මරදාන ශාන්ත ජෝශප් විදුහල වසර 125 සමරයි!

303

වර්ෂ 1892 දී එවකට කොළඹ අගරදගුරු පදවිය භාර අගරදගුරුතුමන් වන ක්‍රිස්ටෝපර් බොංජින් මාහිමිපාණන්ගේ මාහැඟි යෝජනාවකට අනුව කතෝලික පාසලක අවශ්‍යතාවය මතුවිය. වර්ෂ 1894 දෙසැම්බර් මස 15 වැනි දින මුල්ගල තබා විiාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. වර්ෂ 1896 මාර්තු මස 02 වැනි දින කතෝලික පාසල් ආරම්භයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සාන්ත ජෝශප් විදුහල සිසු අයිතියට පත් කරමින් විවෘත කෙරිණි. පාසල විවෘත කිරීමේ මහෝත්සවයට දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක, ලංකාවේ බි්‍රතාන්‍ය කොමසාරිස්තුමා, පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයන්, ගාල්ල සහ නුවර රදගුරුතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිවරාගත් අතර විදුහලේ ක්‍රීඩාපිටිය පිරී ඉතිරීගියේ 553 කින් සමන්විත වූ අශ්ව කරත්ත හා රික්ෂෝ රථවලින්ය. උතුරු ලැන්ෂැයර් ප්‍රාන්ත රෙජිමේන්තුවේ තූර්ය වාදනය ද උත්සවයේ චමත්කාරත්වය ඉස්මතු කළේය.

1894 අප්‍රියෙල් 13 වැනි දින ‘ලේක් හවුස් ඉඩම’ ලෙස නම්ලත් පාසල් ඉඩම පර්චසය රුපියල් 60,000 කට මිලදී ගනු ලැබුවේ කොළඹ අගරදගුරු ලෙස කටයුතු කළ ආචාර්ය ටී. ඒ. මෙලිසන් මාහිමිපාණන් විසින්ය. කොළඹ නගර මධ්‍යයේ අභිමානවත් ලෙස නැඟී සිටින පතාක යෝධයකු බඳු වූ ශාන්ත ජෝශප් විදුහල

ගෘහ නිර්මාණ කලාවේ සුවිශේෂී නිර්මාණයකි. පාසලේ පළමු ඉදිකිරීම වූයේ ඔරලෝසු කණුව ගොඩනැඟිල්ල වන අතර අනෙකුත් ගොඩනැඟිලි අදියුරු පියවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිකෙරිණි.

සිසුන් 307 දෙනකුගෙන් ආරම්භ වූ පාසල අද වත්මන් සිසු පරපුර 4000කට දෑස් විවර කරමින් ඉගෙනුම් තක්සලාවක් බවට පත්ව ඇත. ප්‍රංශ ජාතික චාල්ස් කොලින් පියතුමා විදුහලේ පළමු අදියුරු පියතුමාය. අයර්ලන්තයේ උපන් චාල්ස් හෙන්රි ලීමන් පියතුමා උප අදියුරු පියතුමා වන අතර එමිල් නිකොලා පියතුමා ගුරු මණ්ඩලයේ ප්‍රධානි මෙන්ම කාර්යාලයීය කටයුතු භාරව කටයුතු කළේය. ජෝන් ලැනිගන් පියතුමා විනය භාර පියතුමා ලෙසද, චාල්ස් පුල්හම් පියතුමා කුඩා කටයුතු භාරව ද, හෙන්රි බෝයර් පියතුමා භාණ්ඩාගාරික පියතුමා ලෙස ද කටයුතු කළහ. මෙම පියවරු නිමල මරිය නිකාය නියෝජනය කළහ. එමෙන්ම අධ්‍යාපනවේදීන් හා උගත් යුරෝපා ජාතිකයන්ගෙන් සමන්විත ගුරු මණ්ඩලයකින් සමන්විත විය.

පසුව පිළිවෙළින් පත්වූ අදියුරු පියවරුන් විසින් විදුහලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී. මෙම ජුබිලි සැමරුම් අවස්ථාවේ ඔවුන් සැම ආවර්ජනය කිරීම කෘතගුණ සැලකීමක් හෙයින් සටහන් කිරීමට කැමැත්තෙමි. චාල්ස් ලෙයිටන් පියතුමා, එමල් නිකලස් පියතුමා, මේරියස් ජේම්ස් ලෙගොග් පියතුමා, පීටර් පියතුමා, දොන් පීටර් පියතුමා, මර්වින් වීරක්කොඩි පියතුමා, ක්වීන්ටස් ප්‍රනාන්දු පියතුමා, නෙවිල් එම්මානුවෙල් පියතුමා, දොන් ස්ටැන්ලි අබේසේකර පියතුමා, වික්ටර් සිල්වා පියතුමා, සිල්වෙස්ටර් රණසිංහ පියතුමා, ටේ‍රවිස් ගේබි්‍රයෙල් පියතුමා සහ වත්මන් අදියුරු පියතුමා වන රංජිත් අන්ද්‍රාදි පියතුමාය.

වර්ෂ 1929 මාර්තු 19 වැනිදා විදුහලේ දෙව්මැඳුරට මුල්ගල තැබූ අතර, එහි මූලිකත්වය මොරිස් ජේම්ස් ලෙගොග් පියතුමා දැරීය. වසරක් වැනි කාලයක් තුළ දෙව්මැඳුරේ සියලු ඉදිකිරීම් නිම කිරීම ආශ්චර්යයක් සේ සලකනු ලැබේ. වර්ෂ 1952 ජූලි 30 වැනි දින පිහිනුම් තටාංකාංගණය විවෘත කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ එවකට ආණ්ඩුකාරවරයාව සිටි සෝල්බරි සාමිවරයා විසින්ය.

ශ්‍රී ලංකාවේ පාසලක ඉදිකළ පළමු පිහිනුම් තටාකාංගණය වන මෙය ඔලිම්පික් සාධන මට්ටමේ ඉදිකරන ලදී.

සිංහල භාෂාව පිළිබඳ පඬිවරයකු මෙන්ම විශාරදයකු වන දොන් පීටර් පියතුමා විදුහලේ සිංහල භාෂිත දරුවන්ගේ උන්නතිය උදෙසා මහඟු සේවයක් ඉටු කළේය. මුදල් අය නොකර, පුද්ගලික පාසලක් ලෙස පවත්වාගෙන යන ලෙස රජය විසින් දැන්වූ නිසා පාසලේ සුභ සාධක සංගමය පිහිටුවා මුදල් උපයාගෙන පාසල නඩත්තු කරගෙන යෑමට එතුමා ගත් නිර්භීත පියවර අගය කොට සලකමි.

අවසන්කොට මේ සියලුම කටයුතු තුළදී වත්මන් අදියුරු රංජිත් අන්ද්‍රාදි පියතුමා ප්‍රමුඛ පියවරුන්, ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසු දරුවන් එක්ව පවුලක් සේ සිට කටයුතු කිරීම සතුටට කරුණකි. නීල ධවල ධජය පෙරටු කරගෙන සාන්ත ජුසේ මුනිතුමාගේ පිහිට ආශිර්වාදය තුළ ශාන්ත ජෝශප් විදුහල දිවයිනේ දිදුළන විදුපියසක් ලෙස අප ලක් දෙරණේ වැජඹේවායි ප්‍රාර්ථනා කරමි.

සුදත් රොහාන් පෙරේරා
(ප්‍රධාන පුස්තකාලයාධිපති)

මරදාන ශාන්ත ජෝශප් විදුහල වසර 125 සමරයි!

advertistmentadvertistment
advertistmentadvertistment