මරණ  දඬුවමට ජනපති  බෑ කියයි

220

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (31) දැනුම් දුන්නේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබූ තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.

විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

නීතිපතිවරයා මේ පිළිබඳ පෙරේදා (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සිය අත්සන භාවිතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙස ද ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.

එම තීරණයෙහි කිසිදු වෙනසක් නැති බව ඒ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලබන වසරේ පෙබරවාරි මස 23දා මෙම පෙත්සම් නැවත කැඳවීමට නියම කළේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් හතර දෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තැබීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ ජුනි මස 26 වැනිදා ප්‍රකාශයක් කර තිබුණි.

ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කෙරිණ.

එවකට සිටි ජනාධිපතිවරයාගේ එම තීරණය මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි බවට එම පෙත්සම් මගින් චෝදනා කර තිබුණි. එසේම එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන්ට පටහැනි බව ද අයුක්ති සහ අසාධාරණ බව ද පෙත්සම්කරුවන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි.

එබැවින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ.ජේ.ඒ. අබේනායක, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment