මල්වතු – අස්ගිරි මහනාහිමි සාකච්ඡාවෙන් පසු ව්‍යවස්ථාව ගැන ජනපතිට විවෘත ප්‍රකාශයක්

239

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි

මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමි දෙනම සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත විවෘත ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

පවතින ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඒකාබද්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොදු එකඟත්වයකට එළැඹීම සුදුසු බව ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් මේ බව සඳහන් කළේ දේශ හිතෛෂී ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් ඊයේ (31දා) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බැහැදැක ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සරත් වීරසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සුදත් ගුණසේකර, වෛද්‍ය කපිල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් විසින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහානායක හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

මේ වන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ඇතැයි කී හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා, ඒ වෙනුවට 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ නම් ගැටලු රැසක් මතුවිය හැකි බව පෙන්වා දුන්නේය. නමුත් රටට උචිත අයුරින් ව්‍යවස්ථාවක් සකස් කොට ඇති බව කී ඒ මහතා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම වඩා වැදගත් බව කීවේය.

යුද්ධය නිමාවීමෙන් අනතුරුව කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවීමෙන් පෙනී යන්නේ මෙරට ජාතික ආරක්ෂාවට රජය ගෙන ඇති තීරණ යැයි කී සරත් වීරසේකර මහතා රට දියුණු කිරීම හා මහජන සුභසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බව ද කීවේය.

හමුදාව යටතේ පැවැති ඉඩම්වලින් 95%ක් යළි මහජනතාවට ලබාදී ඇතැයි කී ඒ මහතා පලාලි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඉඩම්වල පවා ජනතාව යළි පදිංචි කළ බව ද කීය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි, මුතියංගණ රජමහ විහාරාධිපති ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන, කාරක සංඝ සභික ගොඩගම මංගල යන හිමිවරු අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් මෙහිදී පෙනී සිටියහ.

ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මුලතිව් කුරුන්දි රජමහ විහාරාධිපති සත්තා බෝධී හිමියන් ද, කීර්ති වික්‍රමරත්න, නීතිඥ කල්‍යාණ තිරාණගම, වසන්ත බණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment