මරණ මැද පැණි කමින් වෙන වයන නීරෝලා

66

පසුගිය දින සමගි ජන බලවේගය පැවැත්වූ ජනතා විරෝධයට අතිවිශාල ජනතා සහභාගිත්වයක් තිබුණා. සහභාගි වී සිටි සියලූ දෙනාම බලකර කියා සිටියේ ජනපතිට ඉල්ලා අස්වන ලෙසයි. ”රට විනාශයි දැන් ඇති, ගෙදර පලයව්” යන්න විරෝධයේ ප‍්‍රධාන තේමාව වී තිබිණ.

කවුරුන් කුමක් කීවද ජනතාව තම ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂ බලවේගය බවට පත්කර ඇති සමගි ජන බලවේගය, මහපොලවේද, රජයට විරුද්ධව මේ සා විශාල ජනතාවක් පෙලගැස්විය හැකි ප‍්‍රධාන පාර්ශ්වය බව පැහැදිලිවම පෙන්නුම් කළ අවස්ථාවක් වුණා. හැම අතින්ම පීඩනයට පත්ව සිටින ජනතාව තම දුක, වේදනාව, කළකිරීම සහ කෝපය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් මෙන්ම ආවේගශීලී ලෙසින් පිටකර සිටීම මෙහිදී දැකිය හැකිවුණා.

එක් පැත්තකින් අතේ මුදල් තිබුණද තමන්ට අත්‍යවශ්‍ය දෑ මිලදී ගත නොහැකිව වරු ගණන් ගිනි අව්වේ තපිමින් කාලය කා දමන්නට සිදුවී තිබේ. අනෙක් අතින් ගිනි ගණනින් මිල ඉහළට ගොස් ඇති භාණ්ඩ මිලදී ගැන්මට හැකියාවක් නොමැතිව ළතවන සාමාන්‍ය ජනතාවය. මේ සියලූ තරාතිරම්වල උදවියගේ එකතුවක් මේ විරෝධය තුළ දැකගත හැකිවුණා.

ජනපති ලේකම් කාර්යාලය ඉලක්ක කර පැමිණි පා ගමන් දෙකක් තිබුණා. විහාර මහදේවි උද්‍යානයෙන් ඇරඹුණු පාගමනේ පෙරමුණේම සිටියේ විශ්වවිද්‍යාල ප‍්‍රජාවයි. ”ජනතාවදී බුද්ධි මණ්ඩපය” නමින් වූ බැනරයක් පෙරටුකොටගෙන ඔවුන් ගමන් කිරීම දැකිය හැකිවුණා. ඒ සමගින් උතුරෙන් පැමිණ සිටි සෑහෙන පිරිසක්ද එක්ව සිටියා. උතුර, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම තරුණ සංවිධාන, වෘත්තීය සහ වෘත්තීමය සමිති ඇතුළු බාල, මහලූ, තරුණ, වැඩිහිටි සියලූ දෙනාගෙන්ම සමන්විත සමාජයේ සියලූ ජනකොටස්වල හරස්කඩක් මෙහිදී ප‍්‍රදර්ශනය වුණා.

සමගි ජන බලවේගයේ මෙම ප‍්‍රධාන විරෝධතාවට අමතරව, රටපුරා පාලකයන්ට ගෙදර යන ලෙස බලකරන විරෝධතාවන් කිසිදු පක්ෂ හෝ සංවිධානවල මෙහෙයවීමෙන් තොරව ස්වෙච්ඡාවෙන් සිදුවීම දකින්නට තිබෙනවා. මේ විරෝධතාවනට කිසිදිනෙක දේශපාලන කටයුතුවලට සහභාගිවීම දැකිය නොහැකි සමාජ කොටස්ද නායකත්වය දීම පෙනෙන්ට තිබෙනවා. කොහුවලින්, රාජගිරියෙන්, නුගේගොඩින්, කොල්ලූපිටියෙන්, මහරගමින්, කළුතරින් ස්වෙච්ඡාවෙන් ඇරඹුණු මේ විරෝධතා රැල්ල දැන් රටපුරා පැතිරෙමින් තිබෙනවා.

අතේ මුදල් තිබුණද, අත්‍යවශ්‍ය දෑ මිලදීගත නොහැකිව, ගෑස්, ඞීසල්, පෙට‍්‍රල් පෝලිම්වල කටුක අත්දැකීම් වලට මුහුණ දෙන පුරවැසියන් එක් අතකින් දකින්නට සිටියදී, රේස් පදින මෝටර් වාහනවලට පොලිස් ආරක්ෂාව දීම සහ ඒ වාහන රේස් පිරිවරාගෙන යන රජයේ බව කියන සුඛෝපභෝගී වාහන කන්දරාවන් ගැන වීඩියෝ දර්ශන ඊයේ පෙරේදා සමාජ ජාල තුළින් ප‍්‍රචලිත වුණා. තමන්ගේ ආත්ම ගරුත්වය, අභිමානය ගැන සැලකිල්ලක් නොදක්වා දින ගණන් රටේ ගෞරවනීය පුරවැසියන් පෝලිම්වල දක්නට තිබියදී, පොලිස් ආරක්ෂාව ලබාදෙමින්, සීමා රහිතව ඉන්ධන ලබාදෙමින්, සුඛෝපභෝගී රාජ්‍ය වාහනවල වරප‍්‍රසාද ලද්දවුනට විනෝදය සපයන වාහන රේස් පදින රටක් බවට ශ‍්‍රී ලංකාව පත් වෙද්දී පීඩාවට පත්ව සිටින ජනතාවගේ කෝපය කෙබඳු වේද?

මේ අවස්ථාවේදී මහ මගට බැස විරෝධය දක්වන එම ප‍්‍රදේශයේ ස්වාමීන්වහන්සේ ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ හඬ අපට සමාජ ජාලවලින් අසන්නට ලැබුණා. විරෝධයට එක්වූ එක් ස්වාමීන්වහන්සේ නමක් මෙසේ පවසා තිබුණා.

”මම මේ ප‍්‍රදේශයේ සිටියත්, මම දකුණේ කෙනෙක්. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ දිනවන්නට මගේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මම කැපවෙලා වැඩකළා. ඒත් දැන් මේ මොනවද වෙන්නේ? පසුගිය දවස් හතකටම අපේ පළාතට ඞීසල් පෙට‍්‍රල් එවා තිබුණේ නැහැ. දැන් මේ වාහන රේස් එක නිසා දැන් එවලා තියෙනවා. අපේ මිනිස්සු කන්න බොන්න නැතිව දුක් විඳිනවා. අපි කොහොමද මේ වැඩ අනුමත කරන්නේ? ”

ජනතාවගේ දුක වේදනාවනට සංවේදී නොවෙමින් වෙනත් ලෝකයක ජීවත්වන පාලකයන් සහ ගජ මිතුරන්ගේ මේ හැසිරීම තුළ, රටපුරා ඇවිලී යන පීඩනයට පත්ව සිටින ජනතාවගේ මේ විරෝධය ශ‍්‍රී ලංකාවේ දේශපාලන අනාගතය තීන්දු කරන ප‍්‍රධාන සාධකය බවට පත්වීම නියතය. සිදුවෙන්නට යන දිනය වැඩිකල් නැත. ජනතාව හාමතින් මරු වැළඳ ගනිද්දී ”පාන් නැත්තම් කේක් කාපල්ලා” කී පාලකයන් මෙන්ම ජනතා දුක් වේදනාවන්ට සංවේදී නොවී වීනා වාදනය කළ අධිපතිවාදී පාලකයන් ගැනද ඉතිහාසයේ එන පාඩම් මගේ සිහියට නැගේ.

මේ සියල්ල මධ්‍යයේ ජනපති කළ කතාව ඇත්තෙන්ම ලඳ බොලඳ කථාවක්මය. ” මේ සියලූ දුක් කම්කටොළු අපේ පාලනයෙන් බැහැර දේ නිසයි.” ශ‍්‍රී ලංකාව හැර අපේ කලාපයේ සියලූ රටවල් මේ කාලය තුළ තම විදේශ සංචිත වැඩිකරගෙන ඇත. ආයෝජන වැඩිකරගෙන ඇත. අපේ පාලකයන්ගේ වැරදි තීරණ තීන්දු සහ නිවැරදි නොවන ප‍්‍රතිපත්ති හේතුවෙන් නිර්මාණය වූ ඒවාය. අධික පොලියට වාණිජ බැංකුවලින් ණය ගැනීම් ආරම්භ වූයේ රාජපක්ෂ පාලනයන්ගෙනි. ඊට පෙර සියලූ පාලනයන් ණය ගැනීම් කළේ ඉතා අඩු පොලියකට, ලොව පිළිගත් මූල්‍ය සංවිධාන වලිනි. කිසිදු ඵලදායීතාවක් නොමැති සුදු අලි වැනි නෙලූම් කුලූන, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව, සූරියවැව ක‍්‍රීඩාංගණය, මත්තල ගුවන්තොටුපළ වැනි නම පවතින්නට ආරම්භ කළ ව්‍යාපෘතීන් නිසා රටකට සිදුව ඇති වින්නැහිය අද කවුරුත් දනී. මේ හැරෙන්නට රාජපක්ෂ පාලනය තුළ සිදුවූ කුප‍්‍රකට ග‍්‍රීක බැඳුම්කර වලට යෑම, හෙජින් ගිවිසුම වැනි තීන්දු තීරණ හේතුවෙන් රටට ලබාදුන් අලාභය අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වෙනවා.

කෘෂි අර්බුදය හේතුවෙන් අපේ වී නිෂ්පාදනය, තේ නිෂ්පාදනය ඇතුළු කෘෂි ක්ෂේත‍්‍රයේ වෙනත් නිෂ්පාදන බිඳ වැටුණා. එමනිසා අපනයන ආදායම් පහළ වැටුණා. ඒවායින් ජීවත්වූ අය අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා. මුදලේ අගය පිළිබඳව නිවැරදි තීරණය ගැන්ම කල් පමාවී සිදුකිරීම හේතුවෙන් රටක් වශයෙන් අපට සිදුවූ මූල්‍ය හානිය ඉමහත්. දැන් සීමාවක් නොමැතිව මුදල් අච්චු ගැසීම් නිසා විශ‍්‍රාමික ජනතාවගේ විශාම වැටුපේ මෙන්ම වැඩකරන ජනතාවගේ අර්ථසාධකයන් ඇතුළු ආදායම්වල අගය පහත බැසීම තුළ සාමාන්‍ය ජනතාව තවදුරටත් අන්ත දුගී තත්ත්වයකට ඇද දැමීම සිදුව තිබෙනවා. මේ තීන්දු තීරණ හේතුවෙන් දුප්පත්කම වැඩිවීම සමගින් ඒ හා බැඳි ප‍්‍රශ්න රාශියක් සාමාන්‍ය ජනතාවට උරුමකර දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම හෝ කල් ඇතිව ඒ වෙනුවට ආර්ථික ක්ෂේත‍්‍රයේ විශාරදයන්ගේ අදහස් ලබාගෙන විකල්ප ක‍්‍රියාමාර්ගවලට යෑම ගැන බුද්ධිමත් තීරණ නොගැනීම තුළ ජනතාවගේ ජීවිත පමණක් නොව රටේ අනාගතයද ප‍්‍රපාතයට හෙළීම ගැන සෘජුවම පාලකයන් වගකිවයුතු වෙනවා.

වැරදි ප‍්‍රතිපත්ති, නිවැරදි නොවන තීන්දු තීරණ පමණක් නොව වංචා ආදියෙන් රටේ ප‍්‍රතිරූපයට සිදුවූ හානිය හේතුවෙන් රටක් ලෙසින් අප අහිමිකරගත් ආයෝජනයන් ගැන පැතිර ඇති කථාබහ පිළිකුල් සහගත වෙනවා.

මේ පසුබිම තුළ අද රට තුළ ප‍්‍රධාන වශයෙන් දැකගත හැක්කේ කඳවුරු දෙකකි. රට අගාධයේ හෙලූ, ජනතාවට සංවේදී නොවන, තමන් හා තමන්ගේ ගජ මිතුරන්ගේ පැවැත්ම ගැන පමණක් සිතන අධිපතිවාදී පාලකයන්ට ආවඩන වහල් කඳවුර සහ ඊට එරෙහිව නැගී සිටින සංවේදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වන කඳවුරයි.

කුමන මතවාදී වෙනස්කම් තිබුණද මේ දුර්දාන්ත පාලනයේ නිමාවක් දැකීම සඳහා, කට්ටිවාදයනට, කල්ලිවාදයනට නොගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවට සංවේදී වන පාලනයක් උදෙසා වන කඳවුර ශක්තිමත් කරගැන්මට අවබෝධයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

ඉම්තියාස් බාකීර් මාකාර්.

advertistmentadvertistment
advertistmentadvertistment