මරණය පරාජය කරන්න මුදල් වැය කරන බිලියනපතියා

983

ලෝකයේ තිබෙන සෑම දෙයකම ස්වභාවය අභාවයයි. මරණය සඳහා අප පාවිච්චි කරනු ලබන්නේ එම ගැඹුරු අර්ථයයි. පොදුවේ සියලූ මිනිස්, තිරිසන් ආදීන් මෙන්ම, ගස් වැල් ආදී දේ ද විනාශයට පත්වීම, අපි සියලූ දෙනාම ජීවිතයේදී අත්දකිමු. මේ අනුව ලෝකය හා සම්බන්ධ ජීවී, අජීවි සියල්ල ඇති වී සුළු කලක දී පැවැත නැති වී යයි. ඒ අනුව ‘ජීවිතං අනියතං මරණං නියතං’ යන බුදු වදන සදාතන සත්‍යයකි. ජීවත්වන සත්වයා ලෞකික වශයෙන් විවිධ ඉලක්ක ජය ගැනීමට වෙර දැරුවද බුදු දහම ගැන සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම්, ඒ සියලූ ලෞකික ඉලක්ක ජය ගැනීමට වඩා වැදගත් වන්නේ මරණය ජය ගැනීමයි. එයට හේතුව උපන් සත්ත්වයා මරණය ඉලක්ක කොට ඇති බැවිනි. අවිද්‍යා බහුලවීම නිසා හා ජීවිතය උපාදාන වශයෙන් ගැනීම නිසාද මරණය පිළිබඳ බියක් ඇතිවුවද මරණයෙන් මිදීමට නොහැකිය. සිරිමා නම් රූමත් වෛශ්‍යාවගේ මරණය හේතුකොට බුදුන් වහන්සේ දෙසූවේ කවරක්ද? මේ රූපය ඉතා දිරා ගියේය. එය, රෝගයට කැදැල්ලක් බඳුය. වහා නැසෙන සුලූ, කුණු වැගිරෙන මේ කය, මරණය කෙළවර කොට ඇත්තේ ය යනුවෙනි.

 කෙසේ නමුත් ලෝකයේ ඉහළම ධනවතා එවක ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ‘ඇමසන්‘ සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණියේ 2017 වසරේදීය. එවක ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 91ක් පමණක් විය. 1994 දී ජෙෆ් බේසොස්, වෝල් වීදියේ රැුකියාවෙන් ඉවත්වී ‘ඇමසන්’ ආරම්භ කළේ සිය නිවසේ ගරාජයේය. 2000 ඔහු ‘බ්ලූ ඔරිජින්’ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කළ අතර 2013 දී ‘වොෂින්ටන් පොස්ට්’ පුවත්පත මිලදී ගත්තේය. අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය ජෙෆ් බේසොස් ගේ අනාගත සිහිනයකි. ඔහු ගිනි නිවන හමුදාවේ ස්වෙච්ඡුා භටයෙකි.

 ලොව ධනවත්ම මිනිසාගේ මුළු ඩොලර් බිලියන 200 ක වත්කම වියදම් කිරීමට ඔහුට පෘථිවියේ ප‍්‍රමාණවත් කාලයක් විසීමට නොහැකි වන බව දන්නා නිසා ලබාදෙන විසඳුම මෙයද? වයසට යෑමේ ඛේදය ආපසු හැරවීම සඳහා ඔහු රුසියානු-ඊශ‍්‍රායල යූරි මිල්නර් වැනි සෙසු ප‍්‍රකෝටිපතියන් සමඟ ද එක්ව තිබේ. සදාකාලික තාරුණ්‍ය වෙනුවෙන් විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා පෘථිවියේ සිටින හොඳම විද්‍යාඥයින් කිහිප දෙනෙකු බඳවා ගනිමින් ඔවුන් ඇල්ටෝස් විද්‍යාගාර සමාගම වෙත ඩොලර් බිලියන ගණනක් මුදල් යෙදවීමට සූදානම් වේ. පිළිකා, මානසික රෝග, , ඒඞ්ස්, කොවිඞ් -19 වැළැක්වීම සඳහා මුදල් ආයෝජනය නොකර මහලූවීම නැවැත්වීමට මුදල් ආයෝජනය කිරීම එක්තරා පිස්සුවක්ද? ඇත්තෙන්ම මහලූ වීම බොහෝ දෙනෙකුට මුලිනුපුටා දැමිය යුතු රෝගයක් සේ නොපෙනේ. මහලූ වයස යනු රෝගයක් බව පුද්ගලික අර්ථකථනයක් නොවේ. එහෙත් ජෙෆ් බෙසෝස් ඇල්ටෝස් විද්‍යාගාරයේ ආධාරයෙන් සදාකල් ජීවත් වීමට කැමතිය. ඔහු කෙසේ හෝ මරණය වංචා කිරීමට උත්සහ කරයි. මෙය සාර්ථක වෙයිද? මෙය සැබවින්ම ස්වාභව ධර්මයට එරෙහිව යාමක් නොවේද? නමුත් මුදල් සියල්ල වෙනස් කර තිබේ. සාමාන්‍ය මිනිසාට වඩා වැඩි කාලයක් ජීවත් වීමට ඔහුට අවශ්‍යය. ඒ සඳහා ඔහු වයස්ගත වීම ආපසු හැරවිය හැකි යැයි කියන

 සමාගමකට විශාල මුදලක් යොදවයි. එය වෙනත් ආකාරයකින් කිවහොත් ඔහුට මිනිස් ජීවිතය දිගු කිරීමට අවශ්‍ය ය. එය අමුතු දෙයක් ලෙස පෙනුනත්, මෙය බෙසෝස්ගේ පළමු හෝ වඩාත්ම සාහසික ගවේෂණය නොවේ. සමහර විට මරණය මුදල් වලට ජය ගැනීමට නොහැකි වූ දෙයකි – අවම වශයෙන් තවමත් – වයසට යෑම වැළැක්වීම කෙරෙහි ඇති ඇල්ම සිත් ඇදගන්නා

 සුළු ය. නමුත් වයසට යෑමට එරෙහිව සටන් කිරීමටද තම මුදලට හැකිවේ යැයි මේ ධන කුවේරයා විශ්වාස කරයි. ඇත්තෙන්ම ලැප්රි පේජර්, පීටර් තියල් සහ ලැරී එලිසන් යන කෝටිපතියෝ මීට පෙර වයසට යෑම වැළැක්වීමේ පර්යේෂණ සඳහා ආයෝජනය කර තිබිණි.

 මේ වන විට ඇල්ටෝස් විද්‍යාගාරය සිය උපදේශක මණ්ඩලයේ සේවය කිරීම සඳහා නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙකුගේ සහාය පවා ලබාගෙන ඇත. කෙසේ වෙතත් ඉදිරි මාවත දුෂ්කර හා දිගුවනු ඇත. ෙසෙලීය ජීව විද්‍යාව සහ ජාන විද්‍යා විශාරදයින්ට අනුව, මානව විෂයයන් පිළිබඳ සායනික අත්හදා බැලීම් වලට තවත් බොහෝ කාලයක් ගතවන අතර, වයසට යෑම ආපසු හැරවිය හැකි නිෂ්පාදනයක් සකස් කිරීම මේ සියල්ලන්ගෙන් පසුව සිදුවනු ඇත. එහෙත් මෙය සාර්ථක වීමේ සම්භාවිතාව නොදන්නා බව සයන්ස්ටයිම් අන්තර්ජාල පුවත්පත කියයි. ඇල්ටෝස් සමාගමේ අරමුණ වන්නේ මුලින් මිනිස් ආයු කාලය සඳහා වසර 50 ක අතිරේක කාලයක් ලබා දීමයි. වැඩිදුර පර්යේෂණ සමඟ තවත් වසර ගණනාවක් එකතු කළ හැකිවන බව ඔවුන්ගේ අදහසයි.

 මෙම මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2020 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් නිම්නයේ සම්මන්ත‍්‍රණයක් සඳහා විද්‍යාඥයින් කණ්ඩායමක හමුවකිනි. ඒ අනුව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සංස්ථාපිත ඇල්ටෝස් විද්‍යාගාර සමාගම පිහිටුවනු ලැබිණි. මේ සඳහා ලොවපුරා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් ඉතා ඉහළ වැටුප් සහිතව බඳවා ගන්නා අතර මිනිස් ෙසෙල වයසට යෑම ආපසු හරවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව බාධාවකින් තොරව ඉතා නිදහස්ව කටයුතු කිරීමේ පොරොන්දුවත් සමඟ ඔවුන්ව බඳවා ගැනේ.

 සියල්ල මුදල්වලට කළ හැකිද? කොරෝනාව සහමුලින් නතර කිරීමට තවමත් එන්නතක් නොමැති කළ වයසට යෑම ආපසු හැරවීම කළ හැකිද? මෙය කොතරම් සදාචාරාත්මකද යන ප‍්‍රශ්නයත් පැන නැගී. කවර බලවතෙකුට වුවද විශ්වසම්මුතීන් ආපසු හැරවිය හැකිද? අපි බලා සිටිමු.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment