මල්මාල හදා විකුණා තම දරු තිදෙනා රැකි ශ්‍රවන කථන ආබාධිත දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් – නොහික්මුණු රියැදුරෙකුට බිලි වූ සරසවි දියණිය සේයා

685

නාවලපිටියම කඳුළින් තෙත්කළ ශෝකාන්තය

නාවලපිටිය නගරයේ අඹගමුව වීදියේ පදිංචි සේයා එඩිතර දක්ෂ තරුණියකි.

ඇයගේ දක්ෂතා විවිධය. නැටුමට ගැයුමට පමණක් නොව ඉගෙනුමට ද ඇය හපනියකි.

ඇය මග තොට යන්නේ තනිවමය. රැයද දහවල ද ඇයට අදාළ නැත. ඇයට ඇයගේ අරමුණ පමණක් අදාළය.

මල්මාල හදා විකුණා තම දරු තිදෙනා රැකි ශ්‍රවන කථන ආබාධිත දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් - නොහික්මුණු රියැදුරෙකුට බිලි වූ සරසවි දියණිය සේයා

සේයාගේ මේ ලක්ෂණවලින් වඩාත් සතුටු වූයේ ඇගේ දෙමව්පියන්ය. ඒ සඳහා ඔවුන්ට විශේෂ හේතුවක්ද විය. මේ දෙමාපියන් අනෙක් අයට වඩා වෙනස්ය.

දෙදෙනාටම කථන හා ශ්‍රවණ හැකියාව නැත. මේ නිසාම ඒ දෙමව්පියන් තම දරු තිදෙනා ගැන බියෙන් පසු විය.

නමුත් මේ දරුවෝ වයසින් වැඩෙත්ම ඔවුන් විශේෂ හැකියාවන් ඇත්තන් බව දැන හැමෝම සතුටු විය. රාම ක්‍රිෂ්ණන් සයගිරි යනු මේ පවුලේ වැඩිමහල් දරුවා ය. අයට ආදරේට පවුලේ සියලු‍ දෙනා කීවේ සේයා කියාය.

ඇයට මල්ලියෙක් හා නංගියෙක් සිටින අතර සේයා මෙන් ඔවුන් ද නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේය. සේයා මෙම වසරේදී විද්‍යා අංශයෙන් යාපනයේ විශ්ව විද්‍යාලයට තේරී පත් වූවාය.

ඇයගේ එකම අරමුණ වූයේ රෝගීන්ට පිහිටවීමය.

කථන හා ශ්‍රවණ ආබාධ පියා නාවලපිටිය කතරගම කෝවිලට මල් මාලා ගොතා ලබන ආදායමෙන් ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි බව දත් සේයා විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු හොඳ රැකියාවක් කිරීම අරමුණ වී තිබුණි.

ඇය විශ්වවිද්‍යාලයට ගොස් මාස හයක් ගත වූවා පමණි. ඇගේ ඥාතියෙකුගේ මගුල් ගෙයක් යෙදී තිබුණේ කොළඹ ය. මව මේ සඳහා කලින්ම කොළඹ ගියාය. සේයා ද විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ගෙන මේ සඳහා යාමට තීරණය කළේ එය පවුලේ මගුල් ගෙයක් වීම නිසාය. යාපනයෙන් රාත්‍රී 7 ට කොළඹ බලා ඒමට නියමිත පුද්ගලික බස් රථයකට ඇය ගොඩ වුවද එය රාත්‍රී 9 වනතුරු පිටත් නොවුණි.

රාත්‍රී 9 ට පමණ පැමිණි රියදුරු ගතවූ පැය දෙක අල්ලා ගැනීමට මෙන් ඉතා වේගයෙන් බස් රථය ධාවනය කළේය. වර්ෂාවෙන් මාර්ගය ලිස්සන සුළු වුවද නොහික්මුණු රියදුරු වේගය තවත් වැඩි කරමින් පැමිණියද ඔහුට වව්නියාවෙන් මෙහාට ඒමට මරුවා ඉඩ ලබා නොදුන්නේය. පාලම් ඇන්දක ගැටුණු බස් රථය තිදෙනෙකුගේ දිවි නිමා කළේය ඒ අතර සේයා ද විය.

අසරණ දෙමවුපියන් සහෝදරයන් හා ඥාතීන් රැකගැනීමට සිටි සේයා එලෙස දෙනෙත් පියා ගත් අතර ඇගේ නිසල දේහය ඊයේ (6) අලු‍යම නිවසට රැගෙන එන ලදී.

නාවලපිටිය ප්‍රදේශයේ මහජනයා පමණක් නොව පාසල් මිතුරු මිතුරියන් හා ඥාතීන් එම නිවසට වැල නොකැඩී පැමිණියේ ඇගේ ගුණගරුක ජීවිතය නිසාමය.

කාටත් ප්‍රිය වූ ඇය ඊයේ (6) සවස මළ හිරු බැස යන සන්ධ්‍යාවේ දී නාවලපිටිය පොදු සුසාන භූමියේ මිහිදන් කෙරිණ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment