිරීම, තත්ත්ව පරීක්ෂණය හා තත්ත්ව ආරක්ෂණය තුළින් වගවීම යන ක්‍රියාපිළිවෙළට අනුකූලව සිදුකිරීමේ හැකියාවක් ඇත. තවද, මෙම කාන්තා නිලධාරිණියන් හා සෙබළියන් ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය වෙත යා කිරීමක් සිදු කර මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ රාජකාරින් සඳහා සම්බන්ධ වී සිටින සෙබළුන් සමග මෙම සෙබළියන්ද යෙදවීමට හැකියාව ලැබෙන අතර, එමගින් බිම් වෙඩි ඉවත් කිරීමේ රාජකාරීන් හි කාර්යක්ෂමතාවද වැඩි කිරීමට හැකියාවක් ඇත.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ශ්‍රී ලංකාවේ මෙන්ම සාම සාධක රාජකාරීන් සඳහා විදෙස්ගත වීමටද ඔවුන් හට අවස්ථාවක් සැලසෙනවා සේම එමගින් විදෙස් රටවල සාම සාධක හමුදා සමග උරෙන් උර ගැටී රාජකාරී කිරීමට අවස්ථාව ලැබේ. ඒ අනුව රටක් වශයෙන් විදේශ විනිමය රටට ගෙන ඒමට අවස්ථාව සැලසිම තුළින් මෙරට මේවන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට යම් අස්වැසිල්ලක් ලබා දීමට හැකිවේ. එසේම යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගත් පසුව වුවද ලබාගත් දැනුම මගින් කාන්තාවක් වශයෙන් දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට පිටිවහලක් වනු ඇත. ඒ අනුව, ලබාගත් දැනුම ප්‍රායෝගිකව ඉටු කිරීමට අවස්ථාවක් උදාවන අතරම, ලබාගත් පුහුණුව හා එහි මූලධර්මයන් උපයෝගි කරගනිමින් තමාගේ ආරක්ෂාව සලසා ගනිමින් නිවැරදි ලෙස තම රාජකාරිය නියමිත ආකාරයෙන් ඉටු කිරීම තුළින් මුළු මහත් ශ්‍රී ලංකාවේත්, යුද්ධ හමුදාවේත් කීර්තිනාමය බැබළවීමට මෙය අවස්ථාවක් වනු ඇත.

කාන්තාව යනු අවදානම් සහිත තැනැත්තියක්ය යන ආකල්පය අවම කිරීමට උපකාරී වන අයුරින් ආකල්පමය වෙනසක් ඇති වීම වැදගත්ය. එසේම ගැහැනිය ආත්ම පරිපූර්ණත්වයට පත්වීම යනු සමස්ත සමාජයේ අභිවෘද්ධියෙහි පදනම සවිමත් වීමකි. එබැවින් කාන්තාව කෙරෙහි ගෞරවනීය හා සුබවාදී ආකල්ප වර්ධනය කිරීම ඇය බල ගැන්වීමේ ප්‍රධාන ක්‍රියා මාර්ගයක් මෙන්ම ඇයගේ ජීවිතය සුරක්ෂිත කිරීමක්ද වනු ඇත.

දර්ශන ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment