මලයාග තමිලාර් 02 (වතු කම්කරු ප්‍රජාව සහ වේළිච්ච මිරිස් කතාව)

903

වේළිච්ච රතු පාට මිරිස් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුළු බඩුවක් නොවේ. මේ රටේ පැරණි ජනතාව මීට අවුරුදු සිය ගාණකට පෙර අමු මිරිස් සහ ගම්ම්රිස් පමණක් යොදාගෙන ආහාර පිළියෙල කළහ. කොච්චි මිරිස් යනු ඉන්දියාවේ කේරළයෙන් පැමිණි මිරිස් ප්‍රභේදයකි. ශ්‍රී ලංකාවට මුල් වතාවට වියළි මිරිස් ගෙන්වනු ලබන්නේ 1798 දී ය. එකල කොළඹ නගරය පුරා කොච්චි මිනිසුන් හෙවත් කේරළයෙන් පැමිණි ජනතාව විවිධ කම්කරු වෘත්තීන් වල නිරතව සිටියහ. වේළිච්ච මිරිස් යනු ඔවුන්ගේ ආහාර වේලට අත්‍යවශ්‍ය කුළු බඩුවකි. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව මීට අවුරුදු 223කට පෙර ශ්‍රී ලංකාවට මිරිස් හොණ්ඩර 10ක් ඉන්දියාවෙන් ගෙනා වේය. මේ මිරිස් හොණ්ඩර 10 සති දෙකකින් අවසන් වූ බැවින් ඊළඟ සැරේ එමෙන් දෙගුණයක් ගෙන්වන ලදී. අපට මේ කතාව මතක් වුණේ මේ රටේ වතු කම්කරුවන් ඉන්දියාවෙන් මෙරටට පැමිණ මේ අවුරුද්දට අවුරුදු 200ක් සම්පූර්ණ වූ බව කියමින් හැටන් ඇතුළු කඳුකර නගරවල සමරු උත්සව මාලාවක් මේ දිනවල පැවැත්වෙන හෙයිනි. මෙය මිත්‍යාවක් බවත් වතු කම්කරුවන් මෙරටට පැමිණීමේ දෙසිය වැනි සංවත්සරය වසර 2027 දී පැවැත්විය යුතු බවත් කියමින් එය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි අපි ඊයේ ඉදිරිපත් කළෙමු. එසේ නම් වතු කම්කරු සමරුවක් පවත්වමින් මේ හදිසියේ කඳුකරයේ දෙමළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් නටන්නේ ඇයි? එයට වැදගත් හේතුවක් තිබේ. ඒ හේතුව තමයි ළඟ එන පළාත් පාලන ඡන්ද ය. මේ රටේ කඳුකරයෙහි වෙසෙන දෙමළ දේශපාලනඥයන්ට ස්වකීය ඡන්ද පදනම මතක් වෙන්නේ ඡන්දයක් ළඟ එනවිට පමණි. වතු කම්කරු ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳා දීමට සෑම ඡන්දයක දීම දෙමළ දේශපාලනඥයෝ පොරොන්දු වෙති. ඡන්දය ජයග්‍රහණය කළ පසු දෙමළ දේශපාලනඥයන් කොළඹ පිහිටි නිල නිවාසවල පදිංචියට එන අතර ඔවුන්ගෙන් සමහරු ඇතැම් සිංහල දේශපාලනඥයන් හා සමානවම ඉතා නින්දිත වූද ඉතා පහත් වූද සුරා ධූර්ත සහ ස්ත්‍රී ධූර්ත ජීවිත පටන් ගනිති.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ දේශපාලන නායකත්වය වතු කම්කරුවන් අතරින් මතුවුණ නායකත්වයක් නොව, වතු අයිතිකාර දෙමළ දේශපාලනඥයන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට පැවැත එයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ හිටපු නායක සෞම්‍ය මූර්ති තොණ්ඩමන් වතු අයිතිකාර ධනවත් දෙමළ පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියා සහ සීයා මෙරට වතුකරයේ පිහිටි විශාලතම වතු යාය වූ ‘වෙවෙන්ඩන්’ වත්තේ හිමිකරුවෝ ය. තොණ්ඩමන් ගෙන් පසු ලංකා වතු කම්කරු සංගමයේ නායකත්වය යන්නේ ඔහුගේ මුණුපුරා වූ ආරුමුගම් තොණ්ඩමන්ට ය. කුමක් හෝ හේතුවක් නිසා සිය පුත්‍රයා වූ රාමසාමි තොණ්ඩමන්ට සංගමයේ නායකත්වය දීමට සෞම්‍යමූර්ති තොණ්ඩමන් කැමැති වූයේ නැත. අද ලංකා වතු කම්කරු සංගමයේ නායකයාව සිටින්නේ ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත්‍රයා වූද සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මී මුණුපුරා වූද ජීවන් තොණ්ඩමන්ය. මෙය සිංහල ජනයාගේ පවුල් දේශපාලනය හා සමානය. එබැවින් දෙමළ වතු කම්කරු ජනයා අතොරක් නැතිව හැමදාමත් අසාධාරණයට හා සූරාකෑමට ලක් වන්නේය.

මේ රටේ කම්කරු ජනතාව අවුරුදු 200 ක් තිස්සේම ප්‍රධාන ආහාරය වශයෙන් පාන් පිටි රොටි කෑ හැටි අපි ඊයේ සාකච්ඡා කළෙමු. ඒ අතර වතු අයිතිකාර සුද්දාගේ බංගලාවේ වැඩට ගිය දෙමළ තරුණියන් හිතූ පරිදි පරිහරණය කිරීමේ විජිතවාදී අයිතිවාසිකම ද සුද්දා තබා ගත්තේය. මේ අතර ලංකාවට අරක්කු සම්ප්‍රාප්ත විය. ඒ වනතුරුත් ස්වදේශීය ජනයා මත් පැනක් සේ පානය කළේ පොල් රා, තල් රා හෝ කිතුල් රා පමණි. සිංහල ධනපති පන්තිය පමණක් බ්‍රැන්ඩි සහ වයින් පානය කළහ. 1900 මුල් කාර්තුව වන තුරුත් මේ රටේ බීර තිබුණේ නැත. අරක්කු යනු අරාබි සම්භවයක් සහිත මද්‍යසාරයකි. මෙය වතු කම්කරුවන්ට පුරුදු කිරීම සඳහා ටික කලකට කඳුකරය පුරා නොමිලේ බෙදා හැරීම සිදුවිය. ඉන්පසු තැන තැන අරක්කු තැබෑරුම් විවෘත විය.

රා තැබෑරුමකින් රා බොනවිට හරිආකාරව සූර් වීමට නම් මධ්‍යම ප්‍රමාණයේ මැටි කොරහකින් එකක් පමණ පානය කළ යුතුය. එහෙත් පුංචි වීදුරුවකින් භාගයක් පමණ අරක්කු පානය කළ විට එය මාර විදිහට ඔළුවට වදී. මේ නිසා වතු කම්කරුවා උදේ පාන්දර බොන කහට කෝප්පය හෝ කෝපි කෝප්පය වෙනුවට තැබෑරුමකට run එකක් දී අරක්කු වඩියක් ගසා වැඩට ගියහ. ඊළඟට ඔවුන් දවාලටත් තැබෑරුමකට දුවන්නට වූහ. මෙය දුටු වතු සුද්දා කළේ කුමක්ද? සේවා කාලය තුළ දී අරක්කු බීම කම්කරුවන්ට තහනම් කිරීම ද නැත. ඔහු ජංගම අරක්කු කරත්තයක් වත්තට ම ගෙන ඒමට තැබෑරුම්කාරයාට ඉඩ දුන්නේය. මේ නිසා කම්කරුවන් තැබෑරුමට යන වෙලාවත් වත්ත වෙනුවෙන් ඉතිරි කරගැනීමට වතු සුද්දාට හැකි විය. වතු කම්කරු ජනතාවට ඉතා සුළු දෛනික වැටුපක් ගෙවන ලදී. එයින් භාගයක් පමණ අරක්කුවලට වැය විය. අරක්කු ආදායම වැඩි වනවිට තැබෑරුම්කාරයා සුද්දන්ට ගෙවන බද්ද ද අරක්කු රේන්දයේ ගාස්තුව ද ඉහළ ගියේය. මහ රෑ කට ගොන්නක් බීගෙන අව සිහියෙන් ලයින් කාමරයට පැමිණි වතු කම්කරුවා ජනගහනය වැඩි කිරීමේ කර්මාන්තයේ නියුක්ත විය. වතු කම්කරුවාට අරක්කු හැරුණු විට විනෝදාස්වාදය සපයා ගැනීමට තිබුණු එකම මාර්ගය වූයේ ඉහත සඳහන් වර්ගයා බෝ කිරීම ය. මෙය දුටු සුද්දා උදක්ම සතුටු වූයේ එසේ වැඩිවන දෙමළ ජනගහනය ද නව යොවුන් වියේදීම කම්කරුවන් බවට පත්වී වත්තටම සින්න වන බැවිනි.

advertistmentadvertistment
advertistmentadvertistment