මරණය පණ ලැබුමෙකි අහුබුදුවෙනි ඔබ නැහැ මිය යන්නේ

196

අදට (26) යෙදෙන 12 වන ගුණ සමරුව නිමිත්තෙනි

හඳපානේ ඉඳ, හඳ පහන් විඳ විඳැ, හඳේ සුද වෑහෙන තරමට මැ ලපේ මතු කොටැ කතා කරන පුහුදුන් මිනිසුන් ගහන ලෝකයකැ මිනිසුන්ගේ ගුණ කෙන්ද පවා කන්ද කොටැ දකින්නා වූ සත් දනන් දැකීමත්, ඔවුන් ඇසුරට ලැබීමත් සම්පතෙකි.

අම්මා යන උතුම් වදනින් මවු කිරි සුවඳ මුසු වී හිමිවන මවු බස සිඟිති අවදියේ මැ යමකු අයත් විය යුතු ජන රැස හෙවත් ජාතිය ද පෙන්නා දෙයි. එපමණක් ද? ඔහුගේ ඇස පාදා දීමට පිහිට වන එබස මැ ඔහු ආදී මුතුන් මිත්තන්ගේ උරුමයේ කොටස්කරුවකු ද කෙරෙමින් ඔහුගේ ජාතිකත්වය තවද තහවුරු කෙරෙයි. මේ කරුණු නිසා මැ යම් කිසි බසකට, රැසකට, දෙසකට උරුමකම් ඇති හැම දෙන මැ තමා අයත් එමැ තෙරුවන වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසෙකි. මේ යුතුකම් අන් පුදෙන් ඉටු කරන්නේ හොඳ මිනිසෙකි. එබන්දෝ ජන මුළෙහි හරසරට නිස්සෝ යැ. කොග්ගල මහා ප්‍රාඥයා මාර්ටින් වික්‍රමසිංහයන් දිනූ තැන් සිට නෙත් කැලුම් වැටෙන මානයේ උපන් දෑ හිතකාමී අරීසෙන් අහුබුදු සූරිනට අනුව මැ, 2011 මැයි 26 වැනිදා සුර ලෝ පඬි සබයට ගිය තෙමේ ම, ජන මුළෙහි මහත් හරසරට නිස්සෙකි. වෙසක් පඬුර (1938), කවි මඟ (1944), හදිය (1945), ඔවය (1948), අඩුව (1952), රස නිදසුන (1960), ගඟේ ගිය මිණ (1962), දනවත් වීමේ මඟ (1962), පරෙවිය (සාම අස්න) (1962), රස දහර මහ කව (1969), බෝ පුද (1982), කඳ දෙව් උපත (1983), සිංහල වංශ කතාව (1985), සෙත් වතුර (1985) ආදි රස පිපාසා නිවන කවි පොත් ද වෙට්ට පිත්තලය හා පෙරැළිය (1945) හෙළ හැතිරිය (1952), රාජ යෝගය, රිදී රේඛාව (1987) ආදී නළු ද අලවු විනය (1952), අබි නික්මන (1965), මඟුලේ මඟුල (1968), ඇසළ සඳ (1969) බලාපොරොත්තු (1972) සීගිරි හබය (1967) ආදී ඉඟි නළු ද අතු අගැ දිළි මල් (1987) මාහැඟි ගීත රස මංජුසාව ද රසවතුනට තිළිණ කළ අරීසෙන් අහුබුදු සූරීහු කතන්දර පොත් 23ක්ද, කුමරතුඟු ඇසුර (1957) කිවිසුරු පවත (1965), මිතුරු වියොව (1965) වැනි අනගි සිරිත් ද වියරණ රචනය, සිප් වදන්, සැකැසුම් වියරණ සඟරා ආදී හෙළ දැය දැනුම්වත් කරන්නා වූ සරු ගත් රැසක් ද බිහි කරමින් බස පොහොසත් කළහ.

1920 මාර්තු 18 වැනිදා දකුණු ලකැ කොග්ගල මලලගමැ දී ජන්ම ලාභය ලැබූ අරිසෙන් අහුබුදු සූරීන් කලා ලොවට කැඳවූ සුපින්වතා වන්නේ “ලක්මිණි පහනේ” දායකයකු වූ ඔහුගේ සීයා කෙනකුන් වූ සලමන් වතුගෙදර ය. සීයා අහුබුදු බිලිඳු අවදියේ දී ඔහුට ඇසෙන්නට ගුත්තිලය, කුසදා කව, අන්ධභූත ජාතකය කියෙව්වේය. අහුබුදු දස හැවිරිදි වන විට එම පොත් තුනම කට පාඩමින් කියන්නට පටන් ගත්තේය. බාල කාලයේ ලත් මේ රසවත්කම හේතුවෙන්ම බස කෙරහි ආසක්ත විය. එදා බසෙහි රස අවුස්සා බසින් ගත හැකි වැඩ පෙන්වා දුන් කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සෙවණට පත් වීමෙන්ද නොතිත් ඇල්මෙන් පොත පත සේවනයෙන් ද බසිසුරුකම ලත් අහුබුදු කුඩා කල ගමේ දුටු බුම්පෝඩ් නාඩගම, දිනතර නාඩගම ඔස්සේ ගීයට නැඹුරු වූහ.

එකල්හිම විදුර ජාතක නාඩගමත් රචනා කොට පන්සල අසල රඟ දැක්විය. ඉනුදු නොනැවතී අම්බලන්ගොඩ සංගීතඥ සමරපාලගෙන් සංගීතය හදාරා 1941 දී වයලීනය වාදනයෙන් ගාන්ධර්ව ප්‍රාරම්භය ද සමත් විය.

වෙල්ලාල ජයමහ අහුබුදු හෙළ හවුලට ගත්තේය. අහුබුදුවන් කුමරතුඟු මුනිදසුන්ගේ ඇසුර ලබනුයේ එයිනි. එවක හෙළ හවුලට එක්ව සිටි සුනිල් සාන්ත හෙළ හවුලේ ඇත්තන් කවි ලොවින් ගී ලොවට කැඳවා ගෙන ගියේය. වෙල්ලාල, හියුබත් දිසානායක, රැ. තෙන්නකෝන්, ගුණපාල සේනාධීර, අමරසිරි ගුණවඩු, ජයන්ත වීරසේකර ද සුනිලුන්ට ගී ලියූහ. එහෙත් ඉන් ගී ලොව අට දිසාවේම තටු සලමින් සැරිසරන වරම් ලද්දෝ අහුබුදු සූරීහු ය.

කුඩා කල ගමේදී හිත ගිය ගීතය ඔහුගේ පරම ආස්වාදය විය. 1944 උනවටුනේ පැවැති හෙළ හවුල් උළෙලේ කුමරතුඟු සමරු ගීය ලියූ අහුබුදු ලවා “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීය රචනා කරවා ගැනීමට සුනිල් සාන්ත උණවටුනට එවූයේ මෝසස් පෙරේරා නම් වූ නව හෙළ හවුල් දායකයෙකි. සිංහල ගීයෙහි පිනට පහළ වූ අරීසෙන් අහුබුදු හෙළ ගීයට නිවැරදි, නිරාකූල වියත් බස හඳුන්වා දුන්නේය. සිංහල ගීයට වියතුන් හඳුන්වා දීමේ ගෞරවය මුළුමනින්ම හිමි වන්නේ සුනිල් සාන්තට හා පණ්ඩිත් අමරදේවටය. සුනිල් සාන්ත අරීසෙන් අහුබුදු ප්‍රමුඛ පෙර කී හෙළ හවුලේ ඇත්තන් සම්බන්ධ කර ගත් අතර පණ්ඩිත් අමරදේව එදා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, විමල් අභයසුන්දර ආදී විද්වතුන් ගෙන ආවේය.

“සිංහල සින්දුව පැවැත්නේ රාවයෙන් මනින සිංහල තුති පත් සේ හින්දුස්ථානි රාග තාල රාමුවෙන් මැ මැනෙන පහත් තතුවෙකැයි. විරිත විනා අරුතක්, රසයක් වියරණයක් ගැන වැඩි සැලකිල්ලක් එදා සිංහල සින්දු තනන්නා නොදැක්වීය. අදත් නමට ශාස්ත්‍රීය වූ අපේ හින්දුස්ථානි සිංහල රාමු ගීයේ ඒ අතින් වැඩි අමුත්තක් නැති බව කනගාටුවෙන් වුව ද කිව යුතු ඇත්තෙකි”යි සුනිල් සාන්ත ප්‍රකාශ කළේය.

සුනිලුන් නිසා ගී ලියන්නට පටන් ගත් අහුබුදු කවියා නිසා හෙළ ගී මඟ කිවියාව ඇති උසස් රචනයෙන් පොහොසත් විය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපට ගීතයට අවතීර්ණ වූයේ රේඛාවෙන් පසු 1959 දීය. රේඛාවේ සියලු ගී ජයකොඩි පියතුමා ලියන්නාක් මෙන්ම, සන්දේශයේ ගී හතම රචනා කළේ අහුබුදු සූරීහුය. ඒ ගී සියල්ල ප්‍රශස්ත සාහිත්‍යයික රචනා වෙයි.

හෙළයාගේ සතුරෝම ගුණ කියති. මන්ද යත් අවි ගිලිහුණු සතුරන් කමා කළ හෙයිනි. ස්වකීය අවි සතුරාට දී හටනට කැඳ වූ හෙයිනි. මළ සතුරාටත් සඳ බැඳැ වූ හෙයිනි. හෙළයාගේ යහ ගුණ කී සැටි අපූරුය.

සරසවිය සිනමා සම්මාන උළෙල ආරම්භ වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ වීර සම්භාවිත සරස්වතී අභිනන්දන ගීයෙනි. සම්මාන උළෙල සමාප්තිය ද එවන් අසිරිමත් ගීයකින් අවසන් විය යුතු යැයි සිතූ මම අරීසෙන් අහුබුදු සූරීන් ලවා ලියවා ගෙන 1998 සරසවිය සම්මාන උළෙලට එක් කළෙමි. එය සම්මානලාභී සිනමා කලාකරුවන්ගේ අගය කියා පාන්නකි. කවියට සිප් වදනට වියරණයට, විවරණයට, සිරිත් කතාවට, කතන්දරයට දෙසුමට සූරකම් පෑ අරීසෙන් අහුබුදු ගීයෙහි වඩාත් දස්කම් විස්කම් පෑම නිසා ඔහු අද වඩාත් කතා බහට ලක් වන්නේ අති විශිෂ්ට සාහිත්‍යයික ලක්‍ෂණයෙන් සැරසුණු අග්‍රේසර ගීත ප්‍රබන්ධයකු වශයෙනි. මෙය ද ඉන් අංශු මාත්‍රයක් ගෙන හැර දැක්වීමද දැරූ දිලිඳු තැතක් පමණි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment