මරණ තුනක්… සඳ හතක්… විකාර රූපයේ මුදුන් පෙත්ත

315

ෂෙහාන් කරුණාතිලකගේ ‘The Seven Moons of Maali Almeida’

පැහැර ගැනීමට පසුදා, රිචඩ්ගේ නිරුවත් මළ සිරුර, මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසල වෙරළට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන්ට ඇස ගැසුණි‘ ඉදිමී සුදුමැලි පැහැ ගැන්වී තිබූ සිරුර ධීවරයන්ට කාගේ ද කියා කෙසේවත් හඳුනාගත නොහැකි විය. රිචඩ් ඉංග්‍රීසි නිවේදකයෙකු සහ එක්තරා කුලයක නාට්‍ය කිහිපයක රඟපා තිබුණ ද ඔහු සාමාන්‍ය ජනතාවගේ මනසේ ඇඳුණු රුවක් නොවීය. මේ නිසා ඔහුගේ සිරුර යථා ස්වභාවයෙන් තිබුනද එම ධීවර ප්‍රජාවට එය කෙසේවත් හඳුනාගත නොහැකි වනු ඇත. මොරටුව පොලිසිය තමන් වෙත ලද තොරතුරු අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මළ සිරුර පිළිබඳ විස්තර දන්වා යවන ලද්දේ, පොලිස් සිරිත් පරිදිය.

රාත්‍රීයේ කළුබෝවිල රෝහලට පැමිණි රිචඩ්ගේ මව මනෝරානි සරවනමුත්තු සහ රිචඩ්ගේ ළඟම මිත්‍රයෙකු වන සිවරාම් හෙවත් තාරකී, මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ජීවත්වූ රිචඩ් වෙත නොතිබූ ජනප්‍රියභාවයක් ඔහුගේ මිනිය සහ මරණෙන් පසු රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේද මතු වන්නේය. පසු කලෙක රිචඩ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලුම විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. එම නඩු තීන්දුවේ සඳහන් වූයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකොට තිබූ චෝදනා ඔප්පු වී නොමැති බවය. එසේ වුවත් රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ, ප්‍රේමදාස රජය සමයේ ප්‍රබල පොලිස් නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව ඝාතනය සිදු වී ටික කලකින් අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස් පරීක්ෂක එම්. ජී. ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව රටේ ප්‍රසිද්ධ කාරණයක් වී තිබුණි.

1986 දෙසැම්බර් 15 වැනිදා පස්වරු 8.30ට බණ්ඩාරගම හිරණ තොටුපළ අසලදී, බෙල්ලට පිහියෙන් ඇන කෙටේරියෙන් බෙල්ල කපා දයා පතිරණ මරා දමා තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ මරා දමන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ නායක යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතීගේ මෙහෙයවීම යටතේ ජවිපෙ සන්නද්ධ අංශ විසිනි.

‘කවදා හෝ දවසක තුවක්කුවක් මා නිහඬ කරනු ඇත. එය සාමාන්‍ය මිනිසෙක් විසින් සිදුකරන්නක් විය නොහැක. මාගේ ඉතිහාසය බෙදාගන්නා මේ සමාජයේ ජීවත්වන එක් කාන්තාවකගේ කුසෙන් ඉපදුනු පුතෙකු විසින් එල්ල කරන ලද තුවක්කුවක්ම විය හැකිය. තමා ඝාතනයට දින දහ හතරකට පෙර සිය හිතවතෙකු වෙත එසේ ලියූ රාජිනී තිරාණගම, ඇය වෛද්‍ය පීඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන ලද යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි තිරුනෙල්වේලි හන්දියේ දී ඇය වෙත වෙඩි තබා ඝාතනය කළහ. එම ඝාතනය සඳහා වගකිව යුතු යැයි අනාවරණය වූයේ ඉන්දියන් සාමසාධක හමුදාව සහ ඊපීආර් එල්එෆ් සංවිධානය ය.

බුකර් සම්මානයට පාත්‍ර වූ ෂෙහාන් කරුණාතිලකගේ ‘The Seven Moons of Maali Almeida’ යන ග්‍රන්ථයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය එසේය.

දෙකොන පත්තු වූ විලක්කුවක් වූ දේශයක, මතකයක්, ලෝකයේ රැව් දීමට මෙතරම් කාලයක් ගතවීද යන ප්‍රශ්නය පළමුවෙන්ම නැගෙනුයේ ෂෙහාන් සිය කතා රටාව ගොතා ඇත්තේ මෙම සත්‍ය පර්යාවලෝකනය කර ගනිමින් වන නිසාය. අධිස්වභාවික උපහාස රචනයක් ලෙස මේවන විට විචාරකයන් හඳුන්වා දී ඇති එම ග්‍රන්ථය සපුරාම පාහේ විකාර රූපී ගතියක් බව පෙනී යන්නේ, මරණයෙන් නැගිට, සිය ඡායාරූප සොයාගන්නා ලෙසත්, යුද්ධයේ කුරිරු බව හෙළිකරන ලෙසත්, සිය මිතුරන්ට පැවසීම සඳහා සතියක කාලයක් ලද ඡායාරූප ශිල්පියෙකු පිළිබඳ කතාන්තරයක් ලෙස මෙය රචනා වී ඇති හෙයිනි.

සම්මානය පිළිගත් මොහොතේ දී කරුණාතිලක මෙසේ ප්‍රකාශ කළේ ය: ‘මගේ බලාපොරොත්තුව වෙන්නේ නුදුරු අනාගතයේ දී… දූෂණය, ජාතිවාදී ඇම දැමීම්, සහ ගජමිතුරන්ට සැලකීම වැනි අදහස් ක්‍රියා නොකරනු ඇති කියායි. ඉදිරියටත් ඒවා ක්‍රියාශීලි නොමැති බව ශ්‍රී ලංකාව තේරුම්ගනීවි කියන එක යි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, ‘සාමාන්‍ය වැසියන් කීදෙනෙක් මියගියා ද, කාගේ වැරැද්දෙන් ද මියගියේ’ යන්න සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති මොහොතක, ‘මියගිය අයට සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළ හැකි අන්දමේ හොල්මන් කතාවක්’ ලිවීමට තමා 2009 දී තීරණය කළ බව පැවසූ කරුණාතිලක,

‘තව අවුරුදු 10කින් පස්සෙත් මේක මුද්‍රණයේ තියේවි කියලා හිතනවා… එහෙම වුණොත්, ඒක තමන්ගේ කතාන්දරවලින් යමක් ඉගෙනගත් ලංකාවක ලියවිලා තියේවි, ඒ වගේම Seven Moons පොත් සාප්පුවේ ෆැන්ටසි අංශයේ මකරුන්ට යි කඟවේනුන්ට යි එහා පැත්තේ තියේවි, ඒක යථාර්ථවාදය හෝ දේශපාලන උපහාසය ලෙස වරදවා වටහා ගන්න එකක් නැතිවේවි කියලා මම අපේක්ෂා කරනවා. අගෝස්තු මාසයේ දී කතුවර සල්මාන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක්වීමෙන් පසු තමා සිය කෙටිකතා කිහිපයක් ‘ස්වයංවාරණය’ කළ බව පසුව ඔහු පැවසීය. කතුවර රුෂ්ඩිගේ The Satanic Verses නම් කෘතිය සිය දෙවියන්ට අපහාසයක් ලෙස ඇතැම් මුස්ලිම්වරුන් සැලකූ නිසා, එය රචනා කිරීමෙන් පසු වසර ගණනාවක් පුරාවට මරණ තර්ජනවලට මුහුණදීමට ඔහුට සිදුවිය.

‘මේ සිද්ධිය වුණු කාලේ වෙද්දී මම කෙටිකතා එකතුවක් ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියක යෙදිලා හිටියේ; කිසිම ආගමකට අපහාසයක් නෙවෙයි කියලා, මම සලකපු කෙටිකතා කීපයක් මට හම්බුණා. ඒත් මගේ නෝනා කිව්වා, ‘ඔයාට ඒක නොකර ඉන්න බැරිද? ඔයාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ කතාව එච්චර හොඳ නැහැ. ඒක අතාරින්න කියලා. දකුණු ආසියාවේ ඉඳන් ලියනවා නම්, විශේෂයෙන්ම දේශපාලනය හෝ ආගම ගැන ලියනවා නම්, මේක අපි හැමෝටම බලපාන දෙයක්….. යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේ ය.

කලා විචාරිකාවක වන රෙබෙකා ජෝන්ස් මෙම ‘විස්මිත’ ජයග්‍රාහී නවකතාව පිළිබඳ කියා සිටින්නේ, එය අඩක් මිනීමැරුම් අභිරහසක් ද, අඩක් ප්‍රහසනයක් ද වන මෙවන් උද්යෝගිමත් පාරභෞතික අභිරහස් කතාවක් ගැන සාකච්ඡාව ආරම්භ කරන්නේ කොතැනින් ද? යන්න ප්‍රශ්න කරමිනි.

“බ්‍රව්නීස්, ට්‍රිෆල් සහ ඩෝනට් යන රසකැවිලි සියල්ල යොදා, තනි කේක් ගෙඩියක් සෑදුවේයැ යි සිතුවහොත්, එවිට ඔබට මේ පිළිබඳ අදහසක් ලැබෙනු ඇත. නමුත් ෂෙහාන් කරුණාතිලක විවිධ ෂානරයන් කෙතරම් නිපුණව මිශ්‍ර කරයි ද යත්, අවසානයේ දී අනම් මනම් රැසක් පිරවූ නවකතාවකට වෙනුවට අනර්ඝ, තෘප්තිමත් නවකතාවක් ඔබට ලැබේ. කෘතියේ ආරම්භය තරමක විකාර තානයක් පිහිටුවයි. එය ආරම්භ වන්නේ පරලොව ජීවිතයේ දී වන අතර එය නිලධාරිවාදී සහ නිසරු යමක් ලෙස පෙන්වයි. අනතුරුව එය පරලොව සහ මෙලොව අතර දෝලනය වන්නේ, 1990 වසරේ දී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරේ මාලි අල්මේදා තමා මරාදැමුවේ කවුද සහ ඇයි යන්න සොයාගැනීමට උත්සාහ දරමින් සිටින විට ය. ෂෙහාන් කරුණාතිලක පවසන්නේ මෙම කෘතිය දසවසරක් තිස්සේ ඔහුගේ මනසෙහි තිබූ බව යි. එසේ නම් ඔහුගේ මොළය බොහෝ කාර්යබහුලව පවතින්නට ඇත,’ යනුවෙනි.

බුකර් ප්‍රදානයේ ප්‍රධාන විනිසුරු නීල් මැක්ග්‍රෙගර්, නවකතාවේ පථය සහ කුසලතාව හා නිර්භීත, ගරුසරු රහිත සහ හාස්‍යජනක විලාසය ද ප්‍රශංසාවට ලක්කළේ, එය ‘පරලොව නුවා’ ලෙස හඳුන්වමින්, ‘පාඨකයා ජීවිතය සහ මරණය හරහා රෝලර්කෝස්ටර් ගමනක ගෙනයන’ බව ඔහු ප්‍රකාශ කළේය.. විනිසුරුවන්ගේ තීරණය ඒකමතික වීයැ යි විනිසුරුවරයා පවසා සිටියේය.

ෂෙහාන් කරුණාතිලක මීට දශකයකට පෙර සිය කුළුඳුල් නවකතාව වන චයිනාමන් නවකතාවෙන් මහත් ආන්දෝලනයක් ඇති කළේය. 2012 පොදුරාජ්‍ය මණ්ඩලයීය සාහිත්‍ය ප්‍රදානය දිනාගත් සහ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකේය නවකතාවලින් එකක් ලෙසින් ප්‍රශංසාවට ලක්වූ එය, විශ්‍රාමික ක්‍රීඩා මාධ්‍යවේදියෙකුගේ රහමෙර, පොඟවා ගත් ජීවිතය විස්තර කරයි, ඔහු අභිරහස් ලෙස මිය ගිය අතර, අසූව දශකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබඳව විවරණයක් ඉන් නිරූපණය වේ.

The Seven Moons of Maali Almeida හී, සිංහල පියෙකුගේ සහ බර්ගර් මවකගේ පුතෙකු වන මාලි, ඔහුගේ විශ්වාසවන්ත නිකොන් කැමරාවට ආදරය කරන සංචාරක ඡායාරූප ශිල්පියෙකි. ඉහළ සමාජ ස්ථරයක් හොබවන ඔහු, සමලිංගිකයෙක් සහ අදේවවාදියෙකි. නවකතාව ආරම්භයේදී ඔහු මිය ගොස් අවදි වේ.

ඔහු සිතන්නේ ඔහු මිතුරෙකු දුන් “මෝඩ පෙති” ගිල දමා මායාවෙන් සිටින බවය. නැත: ඔහු සැබවින්ම මිය ගොස් ඇති අතර, පෙනෙන පරිදි පාතාල ලෝකයක සිරවී ඇත. එය මිල්ටෝනියානු කෝලාහලයක් නොවේ; ඔහු වෙනුවෙන්, ‘පසු ජීවිතය බදු කාර්යාලයක් ඇති අතර සෑම කෙනෙකුටම, ඔවුන්ගේ වට්ටම් තිබේ’, අනෙකුත් ආත්මයන් ඔහු වටකරගෙන සිටින අතර, අවයව කැඩී ගිය අත් පා සහ ලේ තැවරුණු ඇඳුම් හේතුවෙන් ඔවුන්ගේ ආකෘති පත්‍ර පිරවීම සඳහා ක්‍රමවත් පෝලිමක් සෑදීමට ඔවුන්ට හැකියාවක් නැත. මෙම අඳුරු දර්ශනය තුළ ඔහුට මුණගැසෙන බොහෝ මිනිසුන් 80 දශකයේ ශ්‍රී ලංකාව පීඩාවට පත් කළ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් වන අතර, වෙඩි තැබීමට ලක් වූ දෙමළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ද ඇත. මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණේ වින්දිතයන් මෙම නවකතාවේ නිරූපණය වේ.

මාලි යනු ශ්‍රී ලංකාවේ කැරැල්ලේ ම්ලේච්ඡත්වයේ සාක්ෂිකරුවෙකි. පුවත්පත් සහ සඟරා සඳහා වැඩ කරන ඔහුගේ අභිලාෂය වන්නේ ‘ආණ්ඩු වට්ටන’ ඡායාරූප ගැනීමයි. මේ ආදී ලෙස දිග හැරෙන නවකතාව සඳ හතක් සහිත භාවයන් මවමින් අද්භූත ගමනක යෙදේ.

විචාරයක් යනු හැඳින්වීමෙන් මඳක් ඔබ්බෙවූ නවාතැනකි. එය අම්බලමක් මිස ඔබගේ නවාතැන නොවේ. ඒ නිසා ‘The Seven Moons of Maali Almeida’ වටේ යෑම දැන්වත් නතර කර, ගමනාන්තය වන නවකතාවේ සැරිසරන්න.

● ඔසිත අත්තනායක

මරණ තුනක්... සඳ හතක්... විකාර රූපයේ මුදුන් පෙත්ත
advertistmentadvertistment
advertistmentadvertistment