මරණවලට හේතුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරියගෙන් නියෝග

479

මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ දී පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය 6 වැනිදා සවස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය විසින් පැවැත්වූවාය.

මිනුවන්ගොඩ මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තිබූ අකලහන්දි ලක්ෂ්මන් පුෂ්පකුමාර ද සිල්වා (අවු.50) හෙවත් රාළහාමි (පියා ) යන අයගේ මළ සිරුර සහ ඔවුන් පදිංචිව සිටි කලහුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබූ අකලහන්දි සුරේෂ් ජීවන්ත ද සිල්වා (25) සහ අකලහන්දි රොෂාන් මධුවන්ත ද සිල්වා (24) යන අයියා මලෝ දෙදෙනාගේ මළ සිරුරු දෙක සහ වෙඩි තැබීම සිදුවූ ස්ථානය මහෙස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

එම මළ සිරුරු තුන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙසට මිනුවන්ගොඩ පොලිසියට නියම කෙරිණි. එම මළ සිරුරු තුන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළ මහෙස්ත්‍රාත්වරිය එම මරණවලට හේතුව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළාය. වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය 19 වැනිදාට කල් තැබිණි. එදිනට (19 දා) සාක්ෂිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය මිනුවන්ගොඩ පොලිසියට නියම කළාය.

පෙරේදා (06 වැනිදා) පෙරවරු 7.00ට පමණ මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි ටී 56 අවිවලින් සන්නද්ධ වූ පාතාල සාමාජිකයන් පිරිසක් මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ පිහිටි මරණකරුවන්ගේ නිවසට ගොස් පොලිස් නිලධාරීන් බව පවසා නිවසේ ඉදිරි දොර විවෘත කරවාගෙන තිදෙනාට වෙඩි තබා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලැබීය. එම ඝාතනයට පැමිණි තිදෙනකු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ගම්පහ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසීය.

මරණකරුවන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07 දා) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

ටෝනි කරුණානායක – මිනුවන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment