මල් කැකුළු තුනක් බිලිගත් වැවක්! සූරියවැව කම්පාකළ ඛේදවාචකය

246

දියේ ගිලී මියගිය සීයාගේ තුන්මාසේ දානයට කුරුණෑගල සිට ආ මිනිබිරියන් තිදෙනාත් විනෝදයට පැද්ද ඔරුව පෙරළී වැව් පතුලේ සැඟවෙයි.

මාස 08 බිලිඳියක ඇතුළු 05 දෙනෙකුගේ දිවි බේරෙයි.

සූරියවැව අවට මේ දිනවල පවතින්නේ අධික වැසි සහිත කාලගුණයකි. ඒ හේතුව නිසාම පසුගිය කාලයේ කට්ටෙටම සිඳී තිබූ වැව් ඇළ වේලී සියල්ලම මේ වන විට ජලයෙන් පිරී පවතියි. සූරියවැව මහවැලිකඩආර වැව ද මේ දිනවල ජලයෙන් පිරී පවතින්නේ එම වැව දකින සියලු දෙනාගේ මනදොළ ද පිනවමිනි. ඒ තරමටම රමණීය පිහිටීමකින් යුක්ත මෙම වැව දකින ඕනෑම කෙනෙකුට වැවට ටිකක් බහින්නට සිතීම සාමාන්‍ය දෙයකි. එවැනි සුන්දර මනස්කාන්ත මහවැලිකඩආර වැවට බැස්ස මාස 08 වයසැති කිරි සප්පයකු ඇතුළු 08 දෙනකුට ඉකුත් 12 වැනි දින මුහුණ දීමට සිදු වූයේ ඉතා අවාසනාවන්ත සිදුවීමකට ය. විනෝදයට ඔරු පැද්ද 08 දෙනාගෙන් තිදෙනකු මහවැලිකඩආර වැව් පතුලේ සැඟව ගියේ අවට ගම්ම්වාසී සියලු දෙනා සංවේගයට පත් කරමිණි. වැව් පතුලේ සැඟව සිටි වයස අවුරුදු 10 ත් 18 අතරේ පසු වූ සිසුවියන් තිදෙනාගේ සිරුරු ගොඩට ගෙන ආ මොහොතේ අවට දිස් වූයේ මහා මූසල පෙනුමකි. දරුවන්ගේ වියෝව දරාගත නොහැකිව දරුවන්ගේ දෙමාපියන් හා ඥාතීන් තැබූ විළාපය ගම්දනව් සිසාරා රැව් පිළිරැව් දුන්නේ සියලුම දෙනාගේ නෙතට කඳුළක් ද එක්කරමිනි.

මාලඹේ කොළණිය, පිහිඹුව, කුරුණෑගල ලිපිනයේ පදිංචි දිලිප් සේනාධීර හා ඔහුගේ කුරුණෑගල පදිංචි නැගණිය ඔවුන්ගේ දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් සමග සූරියවැව එන්න පිටත් වූයේ පසුගිය 11 වැනි දින සවස 04ට පමණය. ඒ මීට මාස තුනකට පෙර සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් මියගිය දිලිප් සේනාධීරගේ පියාගේ තුන් මාසේ දානමය පිංකම සඳහා ය. සිය සීයාගේ තුන් මාසේ පිංකමට සූරියවැව යන බව දැනගත් දරුවන්ට ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඒ තරමටම මෙම දරුවන් මෙම පරිසරයට ආදරය කළේය. 11 දින සවස 4ට පමණ කුරුණෑගලින් පිටත් වූ පිරිස සූරියවැව මහවැලිකඩආරට එන විට වේලාව පසුදින අලුයම 2 පමණ වී තිබුණි. අලුයම පැමිණි පිරිස ඥාති නිවෙස් කිහිපයක රාත්‍රිය පහන් කළ අතර 12 වැනි දින අලුයම අවදි වූ මොහොතේ පටන් වැඩිහිටියන් සියලු දෙනා දානමය පිංකම සඳහා අවශ්‍ය කටයුතු ලහිලහියේ සූදානම් කෙරුණි. කුරුණෑගල සිට පැමිණි දරුවන් පිරිස හා සූරියවැව සිය ඥාති අයියලා මල්ලිලා අක්කලා එක්ක එකට එකතු වී විනෝදයෙන් දොඩමළුවෙමින් එහා මෙහා ඇවිද ගියේ මහත් ප්‍රීතියකින් යුතුව ය.

පෙරදින නිදි වර්ජිතව සිටීමත් ගමන් මහන්සියත් නිසා දිලිප් සේනාධීරට ටිකක් නිදා ගැනීමට වුවමනා විය. ඒ වන විට වේලාව උදෑසන 9.30ත් පසු වී තිබුණි. නිදා ගැනීමට යන දිලිප් සේනාධීරට නිවස ඉදිරිපිට පාරේ එහා මෙහා ඇවිද යන දරුවන් ටික ද දැකිය හැකි විය. ඒ නිසාම ඔහු සිය දියණිය වූ 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීරට කතා කර “පුතේ කොහේවත් යන්න එපා තේරුණාද” යැයි පැවසීය. “නෑ තාත්තේ අපි කොහෙවත් යන්නේ නෑ. අක්කලා එක්ක පේර කඩන්න යනවා විතරයි” යැයි ඇය පැවසුවාය.

මල් කැකුළු තුනක් බිලිගත් වැවක්! සූරියවැව කම්පාකළ ඛේදවාචකය

ඒ වන විටත් මිහිරංගි ඇතුළු පිරිසට මාරයා වැව් පතුලට වී අත වනමින් සිටින බව දිලිප් සේනාධීර තියා මිහිරංගි ඇතුළු පිරිසවත් දැන සිටියේ නැත. තම දරුවන් ආරක්ෂිත යැයි සිතූ දිලිප් සේනාධීර ද නින්දට ගියේය. මිදුලේ එහා මෙහා ඇවිද සිටි දරුවන් පිරිස නිරායාසයෙන්ම වැව අසලට ගියේ හරියට මාරයාගේ ඉල්ලීමට මෙනි.

මහවැලිකඩ ආර පදිංචි කේ.ජී. ලහිරුට මහවැලිකඩආර වැව යනු නුහුරු නුපුරුදු තැනක් නොවීය. උදේ හවා දකින කියන මේ වැවේ ලහිරු නොගැසූ කරණමක් නොමැති තරම්ය. දරුවන් පිරිස ද ලහිරු කැටුව වැවට ගියේ ඔරු පදින්නටය. ඒ පස්සෙන් ඔවුන්ගේ මවුවරුන් කිහිප දෙනෙකුද වැව අසලට ගියේ ආ ගමන මතක් වෙන්නට සෙල්ෆියක් හෝ ගහගන්නටය. 10 හැවිරිදි තරුෂි ඇතුළු සිව් දෙනකු බෝට්ටුවට නංවාගත් ලහිරු වැවේ රවුමක් ගියේය. ඒ වන විටත් අසල සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුම කෑ මොර දී වැඩිදුර යන්න එපා යැයි පැවසීය. බෝට්ටුව පැදගෙන මද දුරක් ගිය ලහිරු යළි ආපසු ගොඩබිමට පැමිණියත් ඔහුට ඔරුවෙන් බැසීමට අවස්ථාවක් නොවීය. ඒ වැව අසල සිටි තවත් සිව් දෙනෙකුද ‘අනේ අයියේ අපිවත් රවුමක් එක්කගෙන යන්නකෝ’ යනුවෙන් ලහිරුට ඇවිටිලි කරන්නට වූ නිසාය. ඒ අනුව ලහිරුට සිය සහෝදර නැගණියන්ගේ ඉල්ලීම බැහැර කරන්නට නොහැකි විය. හා එහෙනම් යමු කියා ඒ සිව් දෙනා බෝට්ටුවට නංවා ගන්නා විට අනෙක් අය ද යළි මේ ගමනට එක් වීය. බෝට්ටුවට බර වැඩියි. ඔක්කොම යන්න බෑ. කිප දෙනෙක් බහින්න යැයි ලහිරු පිරිසට කීවද කිසිවෙකුත් ඒ සඳහා කැමති නොවීය. සිය නැගණියන්ගේ දැඩි ඇවටිල්ල හේතුවෙන් මාස 8ක දැරියක ඇතුළු 08 දෙනකු එකවර වැව වටේ රවුමක් එක්කගෙන යෑමට ඔරුව දියත් කළේ පිරිසට කොන්දේසියක්ද දමමිණි. බෝට්ටුවට බර වැඩියි. කට්ටිය දඟලන්න නම් එපා හොඳද කියමිනි. ඔරුවේ ගිය දරුවන්ට වැව මැදට යන විට ලහිරුගේ කොන්දේසිය අමතක විය. එකිනෙකා බෝට්ටුවේ සිටම වතුරෙන් ගහගන්නට විය. ඒ අතරේ තවත් කිහිප දෙනෙකු බෝට්ටුවේ සිට සෙල්ෆි ගහන්නට විය. ඒත් එක්කම බෝට්ටුවේ සමබරතාවය නොමැති වී ගොස් ඔරුව පෙරළී ගියේ කිසිවෙකුටත් සිතා ගන්නටත් බැරි විදියටය.

මේ ඒ අත්දැකීම පිළිබඳව බෝට්ටුව පැදවූ සූරියවැව මහවැලිකඩ ආර පදිංචි කේ.ජී. ලහිරු සිද්ධිය පිළිබඳව මෙලෙස පැවසීය.

“මම ඉස්සර වෙලාම හය දෙනෙක් විතර දමාගෙන රවුමක් ගිහින් ආවා. ඒත් ඒ වෙලාවේ අම්මලත් කෑ ගැහුවා වැඩි දුර යන්න එපා කියලත්. අම්මල කෑ ගහනකොට මං වැඩි දුර අරන් ගියේ නැතුව ගොඩට ගෙනත් බැස්සුවා. පොඩි නංගි ඉස්සර වෙලා ගිහින් ආවේ. ගොඩට ආවට පස්සේ අනිත් නංගිලත් යන්න ඕනි කිව්වා. ඉතින් ඔක්කොම කට්ටිය දෙවෙනි පාරට නැග්ගා ආයත් රවුමක් යන්න. ඒත් මං කිව්වා නගින්න එපා. ඔරුවට බර වැඩියි කියලා. ඒත් මේ අය ඇවිටිලි කළා අනේ අයියා තව එක සැරයක් එක්කගෙන යන්න කියලා. මං ඒත් කිව්වා කාටවත් දඟලන්න එපා කිව්වා. කොල්ලෑව පැත්තට බරවෙන්න එපා කියලා මං කිව්වා. කට්ටිය වැව මැදට යනකම් පාඩුවේ හිටියා. වැව මැදට ගියාට පස්සේ ඔරුවේ ගිය අය වැවට අත දමලා වතුර අරන් වතුර ගහගත්තා. එතකොට එකසැරේටම කොල්ලෑවත් එක්ක ඔරුව පැද්දෙන්න ගත්තා. මං ඔරුව ගොඩට ගේන්න කියලා ටක්ගාලා හරවනකොටම කට්ටියම බය වෙලා දඟලන්න ගත්තා. එතකොටම ඔරුවේ එකපැත්තකට කට්ටියම ඇල වුණා. ඒත් එක්කම ඔරුව පෙරළුනා. ඒ වෙලාවේ ඔරුවේ හිටිය ඔක්කොම වැවට වැටුණා. මාස 8ක දරු පැටියත් එක්ක මගේ නංගි යට ගිහින් උඩට එනවා මං දැක්කා. එතකොටම මං දරු පැටියා අල්ල ගත්තා. මගේ ලොකු නංගි යට ගිහින් උඩට එනවත් එක්කම පෙරළිලා තිබුණු ඔරුවට නැග ගත්තා. පුළුවන් විදියට මං කට්ටිය බේරගත්තා. ඒ වෙනකොට මටත් අමාරුයි. එතකොට කට්ටියක් ඔරුවකින් ඇවිත් මමයි පොඩි දරුවයි දමාගත්තා මට මතකයි. මටත් මේක හිතා ගන්න බෑ. මගේම නංගිලා තුන්දෙනෙක් මේ විදියට මගේ ඇස් ඉදිරිපිට නැතිවීම මට දරා ගන්න බෑ” යැයි පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් සිරුරු සෙවීම යළි ආරම්භ කෙරුණේ 13 වැනි දින පෙරවරුවේ නාවික හමුදා නිලධාරීන්, පොලිසිය හා ගම්වාසීන් එක්ව සිදු කළ මෙහෙයුමෙන් පසු අතුරුදන් අනෙක් සිරුරු දෙකද සොයා ගත්තේය. එලෙස සොයා ගත්තේ කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා සහ කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන 18 හැවිරිදි දිලක්ෂි මදුෂිකා හේරත් නමැති සිසුවියන්ගේ ය.

සිද්ධිය පිළිබඳව 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර දැරියගේ පියා වන දිලිප් සේනාධීර හඬා වැළපෙමින් පැවසීය.

“මේ දරුවෝ නිකන්වත් වැව පැත්තට යනවා කිව්වා නම් මං කීයටවත් නිදා ගන්න යන්නේ නෑ. මං නිදා ගන්න කලින් දරුවට කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලා. නෑ තාත්තේ පේර කඩන්න පහළට යනවා විතරයි කිව්වා. එහෙම කියපු දරුවා කට්ටියත් එකක් වැවේ ඔරු පදින්න ගිහින් තමයි මේ කරදරය කරගෙන තියෙන්නෙ. අපි 11 වෙනිදා හවස 04ට විතර කුරුණෑගලින් සූරියවැව එන්න පිටත් වුණේ. පහුවදා පාන්දර දෙක හමාර විතර වෙලා අපි සූරියවැවට එනකොට. ඒ ඇවිත් අපි නිදාගෙන උදේ නැගිටලා දානේ ගෙදර වැඩ කළා. දරුවා සීයගේ දානේ ගෙදර යනවා කිව්වම දවල් පන්ති ගිහින් ගෙදර ඇවිත් කෑවෙත් නැතිවමයි වාහනේට නැග්ගේ යමු යමු තාත්තේ කියලා. එන ගමන් මගදි දරුවා මට කිව්වා තාත්තේ අපි රයිස් කමුද කියලත්. දානේ ගෙදර ඇවිත් අපි වැඩ කරද්දී මං දරුවට දිගින් දිගටම කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලත්. එහෙම කියල තමයි මං ටිකක් නිදාගත්තේ. මේ දරුවෝ වෙනදත් මේ වැව ළඟට එනවා මෙහේ ආවම. කවුද දෙයියනේ දන්නේ මගේ දරුවට මෙහෙම දෙයක් වේවි කියලා” යැයි පියා හැඬූ කඳුළින් පැවසීය.

සටහන හා සේයා රූ –
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment