මලල්ගොඩ වාර්තාව පෙබාවාරි 9 දාට පෙර මුදාහරින්න නියෝග

185

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ පෙබරවාරි 09 වැනිදාට පෙර මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉකුත් 26 වැනිදා මෙම වාර්තාව මුදාහැරීමට එකඟවිය.

විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදා හරින ලෙස වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය මුදා නොහැරි අතර වාර්තාව මුදා හැරීමට වසර හතරකට පසු තීන්දු කිරීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි යැයි සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම නියෝගය කළේය. පැමිණිලිකරුවන්ට සහ කොමිෂන් සභාවට පිටපතක් සහිතව අභියාචක වෙත මෙම සම්පූර්ණ වාර්තාව නිකුත් කරන ලෙසට නියෝග කෙරිණි. මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම නිල වශයෙන් මුදා හරින පළමු අවස්ථාව මෙය වෙයි.

එ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment