මලල කී‍්‍රඩාවෙන් අද අපි හොඳ තැනක ඉන්නවා…මලල කී‍්‍රඩා සංගමයේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු

154

ඕනෑම ආයතනයක හෝ පුද්ගලයකුගේ හෝ පාසලක හෝ දේශපාලන පක්ෂයක හෝ වේවා ශත සංවත්සරයක් යනු අනභිභවනීය කඩඉමකි. උත්කර්ෂවත් ලෙස සැමරීමට ලක් කළ යුත්තකි. ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය දැන් සිටින්නේ ඒ ශ්‍රේෂ්ඨ සන්ධිස්ථානය අභිමුවෙහි ය. එළඹෙන 07වෙනිදාට යෙදෙන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ශත සංවත්සර සැමරුම පිළිබඳ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගෙන් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” විමසුවෙමු. එම සාකච්ඡා සටහන මෙසේ පළ කරමු.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා මලල කීඩා සංගමයට වසර සියයක් සපිරෙන අවස්ථාවේදී එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නට ලැබීම ගැන ඔබට තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?

පිළිතුර – එය ඉතා විරල භාග්‍යයක්. කිසි පුද්ගලයකුට පහසුවෙන් උදා නොවන අවස්ථාවක්. ඒ නිසා මේ ලැබී තිබෙන අවස්ථාව මට ලොකු ආඩම්බරයක්. ඊටත් එහා ගිය ගෞරවනීය අවස්ථාවක්. එම ගෞරවය හද පතුලෙන් භාර ගන්නා අතර මෙතෙක් කලක් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරුන් ලෙස කටයුතු කළ සියලූ දෙනාට ස්තූතිය පිරිනැමීමට ද මං කැමතියි. ඒ අයගෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයට මෙන්ම ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාවට ද විශාල සේවයක් ඉටුවී තිබෙනවා.

මෙම සංගමයේ පළමු සභාපති ලෙස කටයුතු කර තිබෙන්නේ බි‍්‍රතාන්‍ය හමුදාවේ කර්නල්වරයකු ලෙස කටයුතු කළ ටී. වයි. රයිට් නැමැත්තායි. එතැන් පටන් සභාපතිවරුන් ගණනාවක් මලල ක‍්‍රීඩා සංගමය සමග එක්වී කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය – වසර සියයක් සපිරෙන මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව මලල ක‍්‍රීඩාවෙන් මේ වන විට සිටින තත්ත්වය පිළිබඳව ඔබට සෑහීමකට පත් විය හැකිද?

පිළිතුර – අප සිටින තත්ත්වය පිළිබඳ තෘප්තිමත් ද නැද්ද යන්න බැලීමේ මිණුම් දණ්ඩ වන්නේ අප ලබා තිබෙන ජයග‍්‍රහණයි. ඒ වගේම අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැනට සිටින තත්ත්වයයි. අප දැන් සිටින්නේ මීට වසර දහයකට පෙර සිටි තත්ත්වයේ නොවේ. පසුගිය වසරක පමණ කාල සීමාව තුළ අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වාර්තා දහයකට වැඩි ප‍්‍රමාණයක් බිහි කරල තිබෙනවා. එළැඹෙන ආසියානු ක‍්‍රීඩා තරගාවලියේ දී පදක්කම් පහක් පමණ දිනා ගැනීමේ හැකියාව අපට තිබෙනවා. එහෙම වුණොත් එය විශිෂ්ට ජයග‍්‍රහණයක්. පසුගිය කාලය තුළ මීටර් 1500 වාර්තාව පිහිටුවන්න අපේ ක‍්‍රීඩිකාවක් සමත් වුණා. යුපුන් අබේකෝන් මීටර් 100 වාර්තාව අලූත් කළා. උෂාන් තිවංක උස පැනීමෙන් වාර්තා පිහිටෙව්වා. සාරංග ද සිල්වා වාර්තා අලූත් කළා. තුන් පිම්මෙන්, මීටර් 800 ඉසව්වෙන් වාර්තා බිහි වුණා. මීටර් 100 සහ මීටර් 110 කඩුලූ මත දිවීමෙන් ද අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වාර්තා තැබුවා. මේ වගේ ප‍්‍රධාන ඉසව් අටකින් පමණ අපි අලූත් වාර්තා බිහිකර තිබෙනවා. ඉන් සමහරක් ලෝක මට්ටමේ වාර්තාවන් හා සංසන්දනය කළ හැකියි.

ඒ වගේම අසල්වැසි ඉන්දියාවේ බිලියන 1.5 ක් පමණ ජනතාවක් ඉන්නවා. ඔවුන් ක‍්‍රීඩාව වෙනුවෙන් සෑහෙන කැපකිරීම් කරනවා. ඒත් මලල ක‍්‍රීඩාව පැත්තෙන් ඔවුන් ලෝක මට්ටමේ ජයග‍්‍රහණ දෙකක් පමණයි තාම ලබා ගෙන තිබෙන්නේ. අපේ ජනගහනය යන්තම් කෝටි දෙකක් ඉක්මවනවා පමණයි. ඒත් අපි ඔවුන්ගේ ජනගහනයට සාපේක්ෂව ලෝක මට්ටමේ ජයග‍්‍රහණවලින් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ආසියාවේ කෙටි දුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලෝක මට්ටමට යන එක අමාරුයි. ඒ නිසා අපි වෙනත් ක‍්‍රීඩා ඉසව්වලට වැඩි අවධානය යොමු කළ යුතුයි.

ප‍්‍රශ්නය – ඒත් අපි ලෝක මට්ටමේ ජයග‍්‍රහණයක් ලෙස ලබා ගෙන ඇති එක් ඔලිම්පික් පදක්කමක් සහ ලෝක ශූරතා ජයග‍්‍රහණ ලබා ගත්තේ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන්…

පිළිතුර – ඔව්, සුසන්තිකා යනු වර්ෂ ගණනාවකට රටකට බිහිවන අහඹු දක්ෂතා ඇති සුවිශේෂී ඉතාමත් විරල ගණයේ ක‍්‍රීඩිකාවක්. රටකට කලාතුරකින් බිහිවන ඇය වැන්නන් යළි සොයා ගැනීම අසීරුයි.

ප‍්‍රශ්නය – සුසන්තිකා කෙනෙක් අද හෙට බිහිවන ලකුණු නැත් නම් එවැනි දක්ෂයන් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුයි. කෙටිකාලීන හෝ දිගුකාලීන වැඩපිළිවෙළක් ඊට තිබිය යුතුයි. මලල ක‍්‍රීඩා සංගමය ඒ සම්බන්ධයෙන් ගෙන ඇති වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර – සංගමයක් ලෙස අපි කරන කටයුතු සාර්ථක බව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලබන ජයග‍්‍රහණවලින් පැහැදිලි වනවා.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා බලමින් ඔවුන්ගේ දියුණුවට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ ඔස්සේ තමයි අපි මේ ගමන යන්නේ. එහි අග‍්‍රඵලය ලෙස තවත් සුසන්තිකා කෙනෙක් බිහි වේවි. ඒ සඳහා දක්ෂ පුහුණුකරුවන් අප සමඟ සිටිනවා. එම පුහුණුකරුවන්ට දැනුවත් කිරීම් වැඩසටහන් කරනවා. විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙක් අප සමග සිටිනවා.

ප‍්‍රශ්නය – සුසන්තිකාලව සොයා ගෙන යන්නේ අනෙක් ක‍්‍රීඩා වලට සාපේක්ෂව මලල ක‍්‍රීඩාවට කුඩම්මගේ සැලකිලි හිමිවන බවක් දැනෙනවා ද?

පිළිතුර – නැහැ. ක‍්‍රීඩාවට සැලකිලි එන්නේ ඔවුන් ලබන ජයග‍්‍රහණ සමඟයි. උදාහරණයක් ලෙස ක‍්‍රිකට් ගත්තොත් 1996 වසර වනතුරු ක‍්‍රිකට් කියන්නෙ අපේ රටේ එතරම් ජනප‍්‍රිය, එමෙන්ම ලොකු පිළිගැනීමක් තිබුණු ක‍්‍රීඩාවක් නෙවෙයි. ඒත් ඒ ජයග‍්‍රහණයෙන් පස්සේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලොකු පිළිගැනීමක් ආවා. මුදල් ගලා ආවා. සැලකිලි ආවා. මලල ක‍්‍රීඩාවටත් එවැනි ලෝක මට්ටමේ ජයග‍්‍රහණ අවශ්‍යයි. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපේ ක‍්‍රීඩාවෙනුත් මීට වඩා දියුණු මට්ටමක් උදාකර ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – කොවිඞ් 19 වසංගතය ආවෙ නැත්නම් ශ‍්‍රී ලංකාවේ මලල ක‍්‍ර‍්‍රීඩාව පසුගිය වසර දෙකේ දී මීට වඩා දියුණු වෙන්න තිබුණා කියලා ඔබ හිතනවාද?

පිළිතුර – හැම දෙයක්ම කොවිඞ් පිට දාලා වරද ඒ මත පටවන එක වැරදියි. කොවිඞ් කාලයේදීත් අපි පුහුණුවීම් කළා. ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු වෙන්න දුන්නෙ නැහැ. හැබයි තරගාවලි කිහිපයක් අවලංගු වුණා. ඒ නිසා ක‍්‍රීඩකයින්ගෙ දක්ෂතා පෙන්වීමට තිබුණු අවස්ථාවන් මග හැරුණා.

ප‍්‍රශ්නය – බොහෝ කැපකිරීම් කරන රට වෙනුවෙන් ජයග‍්‍රහණ ලබා දෙන අපේ ක‍්‍රීඩකයන්ට ක‍්‍රීඩාවෙන් සමුගත් පසුව තිබෙන රැකවරණය කුමක්ද?

පිළිතුර – ඔවුන්ට විශ‍්‍රාම දීමනාවක් හිමියි. ඒ වගේම හැමදෙනාටම වගේ පිළිගත් රැකියාවක් ඔවුන්ට ලබා දෙනවා. රැකියාවෙන් නිදහස ලබා දී තිබෙනවා ක‍්‍රීඩා කටයුතු කර ගෙන යෑමට. ක‍්‍රීඩාවෙන් සමුගත් පසුත් ඒ දේවල් ඔවුන්ට හිමියි.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment