මලක් සුණු විසුණු කළ වෙඩිල්ලක්… ඇඹිලිපිටියෙන් ඇසුණු සිත සසල කරන කතාවක්

793

ධම්මික කුමාර හෙවත් අනුර ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු හතළිස් හතකි. මල් ශාලාවක් පවත්වාගෙන ගිය ඔහු ඇඹිලිපිටිය රෝහල ආසන්නයේ පස්වන පටුමගේ පිහිටි තම නිවසෙහි බිරිඳ සහ දරුවන් සමග පදිංචිව සිටියේය. ඒ දැනට වසර කිහිපයකට ඉහතදීය.

මිල මුදල් තිබුණත් ඔවුන්ගේ පවුල් ජීවිතය එතරම් සුන්දර එකක් නොවීය. විවාහ වී වසර කිහිපයකින් පසු ඔවුන් අතර පවුල් ආරවුල් ඇතිවීමට පටන් ගත්තේය. එයට ප‍්‍රධාන හේතුව වූයේ ධම්මිකගේ ඉක්මන් කේන්ති යයි.

පාසල් යන අවධියේ සිට ධම්මික කුකුල් කේන්තිකාරයෙක් විය. එම නිසා සුළු වරදකට පවා ඔහු තම බිරිඳට ඉතා අමානුෂික ලෙස පහර දුන්නේය. වසර කිහිපයක් ඇය ඒ සියල්ල ඉවසා දරාගෙන සිටියේ තම පවුල් ජීවිතය රැකගැනීම සඳහාය. එහෙත් ධම්මිකගෙන් ඇයට ගැලවීමක් නොතිබුණි. එන්න එන්නම ඔහු මෘගයකු මෙන් හැසිරුණේය. අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ඒ ධම්මිකගෙන් වෙන්වීමටයි. ඒ අනුව දෙදෙනා නීත්‍යානුකූලව වෙන් වූහ. බිරිඳගෙන් සහ දරුවන් ගෙන් වෙන්වූ ධම්මික වසර කිහිපයක් තනිකඩ ජීවිතයක් ගත කළේය.

නිමල් ඔහුගේ මල් ශාලාවේ සේවය කළ තරුණයෙකි. තම හාම්පුතාට විශ්වාසවන්ත ලෙස කටයුතු කළ නිසා ඔහු ධම්මිකගේ සිත දිනාගෙන තිබුණි. කලක් යද්දී තම පෞද්ගලික ප‍්‍රශ්න පවා ධම්මික ඔහුට පැවසුවේය.

ඉන්දු මල්කාන්ති නිමල්ගේ වැඩිමහල් සොහොයුරියයි. වයස අවුරුදු තිස් පහකි. රූමත් තරුණියක් වූ ඇය තම පළමු කසාදයෙන් වෙන් වී නිවසට වී කාලය ගත කළාය. දිනක් ධම්මිකට ඇයව දැන හඳුනා ගැනීමට ලැබුණි. ඒ නිමල්ගෙ නිවසට පැමිණි අවස්ථාවකදීය.

දුටු පළමු දිනම ධම්මිකගේ සිතේ ඇය ගැන පැහැදීමක් ඇති විය. එමනිසා දිනක් ඔහු ඉන්දුගේ සොහොයුරාට මෙලෙස පැවසුවේය.

”මට උඹට කියන්න දෙයක් තියෙනවා.”

”ඒ මොකක්ද බොස්.”

”උඹ හොඳටම දන්නවා නේ මම දැන් තනිකඩයි.”

”ඔව් ඒක මම දන්නවා.”

”මම උඹලගෙ අක්කට කැමතියි.”

”පිස්සුද බොස්.”

”ඇයි උඹ පිස්සුද අහන්නේ.”

”අපිව බොස්ලාගේ පවුලට

ගැළපෙන්නෙ නැහැ.”

”ඇයි උඹ එහෙම කියන්නේ.”

”ඒක මම කියන්න ඕනේ නැහැ ඕන කෙනෙක් දන්නවනේ. ඊට වඩා අපේ අක්කා ඩිවෝස් වෙලා ඉන්නේ.”

”හරි බං මමත් ඩිවෝස් වෙලා නේ ඉන්නේ. ඒවා මට ප‍්‍රශ්නයක් නැහැ. මොකද උඹ කියන්නේ.”

”අනේ මන්දා බොස්ට මම කොහොමත් කැමතියි. අක්කා මොනවා කියයිද දන්නේ නෑ.”

”අක්කට උඹ තේරුම් කරලා දීපන්. උඹ දන්නවනේ මගේ වැරැදි නැහැ. සල්ලි හම්බ කරල එපාවෙලා තියෙන්නේ. මමත් ආසයි ගෑනියෙක් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න.”

”බොස්ගේ කැමැත්තක්. මම ගෙදරට කියලා බලන්නම්.”

එදින නිවසට පැමිණි ඔහු ධම්මික පැවසූ දේ තම සහෝදරියට සහ දෙමව්පියන්ට පැවසුවේය. එය ඇසූ ඔවුන් පුදුමයෙන් පුදුමයට පත්විය. ඉන්දු සිතුවේ සොහොයුරා තමන්ට විහිළුවක් කරන බවයි. පසුව එය සත්‍යයක් බව දැන ගත් පසු ධම්මික කෙරෙහි අකැමැත්තක් ඇයගේ සිතේ නොතිබුණාය.

මාස කීපයකට පසු වැඩිහිටියන්ගෙ ආශිර්වාද මැද ධම්මික සහ ඉන්දු විවාහ වූහ. දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 12කි. එහෙත් එය පවුලේ අයටත් ඔවුන් දෙදෙනාටත් ගැටලූවක් නොවුණි. ඉන්දුගේ දෙමව්පියන් පැවසුවේ ධම්මික වැනි කෝටිපතියෙක් ලැබුණේ කෙල්ලගේ වාසනාවට බවයි. විවාහ වූ අලූත ඉන්දු සිතුවේ ද පළමුවර වැරදුන තමන්ට දෙවනවර නොවැරදුණු බවයි.

මලක් සුණු විසුණු කළ වෙඩිල්ලක්… ඇඹිලිපිටියෙන් ඇසුණු සිත සසල කරන කතාවක්

විවාහයෙන් පසු ඔවුන්ගේ කැදැල්ල ආලෝකවත් කිරීමට දරුවන් දෙදෙනෙකු ද පැමිණියහ. ඒ සමඟම ධම්මික ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. ඔහු පෙර බිරිඳ සමග මෙන්ම ඉන්දු සමග ද ගැටුම් ඇති කර ගත්තේය. එලෙස කලක් ගත වෙද්දී ඔහු පෙර පරිදි දරුණු වන්නට පටන් ගත්තේය. දිනපතාම පාහේ ඉන්දු සමග රණ්ඩු සරුවල් වන ඔහු ඇයට අතින් පයින් ද පහර දුන්නේය. කෙලෙස හෝ ඇය ඒ සියල්ල විඳ දරා ගත්තේ තම දරු දෙදෙනා ගැන සහ සමාජය ගැන සිතාය. එහෙත් එන්න එන්න ඇයට එම වධහිංසා ඉවසා දරා ගැනීමට නොහැකි වූවාය. එම නිසා ඒ සියල්ල තම දෙමව්පියන්ට පැවසුවාය. අවසානයේ දෙමාපියන් පවා ඇයට පැවසුවේ ධම්මික සමඟ ජීවත් වීමට නොහැකි නම් යළි නිවස වෙත පැමිණෙන ලෙසයි.

ඉන්පසු රණ්ඩු සරුවල් වූ අවස්ථා කිහිපයකදීම ඇය දරු දෙදෙනා සමඟ මව්පියන් ළඟට ගියාය. එලෙස ගිය පසු දින කිහිපයක්ම ඇය දරුවන් සමග එම නිවසේ රැඳී සිටියාය. එලෙස රැඳී සිටින ඇය ධම්මිකගේ කීම මත යළි පැමිණෙයි.

දිනය පසුගිය 26 වැනිදාය. එදින උදෑසන ධම්මික තම බිරිඳට නොසෑහෙන ලෙස බැණ වැදුණේය. එතැනින් නොනැවතුණු ඔහු ඇයව මරණ බවට තර්ජනය කරමින් විටින් විට පහර දුන්නේය. එලෙස පහර දෙන සමහර අවස්ථාවල අවුරුද්දක් වයසැති දරුවා ද ඇය වඩා ගෙන සිටියාය. එහෙත් එම දරුවා ගැනවත් නොසිතා ඔහු ඇයට පහර දුන්නේය.

එදින ඔහු හැසිරුණේ බියකරු මෘගයෙකු මෙන්ය. එම නිසා ඉන්දු සිටියේ ද ජීවිතය ගැන අනියත බියකිනි. ”අද මෙහෙ සිටියහොත් මැරුම් කන්න තමයි වෙන්නෙ. ඒක නිසා කොහොමහරි දරු දෙදෙනා සමග අම්මලගෙ ගෙදර යන්න ඕනා.” අවසානයේ ඇය එලෙස සිතුවාය. ඒ අනුව තම ස්වාමිපුරුෂයා එළියට යනවාත් සමගම ඇය දරු දෙදෙනා සමඟ ඇඹිලිපිටිය, දර්ශනගම පිහිටි තම මවගේ නිවස වෙත පැමිණියාය. එලෙස පැමිණි ඇය තම දෙමාපියන්ට ”අම්මේ අද අර මිනිහ මට හොඳටම ගැහුවා. තව පොඞ්ඩෙන් මාව මරලා දානවා. ඒකයි දරු දෙන්නා සමග මෙහෙ ආවේ පණ බේරගන්න.” යැයි පැවසුවාය.

එදින හවස ධම්මික යළි නිවසට පැමිණියේය. ඒ එන මොහොත වන විට බිරිඳ ගෙදර නොසිටීම නිසා ඔහු තවත් කෝපයට පත් විය. එලෙස කෝපයට පත්වූ ඔහු දුරකථන ඇමතුමක් ලබාගෙන තම බිරිඳට මෙලෙස පැවසුවේය.

”උඹ දැන් පොඞ්ඩ බැරි උන ගමන් දරු දෙදෙනාත් අරන් ගෙදර දුවනවා. උඹ දැන්මම ගෙදර එන්න ඕනා. එහෙම නාවොත් මං වෙඩි තියලා මරලා දානවා. උඹ දන්නවනේ මගේ හැටි. විනාඩි පහක් දෙන්නම් ඉක්මනට වරෙන්.”

එම දුරකථන ඇමතුමෙන් පසු ඇය තවත් බියට පත් වූවාය. ඇය දහස් වරක් කල්පනා කළේ යළි නිවසට යනවාද? නැද්ද? පිළිබඳවයි.

”කමක් නෑ ඕන දෙයක් වුණ දේන මම ආපහු යනවා.”

අවසානයේ එලෙස සිතූ ඇය තම සහෝදරයාගේ ත‍්‍රීරෝද රථයෙන් දරු දෙදෙනා ද සමඟ නිවස බලා යාමට පිටත් වූවාය. ඒ ගමනට සහෝදරයාගේ බිරිඳ ද සහභාගී විය. එලෙස යන අතරමගදී ඇය තම සොහොයුරාට මෙලෙස පැවසුවාය. ”මල්ලි මේ මනුස්සයා මාව අද මරා දාවිද දන්නෙ නෑහැ. ඒ තරම් කේන්තියකින් ඉන්නේ. මම කරපු වරදකුත් නැහැ.”

ඇය දරු දෙදෙනා සමග යළි තම ස්වාමිපුරුෂයාගේ නිවසට පැමිණියාය. එලෙස පැමිණි අවස්ථාවේදී සොහොයුරා ඉදිරිපිටම ධම්මික ඇයට තර්ජනාත්මක ස්වරූපයෙන් බැණ වැදුණේය. කිසිවක් කර කියා ගත නොහැකි වූ සොහොයුරා සහ ඔහුගේ බිරිඳ එම නිවසින් පිටත්වීමට සූදානම් වූවාය. ඒ සමඟම ඉන්දු තම සොහොයුරාට ”අනේ මල්ලි මාවත් එක්ක යන්න. නැත්නම් මේ මිනිහා මාව මරලා දායි” කියා පැවසුවාය. ඇය එලෙස පවසනවාත් සමගම සොහොයුරා සහ ඔහුගේ බිරිඳ ත‍්‍රිරෝද රථයේ නැගී එම නිවසින් පිටත්වීමට සූදානම් වූහ. ඒ සමගම ධම්මික යළි ඇයට මෙලෙස බැණවදිමින් තර්ජනය කළේය.

”උඹ මල්ලිට කියල මොනව කරන්නද. අද මම කොහොමත් උඹව මරනවා. ඒකට තමයි උඹට එන්න කිව්වේ.” එලෙස පැවසූ ඔහු නිවස ඇතුළට දිව ගියේය.

ඔහු එලෙස නිවස තුළට දිව ගියේ හොඳකට නොවන බව ඇය තේරුම් ගත්තාය. එම නිසා ඇය අවුරුද්දක් වයසැති තම දරුවා ද රැගෙන නිවස ඉදිරිපිට මාර්ගය දෙසට දිව ගියාය. ඒ තම සහෝදරයාගේ ති‍්‍රරෝද රථය නතර කර ගැනීම සඳහාය.

ඇයට එලෙස දිව යාමට හැකි වූයේ මද දුරක් පමණි. ගල්කටස් තුවක්කුවක් අතැතිව පැමිණි ධම්මික ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ”අද උඹව මම ඉතුරු කරන්නේ නැහැ” යැයි පවසමින් ඇයගේ හිසට වෙඩි පහරක් තැබුවේය. ඒ සමගම අතේ සිටි දරුවා සමඟ ඇයව මාර්ගයේ ඇදවැටුණි. වෙඩි වැදී ඇය මාර්ගයේ ඇද වැටුණු පසු දරුවා අතට ගත් ඔහු යළි තම නිවස වෙත පැමිණියේය. ශබ්දයක් ඇසුණු ඉන්දුගේ සොහොයුරා වහාම ත‍්‍රිරෝද රථය නවතා ධම්මිකගේ නිවස වෙත යෑමට සැරසුණේය. එලෙස ඔහු මීටර් දෙසීයක් පමණ පැමිණෙන විට තම සොහොයුරිය ලේ විලක් මැද ඇද වැටී සිටිනු ඔහු දුටුවේය. වහාම ඇයව ති‍්‍රරෝද රථයට දමා ගත් ඔහු රෝහල වෙත රැගෙන ගියේය. එලෙස රැගෙන යන විටත් ඇය අවසන් හුස්ම පොද ද වාතලයට එක් කර තිබුණාය.

තම බිරිඳට වෙඩි තබා නිවසට පැමිණි ධම්මික ලේ ගෑවුණු කමිසය සහ වෙඩි තැබූ පිස්තෝලය නිවස පිටුපස සඟවා තැබුවේය. එතනින් නොනැවතුණු ඔහු නිවසේ තිබූ සීසීටීවී කැමරා උපකරණ ද විනාශ කර දැමුවේය. ඉන්පසු ඔහු දරු දෙදෙනා සමඟ කිසිවක් සිදු නොවූ අයුරින් නිවසේ රැඳී සිටියේය.

වෙඩි ශබ්දය ඇසුණු අසල්වැසියන් ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබුණි. ඒ අනුව පැමිණි ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීහු ධම්මිකගේ නිවස වෙත පැමිණ ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පවා කිසි දෙයක් සිදු නොවූ අයුරින් ඔහු හැසිරුණේය. පසුව පොලිස් නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී සිදු වූ සියල්ල අකුරක් නෑර ඔහු පැවසුවේය. ඒ සමඟම වෙඩි තැබීමට යොදාගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ ඔහු එම මොහොතේ ඇඳ සිටි කමිසය ද සඟවා තිබූ තැනින් සොයා ගැනීමට හැකිවිය.

අවසානයේ සැකකරු මිනිමැරීම, මිනීමැරීමට තැත් කිරීම සහ ඒ සඳහා සූක්ෂම ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ඔක්තෝබර් මස පස්වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ සමගම මෙම සිද්ධිය නිසා අනාරක්ෂිත වූ කුඩා ළමුන් දෙදෙනා පරිවාස වාර්තාවක් මගින් මියගිය තරුණියගේ මවට භාර දීමට ද නියෝග කළේය. අවසානයේ සියල්ලෙන්ම වන්දි ගෙවීමට සිදු වූයේ එම අසරණ දරුවන් දෙදෙනාටයි.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක පේමරත්න, පොලිස් සැරයන් පාලිත (62113), පොලිස් සැරයන් රණතුංග (19558), තිලකසිරි (355087), ජයවර්ධන (38313), ගාමිණි (13025), ගිහාන් (89389) යන නිලධාරීහු සම්බන්ධ වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment