මල්වතු මහා නාහිමියන්ට තුති මල් මිටක්

732

මත්ද්‍රව්‍ය වසංගතය බූවල්ලකු මෙන් රටම වෙලාගෙන ඇති නිසා රටට අත්වී ඇති දුක්ඛදායක ඉරණම ගැන කතා කරන්නට තවත් අපට වචන, වාක්‍ය නැත. ඒ ගැන ඕනෑතරම් අප කතුවැකි ලියා ඇතත් රටේ පාලකයන් කිසිවෙකුත් ඒ වෙනුවෙන් ගත් ධනාත්මක පියවරක් නැත. රටට මෙසේ බහුල වශයෙන් කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ විවෘත ආර්ථික රටාව ඔස්සේ නිර්මාණය වූ හොර-මැර-දූෂිත-චෞර වටපිටාව මත යැයි අප අනුමාන කළහොත් හිටපු ජනාධිපතිවරුන් වන ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා වැඩිමනත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් 8 දෙනාටම මේ මත්ද්‍රව්‍ය මාෆියාව රටින් තුරන් කිරීමට හෝ එම හානිය අවම තැනකට ගෙනෙන්නට හැකියාව ලැබුණේ නැත. අප මෙසේ ජනාධිපතිවරුන් පිරිසකගේ නම් කියන්නේ ඔවුන් සියලු දෙනා මේ රටේ විධායක බලය සහිත හා මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කරන්නට හැකියාව තිබූ පාලකයන් වූ නිසාය. නමුත් “ඇතැම්” යුගවලදී “ඇතැම්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගිනි අවි පෙන්වන්නට ගොස් අවසන් ගමන් ගිය අවස්ථා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් තරමක් “ඩ්‍රොප්” වූ අවස්ථා ගැන අපට මතක තිබේ. එහෙත් කන්ජිපානි ඉම්රාන්ලා වැනි සුප්‍රකට කුඩු කාරයන් මේ ඊයේ පෙරේදාත් ඇප ලබා හිරෙන් එළියට ආ සැණින් පසුදාම නැව් නැගී ඉන්දියාව හරහා යළිත් අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලය හා එක්වන්නේ වෙන කිසිම සාධකයක් නිසා නොව, මේ රට ඒ තරම්ම චෞර රාජ්‍යයක් වන නිසා මිසක වෙන යම් දෙයක් නිසා නොවේ. නැතහොත් මේ රටේ දේශපාලකයන් ඒ තරම්ම චෞරයන් වන නිසාය. නොහොත්, කන්ජිපානිලා හිරෙන් ඇප ලබන්නේම රටෙන් පැන යෑමටය. “බූරු මූණලා” පොලිස් අත්අඩංගුවෙන් අගේට පැන යන්නේත් අහම්බයෙන් නොවේ. චෞර දේශපාලකයන් හා නිලධාරීන් රට පාලනය කරන නිසා මෙන්ම, අප ඒ චෞර රටේ රටවැසියන් ලෙස උන් කියන සියල්ලටම එහෙයි කියමින් වලිගය දෙපරැන්දේ ගසාගෙන උන්ටම කතිරය ගසන නිසාය. මෙම ගේම්වල මාස්ටර් ප්ලෑන් ගසන්නේ දේශපාලකයන් හා උන්ට කත් අදින නිලධාරීන් මිස වෙන කවුරුන් හෝ නොවේ. එවන් වටපිටාවක හරක් කටාලා, කුඩු සලිඳුලා මැඩගස්කරයේ සිට මෙරටට අල්ලාගෙන පැමිණීමද විහිළුවකි. එය හරියට කන්ජිපානි ඉම්රාන් ලා ඩුබායි සිට මෙරටට ගෙන ආවා වගේ වැඩකි. විධායක ජනාධිපතිවරුන් 8 දෙනකු පාලනය කළ රටකත් තවමත් මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරම් හිතේ හැටියට සිදුවන්නේ නම් තවත් ඒ ගැන කතා කර පලක් නැත.

එසේම, වැටත් නියරත් ගොයම් කන්නා සේ කියන්නා මෙන් “පොලිස් නාකොටික්” මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් ලොරි, බෝට්ටු තියාගෙන මුහුද මැදට ගොස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ස්කොඩ් දී මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ අතටම ඒවා ගෙනවිත්ම ලබාදුන්, මොණරාගල එස්. එස්. පී. වැනි පොලිස් ලොක්කෝ තමන්ගේ වාහනවලින්ම ගංජා ප්‍රවාහනය කර, ජාවාරම් මෙහෙයවන ලෝකයේ එකම චෞර රාජ්‍යයද ශ්‍රී ලංකාව වෙයි.

මේ වන විටත් රටේ අස්සක් මුල්ලක් නෑර, ගම් – නියම්ගම් පුරා පැතිර පවතින සියලු ආකාරයේ මත් වතුර හා මත්ද්‍රව්‍ය ගැන සුචරිතවාදී ජනතාව නම් ගත කරන්නේ දැඩි සේ කළකිරුණු ජීවිතයකි. ගම් – නියම්ගම් පුරා පැතිර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන බොහෝ පොලිසිවලට දැනුම්දීමටද මෙවන් ජනයා පසුබට වන්නේ ඉන් පසු ඔවුන්ට ඇතිවන තර්ජනය නිසාය. මන්ද යත් පොලිසි හරහාම ඔත්තු සපයන පුද්ගලයන් නිරාවරණය කෙරෙන අතර අවසානයේ ජාවාරම්කරුවන්ට ගොදුරු වන්නේ මත්ද්‍රව්‍ය ගම්වලින්, නගරයෙන්, වීදියෙන් තුරන් කරන්නට වෙහෙස ගන්නා සැබෑම සුචරිතවාදීන්ය.

මෙවන් අරාජිකත්වයක් රට තුළ ක්‍රියාත්මක වන වටපිටාවක මල්වතු මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හාමුදුරුවන්වහන්සේ පලස්තීන, ඊජිප්තු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරු හමුවේ ඉල්ලීමක් කර, මෙරටට මත්ද්‍රව්‍ය ඇදී එන මැදපෙරදිග හා ඇතැම් මුස්ලිම් රටවල් පිළිබඳව අවධානය යොමුකර එම තත්ත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස කරන ලද ඉල්ලීම අතිශය වැදගත් ඉල්ලීමක් ලෙස අපි දකින්නෙමු. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ වැඩි දායකත්වයක් පකිස්තානය, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල්ද දරන නමුත්, මත්ද්‍රව්‍ය හේතුවෙන් මේ රටේ ජනතාව ජාති, ආගම් භේදයෙන් තොරව විශාල පීඩාවකට පත්ව සිටින බව මෙන්ම මේ නිසා පවුල් කැඩී, දරුවන් අසරණභාවයට පත්ව ඇති බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වැට බැඳීමට මුස්ලිම් රටවල් අත්වැල් බැඳගත යුතුව තිබෙන බවත්, මත්ද්‍රව්‍ය පිටුදැකීමට මුළු ලෝකයම එක්විය යුතු බවත් උන්වහන්සේ ඉහත රටවල තානාපතිවරුන්ට පැවසීම හා ඔවුන්ගෙන් එවන් ඉල්ලීමක් සිදුකිරීම අතිශය කාලෝචිත හා ඵලදායක ඉල්ලීමක් ලෙස අපි දකින්නෙමු.

මෙවන් ඉල්ලීම් සිදුකළ යුතුව ඇත්තේත්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පියවර ගත යුතුව ඇත්තෙත් රට කරන පාලකයන් විසිනි. එහෙත් රට චෞරයන්ට යටවී ඇත්නම්, ඒ සඳහා ආගමික නායකයන් සමාජ ශෝධනය සඳහා ඉදිරිපත් විය යුතුමය. එසේ හෙයින් මල්වතු නාහිමියන් මෙවන් කටයුත්තකට මැදිහත්වීම ගැන එහිමියන්ට අප නමස්කාර පූර්වක ගෞරවය පුද කළ යුතුය.

එසේම, වැඩිදුරටත් මෙහිදී අදහස් දක්වා ඇති උන්වහන්සේ පවසා ඇත්තේ රටේ මුස්ලිම්, සිංහල, දෙමළ ලෙස ජනතාව අතර ජාති භේදයක් නැති බවත්, බෙදීම් කර ඇත්තේ පටු අරමුණු මුල් කරගත් ඇතැම් දේශපාලකයන් විසින් බවත්ය. බලය සඳහා ඇතැම් දේශපාලකයන් ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදා වෙන්කරන බවත්, මේ නිසා ශ්‍රී ලංකාවේ ජාති හා ආගම් බෙදීම් පවතින බවට ජාත්‍යන්තරයට වැරදි පණිවිඩයක් යන බවත් උන්වහන්සේ මෙහිදී පවසා ඇත.

සැබැවින්ම උන්වහන්සේගේ මෙම ප්‍රකාශය බොරුවෙන් රට කරවන පාලකයන්ට අතුල් පහරකි. ජනතාවගේ ඡන්ද බලයෙන් පාලන බලය අල්ලාගෙන දේශපාලකයන් විසින් හා උන්ටම කත් අදින නිලධාරී පැලැන්තිය විසින් රටට සිදුකරන විනාශය නැවත හැරවිය හැක්කක් නොවේ. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම අතිශය බරපතළම දෙය වේ. එය මඩින්නට පාලකයන්ට කොන්දක් නැතිනම් ඉඩෝරයට වැටෙන පොද වැස්සක් මෙන් මෙසේ සුචරිතවාදීන්ම හඬ අවදි කළ යුතුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment