මරා ගැනීම් නවතා මැර කල්ලි එකමුතු කළ පාතාල නායිකාව මාරියා ලිච්යාර්ඩ්

486

මේ කණිසමේදී රෝමයේ ciampino ගුවන්තොටුපොළේ සිටි 70 හැවිරිදි කාන්තාවක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඇය මලගා නගරය වෙත පියාසර කරන්නට සූදානම්ව සිටින අතරතුරදීය. ආරක්ෂක නිලධාරීන්ට පැවසූ පරිදි ඇයට ඒ ගමන යෑමට අවශ්‍යව තිබුණේ සිය දියණිය දැක බලා ගනු පිණිසය. නමුත් මෙම අනපේක්ෂිත අත්අඩංගුවට පත්වීම හේතුකොටගෙන ඇයගේ ගමන් මග උසාවිය දෙසටත් එතැනින් හිර ගෙදර දෙසටත් යොමු කෙරිණි. වචනයකින් හෝ විරෝධය දැක්වීමකින් තොරව ආරක්ෂක නිලධාරීන්ගේ අණට කීකරු වූ ඇය පොලිස් වාහනයට ගොඩවූයේ සුපුරුදු සන්සුන් ස්වභාවයෙන් යුතුවය.

ඇය නමින් ය.

කෙරුවාවෙන් සහ පරම්පරාවෙන් ඉතිහාසයට එකතු වූ චරිතයකි. මෙම ඉතිහාස කතාවට හේතුව ඇය ලෝකයේ පැරණිතම පාතාල සංවිධානයෙන් පැවත එන්නියක වීමය. එමතුද නොවේ, අනූව දශකයේ ආරම්භයේ සිට 2001 දක්වා එහි ආධිපත්‍යය දරනු ලැබුවේද ඇය විසින් වන බැවිනි.

මෙම ඓතිහාසික පාතාල සංවිධානය දහසය වැනි සිය වසෙහි සිට පැවත එන්නක් වන අතර එය හඳුන්වනු ලබන්නේ cammorra නමිනි. එය ලිචියාර්ඩි වංශයේ ආධිපත්‍යය යටතේ බිහි වූවකි.

ලිචාර්ඩි පරම්පරාවේ ඉහළම වංශාධිපතියකු හට දාව මාරියා ලිචාර්ඩි උපත ලැබුවේ 1951 මාර්තු 24 වෙනිදාය. ඒ neopolitan නගරයේය. එය ලිචියාර්ඩි වංශයේ සාම්ප්‍රදායික බල කොටුවක් වූ secondigliano වලට අයත් වූවකි. ඇයගේ මුළු පවුලම කැමෝරා වංශයේ සාමාජිකයන් වූහ. කැමෝරාවේ ප්‍රාදේශීය බලවතා වූයේ ඇගේ පියාය. ඒ තනතුර හඳුන්වනු ලැබුවේ, ගුවාපෝ, නමිනි. ඇයගේ සහෝදරයෙකු වූ ඩෙනරෝ ලිචියාඩිද සංවිධානයේ ඉහළම ගුවාපෝ වරයෙකු වූයේය. ඔහු හඳුන්වනු ලැබුවේ a scigna නොහොත් ‘වඳුරා’ නමිනි. මේ අනුව මාරියාද secondigliano හි කැමෝරා සංවිධානයේ සාමාජිකාවක් වීම අරුමයක් නොවේ. alleanza di secondigliano නමින් ප්‍රචලිත මෙය නේපල්සිහි සහ බොහෝ තදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අලෙවිය සහ කප්පම් ජාවාරම පවත්වාගෙන ගිය සංවිධානයක් වූයේය.

සාමාන්‍යයෙන් මෙවැනි මාෆියා ගණයේ සංවිධානයන්හි ලොක්කන්ගේ භාර්යාවන් නිවසේදී හෙරොයින් පැකට් කිරීම, ඉවුම් පිහුම් කටයුතුවල යෙදීම මෙන්ම දරුවන් ඇති දැඩි කිරීම ආදී සාම්ප්‍රදායික කටයුතුවල යෙදෙන අතරේ සිය සැමියන්ගේ සතුරන්ට තර්ජනය කිරීම් ආදී කාරණාවලටද අවතීර්ණ වෙයි. මාරියාද මුලදී එසේ හැසිරුණ තැනැත්තියකි.

පසු කලෙක කෙතරම් ඉහළට නැගුණත් සිරුරින් කුඩා තැනැත්තියක වූ බැවින් මෙකල ඇයව හඳුන්වනු ලැබුවේ කුඩා ගැහැනු ළමයා යන අරුතින් යුතු ලා පිකොලිනා (la piccolina) යනුවෙනි.

1990 දී ඇගේ සැමියා සහ සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට පත් වූහ. ඉන් පසු secondigliano හි කැමෝරාවේ බලය ඇය සියතට ගත්තාය.

ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යෑම කැමෝරාවේ ආචාර ධර්මවලට පටහැනි දෙයක් ලෙස පැවත ගෙන ආ නමුත් මාරියා තම ආධිපත්‍යය යටතේ ඒ කටයුත්තද ආරම්භ කරනු ලැබුවාය. ඒ සඳහා ඇල්බේනියානු මාෆියා සංවිධානයකින් එක් තැනැත්තියකට ඩොලර් 2000 බැතින් ගෙවා තරුණියන් ගෙන්වා ගනු ලැබුවාය.

සමහර අවස්ථාවල ඇය අනුකම්පා විරහිතව කටයුතු කළ අවස්ථා තිබුණද, තම අසල්වැසි දුප්පතුන්ට උදව් පදව් කරමින් ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලැබුවාය.

මරා ගැනීම් නවතා මැර කල්ලි එකමුතු කළ පාතාල නායිකාව මාරියා ලිච්යාර්ඩ්
මාරියා ලිචියාර්ඩි

ඒ නිසා මේ කාලය වන විට කැමෝරාවේ සාමාජිකත්වය මෙන්ම දන්නා හඳුනන කවුරුත් පාහේ ඇයව හඳුන්වනු ලැබුවේ ‘කුමරිය’ වශයෙනි.

මේ වන විට පාතාල ලෝකයේ කිසිම පිරිමියෙකුට නොදෙවෙනි අයුරින් තම සංවිධානය පාලනය කළ මාරියා හැකි සෑම විටකම තමාට එරෙහිව සාක්ෂියක් ඉතිරි නොවන ආකාරයට කටයුතු කිරීමට ප්‍රවේශම් වූවාය. මේ නිසා බොළඳ ආකාරයට පින්තූරවලට පෙනී සිටීම ආදී කරුණු වලින් ඇය හැකි සෑම විටකම වැළකුණාය. පොලිස් මූලාශ්‍ර ඇයව හැඳින්වූයේ ආකර්ෂණිය, ප්‍රායෝගික, සුවිශේෂ, බුද්ධිමත්, පිරිමින්ට කිසිසේත්ම නොදෙවෙනි චරිතයක් ලෙසය. එක්තරා මාධ්‍යවේදියෙකු හෝ සමාජ විද්‍යාඥවරික ඇය ගැන කරනු ලැබූ හැඳින්වීමකදී පැවසුවේ මාරියා ලිචාර්ඩි වැඩ කරනු ලැබුවේ බහු ජාතික සමාගමක කළමනාකාරිණියක ලෙසින් බවය.

ඇයගේ ප්‍රධාන අරමුණ වූයේ තමා යටතේ වූ සංවිධානය නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමය. එහිදී සංවිධානයේ ආරක්ෂාව සඳහා නවීන සංනිවේදන ජාලයක් ස්ථාපිත කළ ඇය, සෙසු සියලු අංගෝපාංගද නවීකරණයට ලක් කළාය. ඒ හැරුණ කල ඇය අතින් සිදුවූ වැදගත්ම කටයුත්ත වූයේ, ඒ වන විට එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත්ව තිබූ පාතාල කල්ලි එකමුතු කොට සමගි සංධානයක් ඇති කරවීමය.

එකිනෙකා සටන් කිරීම මෙවැනි ව්‍යාපාරවලට අහයපත් බවත්, එකමුතුව විසින් සැම දෙනාටම වැඩි මුදලක් උපයා දෙන බවත්, ලේ වැගිරීම් වළක්වන බවත් සෙසු කණ්ඩායම් නායකයන්ට ඒත්තු ගැන්වීමට ඇය සමත් වූවාය.

ඇයගේ දර්ශනය හේතුකොටගෙන මාස හත අටක කාලයත් තිස්සේ ප්‍රදේශයේ මැර කල්ලි අතර කා කොටා ගැනීම් නතර විය.

මේ හේතුකොටගෙන ඇය නේපල්සිහි කැමෝරා අපරාධ කල්ලි 20 ක නායකයන්ගේ විශ්වාසය දිනා ගැනීමටත්, ඒ සියල්ලේම ප්‍රධානියා බවට පත් වීමටත් සමත් වූවාය. ඉක්බිති 1993 සිට 2001 දක්වා කැමෝරාහි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ මාරියා ලිචියාර්ඩිය. මේ නිසා කැමෝරාව තුළ ඇයව හඳුන්වනු ලැබුවේ ‘ලියෝඩරිලා මැඩ්‍රිනා’ (the god mother) යනුවෙනි.

සෙසු අපරාධ කල්ලි සමග කොතෙක් සාමයෙන් කටයුතු කිරීමට කැමැත්තක් තිබුණද, ඉස්තාන්බුල්වල සිට නැව් ගත කරන ලද හෙරොයින් තොගයක් සම්බන්ධයෙන් වෙනත් කල්ලියක් විසින් ඇයට එරෙහිව යුද ප්‍රකාශ කරනු ලැබිණි. මෙම පාතාල යුද්ධය එක දිගට දින අටක් තිස්සේ පැවැති අතර ප්‍රතිවාදීහු ලිචියාර්ඩිගේ සහචරයින් කීප දෙනෙක් සමග ඇගේ ඥාති පුත්‍රයෙකුද ඝාතනය කළහ. ඊට පිළිතුරු වශයෙන් සටනට බට මාරියා ලිචියාඩි පළමු වටයේ හති අරින්නට නතර වූයේ එක දිගට 14 දෙනකු පරලොව යැවීමෙන් අනතුරුවය. ඉක්බිති සංග්‍රාමය කොතෙක් බිහිසුණු වීද යත් එය අවසාන වන විට දෙපක්ෂයෙන්ම 120 දෙනකු මෙලොව හැර ගොස් තිබිණි.

මෙම සිදුවීම් මාලාවත් සමග ඇය ජීවත් වූ නෙපොලිටන් පළාතේ පොලිසිය, 2000 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද සමග ඇය සොයා පැමිණියේය. ඒ වන විට ඇය සිටියේ තවත් පාතාල නායකයන් 13 දෙනකු සමග ගොවිපොළක වූ රහසිගත ගබඩාවක රැස්වීමකට සහභාගි වෙමිනි. එම 13 දෙනාම පොලිස් අත් අඩංගුවට පත්වූ නමුත් සූක්ෂම ලෙස පොලිසියෙන් බේරී පලා යන්නට ඇය සමත් වූවාය.

පොලිසිය ඉන් අනතුරුව තවත් වරක් වැටලීමක නිරත වූයේ හෙලිකොප්ටර් යානාද, සන්නද්ධ රථ සහ සිය ගණනක පොලිස් බළ ඇණියක්ද සහිතවය.

මෙම පිරිස විසින් secondigliano ප්‍රදේශය සහ ඒ අවට දැඩි සෝදිසියකට ලක් කරන ලද අතර, ලැබුණ ඔත්තුවකින් කියවුණේ ඇය ගරා වැටුණු පැරණි ගොඩනැගිල්ලක සිටින බවය. එය පරීක්ෂා කරන ලදුව නිරීක්ෂණ කැමරා සහිත කුටියක් දක්නට ලැබුණ නමුදු ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලබා ගත නොහැකි විය.

මේ ආකාරයට පොලිසියෙන් ගැලවී සිටීමට ඇය දැක්වූ සමර්ථභාවය නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ඇයව හඳුන්වනු ලැබුවේ ‘ඉතාලියේ ස්කාලෙර්ට් පිම්යනෙල්’ වශයෙනි.

එහෙත් 2001 ජූනි 14 වෙනිදා මෙම හොරා පොලිස් සෙල්ලම අහවර කරමින් ඇයට පොලිස් අත්අඩංගුවට පත් වන්නට සිදු වූවාය. ඒ ඇය මනාලියක් කැන්දාගෙන යමින් සිටි රථයක ඔවුන්ගේ ඥාතිවරියක මෙන් ගමන් කරමින් සිටියදීය.

කිසිදු කළබලයකින් තොරව අත්අඩංගුවට පත්වූ ඇයට වසර අටක සිර දඬුවමක් නියම වූ අතර, කැමෝරාවේ ප්‍රධානියා වශයෙන් ඇගේ සහෝදරයා වූ vincenzo licciardi පත් විය. නමුත් ඔහුද ඉතාලි පොලිසිටයට ඉතාම අත්‍යවශ්‍ය වූ පලා ගියවුන්ගේ ලැයිස්තුවට අයත් වූවකු බැවින් 2008 පෙබරවාරි මාසයේ 7 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර වසර අටක සිර දඬුවමකින් අනතුරුව මාරියා ලිචාර්ඩි නිදහස ලැබුවාය.

මේ සමගම වාගේ එනම් 2019 ජූලි 26 වෙනිදා secondigliano සන්ධානයට එරෙහිව දැවැන්ත කැමෝරා විරෝධී මෙහෙයුමක් දියත් වූ අතර ඇය ඉන් පලා ගොස් බේරීමට සමත් වූවාය.

නමුත් අප මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ පරිදි 2001 වසරේදී රෝමයේ ciampino ගුවන්තොටුපළේදී ඇයව නැවත අත් අඩංගුවට ගන්නා ලදී. ඒ කැමෝරා වංශයේ ප්‍රධානියා ලෙස කප්පම් ජාවාරමක් පවත්වා ගෙන යෑම පිළිබඳවය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment