මල්වානේ නඩුවෙන් බැසිල් – තිරුකුමාරන් නිදහස්!

276

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක් විශාල වූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපති විසින් අධි චෝදනා තුනක් යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පැමිණිල්ල විසින් සැකයෙන් ඔබ්බට ඔප්පු කරලීමට අසමත් වීම නිසා නඩුව තවදුරටත් පවත්වාගෙන නොයෑමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විත්තිකරුවන් දෙදෙනා එම චෝදනා තුනෙන් ඊයේ (03 වෙනිදා) නිදොස් කොට නිදහස් කළේය.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනා ඊයේ (03) ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතාගේ උපදෙස් මත රජයේ අධිනීතිඥ ක්‍රිසංකා ප්‍රනාන්දු මෙනවිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.

මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 66 දෙනකු නීතිපතිවරයා විසින් නම් කර ඇති බවත් සාක්ෂිකරුවන් 12 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විවෘත අධිකරණය හමුවේ පැවසීය. නිවස ඉදිකිරීම සම්බන්ධව කටයුතු කළ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බොරු ප්‍රකාශ ලබා දුන් බව මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීම බරපතළ වරදක් බව ද මහාධිකරණ විනිසුරු විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

ඉකුත් මාර්තු මස 25 වැනිදා මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේදී ගම්පහ මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල විසින් කැඳවන ලද පළමු සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම (එම නිවස ඉදි කළ කොන්ත්‍රාත්කරු) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (එෆ්.සී.අයි.ඩී) තමා පැමිණිල්ලක් කර නොමැති බවත් ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටියේය.

සාක්ෂිකරු එසේ පවසා සිටින හෙයින් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති මෙම නඩුවේ සාක්ෂි විමසීමක් මින් ඉදිරියට සිදු නොකරන බවත් නඩුව අවසන් කරන බවත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සනිල් කුලරත්න මහතා මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ඊයේ (03දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර නඩුව කැඳවීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩුව තවදුරටත් නොපවත්වා යෑමට තීන්දු කර විත්තිකරුවන් දෙදෙනාව මෙසේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ ය. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ (03) දිනයේ දී පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී. ඒ. පී. වීරත්න මහතා කළ ඉල්ලීමක් මත නිදොස් කොට නිදහස් වූ විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ගේ ඇප බැඳුම්කර අවලංගු කළ මහධිකරණය ඇපකරුවන් තැන්පත් කර ඇති ඇප මුදල් මුදා හරින ලෙසට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට වැඩිදුරටත් නියම කළේය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment