මල් පිපෙන වසන්තයට ඇයි මෙහෙම කෙනහිලි !

634

මේ මල් පිපෙන වසන්ත සමයයි. වසන්ත සමය ගැන කතා කරන විට අපට එකවිටම මතකයට නැඟෙන්නේ නුවරඑළියයි. මන්ද අපේ රටේ මල් පිපෙන ලස්සනම ලස්සන නගරය ශාන්ත සිසිල් සුවදායක නුවරඑළිය වන නිසාය.

නුවරඑළිය මලින් පිරී යන සමය එළැඹෙන්නේ ශීතල දුරුත්ත නිමාවී ටිකෙන් ටික වසන්ත සමය කඳුකරයට ළඟාවන නවම්, මැදින් මාස වන විටයි. ශීතලට ගුලි ගැසුණු ගහකොළ අතු ඉති පතර විහිදා දළුලා මල් ඵල දෙන්නට සැරසෙන්නේ නවම් මාසයේදී ය.

මල් පිපෙන වසන්තයට ඇයි මෙහෙම කෙනහිලි !

මැදින් මාසයේ පිපෙන පොහොට්ටු විකසිත වී මුළු නුවරඑළිය නම්වූ කඳුකර සීතල පුරවරයම මලින් සරසන්නේ අපේ‍්‍රලයේය. ඒ මල් දළු කියා පාන්නේ නුවරඑළියට පමණක් නොව රටටම වසන්තය උදාවී ඇති බවකි.

දහසකුත් එකක් කරදර මධ්‍යයේ ඒ වසන්ත පුරවරයේ ජනතාව බලා සිටියේ වසර කිහිපයක් පුරා සමරන්නට නොහැකි වූ වසන්ත උත්සවය මෙවරවත් සමරමින් තම ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්කර ගැනීමටය. නුවරඑළිය ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම යනු වෙනමම කතාවකි.

නුවරඑළියේ අවුරුද්දෙන් වැඩි කාලයක් සීතලට ගුලිවී එදිනෙදා ජීවනෝපායන්වලට හුරුපුරුදු වූ ජනතාව තම තමන්ගේ ජීවිතවලට ද විරාමයක් දී හුස්මක් කටක් ගන්නේ මේ වසන්තය එළැඹෙන අපේ‍්‍රලයේදීය. වෙනදා මේ අපේ‍්‍රලය ඔවුන්ගේ ජීවනෝපාය මෙන්ම අතිරේක ආදායම් මාර්ග ද සරුසාර කරනු ලබයි.

පාස්කුවත් ඊට පසුව ආ කොරෝනා වසන්ගතයත් නිසා වසර කිහිපයක්ම වසන්තය අහිමි වූ නුවරඑළියේ ජනතාව මේ පාරවත් හුස්මක් කටක් ගන්නට බලා සිටියහ.

එහෙත් හිතූ තරම් අස්වනු සරු නොවූයේ පොහොර නස්පැත්තිය නිසාය. පොහොර අර්බුදයෙන් බැටකෑ නුවරඑළියේ මිනිස්සු ඊළඟට බලා සිටියේ වසන්ත සමයේ නුවරඑළියේ ලස්සන බලන්නට එන දෙස් විදෙස් සංචාරකයන්ට සේවා සපයා යම් තරමකින් හෝ ආදායමක් ලබාගෙන පසුගිය කාලේ දිගින් දිගටම බිඳවැටී ගිය තම ජීවිතවලට වසන්තයෙන්වත් සහන් එළියක් ලබා ගන්නටය.

අරගල නස්පැත්තිය වසන්තයටත් හරස් වුණේ ඔය අතරතුරය.

මල් පිපෙන වසන්තයට ඇයි මෙහෙම කෙනහිලි !

නුවරඑළියේ මහ නගර සභාව මැදිහත්වී දැන් වසර ගණනාවක් තිස්සේ වසන්ත උත්සවය සමරන්නට අපේ‍්‍රලයේ නුවරඑළියට එන ජනතාවට පහසුකම් සලසන වැඩසටහනක් සූදානම් කර දුන්නේය. ඔවුන් එය හඳුන්වා දුන්නේ නුවරඑළිය වසන්ත උදානය කියාය.

සත්තකින්ම නුවරඑළිය වසන්ත උදානය යනු රටවටින් නුවරඑළියට ඇදෙන සංචාරක ජනී ජනයා හිතේ හැටියට විනෝදවී වසන්ත සුව විඳින සමය මෙන්ම නුවරඑළියේ දුක්විඳින ජනතාවෝ කීයක් හෝ හරි හම්බ කරගෙන ඉතිරි පහදු ගන්නා සමයයි. ඔවුන්ගේ ජීවිකාවන් විවිධය. එළවළු ගොවියන්, ස්වයං රැකියාවල නිරත වන්නන්, සංචාරක මඟපෙන්වන්නන්, සංචාරක කටයුතුවලට විවිධ පහසුකම් සපයන්නන්, ටැක්සි රියැදුරන්, කුඩා ප‍්‍රමාණයේ සිට මධ්‍යම ප‍්‍රමාණය දක්වා සංචාරක ගිමන්හල් හා අවන්හල් පවත්වාගෙන යන්නන්, වාහන සෝදා පිරිසිදු කරන්නන්, කෑම බීම පිළියෙල කරන්නන් ආදී රැකියා කොතෙක්ද… නුවරඑළියේ පදිංචිකරුවෝ මේ කාලයට තම නිවසේ කුස්සියට ගාල්වී කාමර හා ශාලා, ඉස්තෝප්පු සංචාරකයන්ට ලබාදී ප‍්‍රතිලාභ ලබන්නේ එකෙක් දෙන්නෙක් නොවේ.

ඒ මල් පිපෙන වසන්තයේ නුවරඑළියේ හැටිය. නුවරඑළිය මහනගර සභාව හා නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න 2002 වසරේ සිටම මේ කටයුත්ත විධිමත් කරන්නට හා සංචාරකයන්ට පහසුකම් සලසන්නට විශේෂ වැඩපිළිවෙළවල් ගණනාවක්ම සංවිධානය කළේය.

ඒ සඳහා ඔහු නුවරඑළිය ලස්සන හා විධිමත් කළ බව ද නොකිවමනාය.

මීට කලකට පෙර ගොඩනැඟිලි අපද්‍රව්‍යවලින් හා කැළිකසළවලින් අපවිත‍්‍ර වී තිබූ ග්‍රෙගරි වැව ඉන්න හිතෙන ලස්සන තැනක් බවට පත් කළේ මහත් පරිශ‍්‍රමයකින් සකස් කළ පරිසර හිතකාමී වැඩපිළිවෙළකට අනුවයි. සංචාරකයන්ට අද ග්‍රෙගරි වැව උද්‍යානයකි. විනෝද උයනකි. සතුටු සාගරයකි.

විනෝද වන්නට නුවරඑළියට එන යන කොයි කවුරුත් ග්‍රෙගරි වැව අවට පරිසරයේ රස පහස විඳින්න අද වැඩි වේලාවක් ගත කරන්නේ නගර සභාවට හා එදා මෙදා තුර ඊට නායකත්වය දුන් නගරාධිපතිවරුන්ට පින්සිදු වන්නට බව කිව යුතුය.

මෙවර අපේ‍්‍රල් 05 වැනිදා සිට නුවරඑළිය නගරය, වික්ටෝරියා උද්භිද උද්‍යානය, ග්‍රෙගරි වැව, පරිසර පද්ධතිය කේන්ද්‍රකොට ගනිමින් වසන්ත උදානය සැණකෙළිය සුපුරුදු පරිදි පවත්වාගෙන යන්නට නගර සභාව කටයුතු කළේය.

එහෙත් රට පුරා පැතිරුණු අර්බුද රැල්ලේ එක් කෙළවරක් වසන්ත සැණකෙළියට ද හරස් වුණේ ඔය අතරතුර ය.

වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය පසුගියදා නුවරඑළිය මහ නගර සභාව විසින් මහත් උත්සවාකාරයෙන් පවත්වමින් තිබූ මොහොතේ උද්ඝෝෂකයන් පිරිසක් පෙළපාලියකින් උත්සව භූමියට කඩා වැදුනහ. කඩාවැදී කෑකෝ ගසා කලබල කර වසන්ත උදානයේ සමාරම්භක උළෙල කඩාකප්පල් කර දැමූහ.

රටම මහත් ආර්ථික සමාජ දේශපාලන වසංගතයක ගිලී සිටින මොහොතක මෙවන් උත්සව වහා නතර කළ යුතු බව ඔවුන්ගේ තර්කය විය. පිරිස් බලය හා කලහකාරී බව ඉදිරියේ ඒ මොහොතේ එම උත්සවය කඩාකප්පල් වුවත් නගර සභාවේ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත්, ඒකමතික තීන්දුව වුණේ වසන්ත උදානය සැණකෙළිය කඩාකප්පල් කිරීමට ඉඩදිය යුතු නැති බවයි.

‘‘මුළු රටේම දැවෙන ප‍්‍රශ්න තිබෙනවා. දැවෙන ප‍්‍රශ්නවලින් අවුරුදු ගාණක් මිරිකිලා හිටපු ජනතාව හුස්මක් කටක් අරන් ඔළුව උත්සන්න හැදුවා විතරයි. ඒක කඩාකප්පල් කරන්න කාටවත් අයිතියක් නෑ. මේ කඩාකප්පල් කරන්නේ නුවඑරළිය ජනතාවගේ ජීවනෝපාය. ඒක කරන්න ඉඩ දෙන්න බෑ….’’ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න කීවේය.

‘මේක දේශපාලන ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් නොවෙයි. කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්. අපි මේක කරපු අය ගැන දන්නවා. පොලිසියට පැමිණිල්ලක් කළා. පරීක්‍ෂණ පවත්වන්න ඕනෑ’ මන්ත‍්‍රීවරු කියා සිටියහ.

මල් පිපෙන වසන්තයට ඇයි මෙහෙම කෙනහිලි !

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා ද කතා කළේය.

‘අපි විපක්ෂයේ තමයි. නමුත් නුවරඑළිය වසන්ත සැණකෙළිය පක්ෂ භේදයකින් තොරව කරන හොඳ වැඩක්. ඒක කඩාකප්පල් කරන්න කාටවත් ඉඩදිය යුතු නැහැ. අනිත් එක රටේ පවතින දේශපාලන ප‍්‍රශ්නයි මේකයි අතර තියන සම්බන්ධය මොකක්ද?… මේක තනිකරම කඩාකප්පල්කාරී වැඩක්. අපි මේවට විරුද්ධයි.

රටපුරාම මිනිස්සු නුවරඑළියට මේ කාලේ එන්නේ විනෝද වෙන්න. ඔවුන්ට ඒකට අයිතියක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔවුන්ට පහසුකම් සපයලා ජීවිකාව සරි කර ගන්න අපේ නුවරඑළිය ජනතාවටත් අයිතියක් තියෙන්න ඕන. ඒක වළක්වනවා කියන්නේ ත‍්‍රස්තවාදී වැඩක්….’’ ඔහු කීවේය.

වසන්තය යනු වසන්තයකි… එය අයිති ජනතාවට. වසන්තය ගත කරන්නට වසන්තය විඳින්නට ජනතාවට ඇති අයිතියට හරස් විය හැක්කේ කාටද… ඔවුන්ගේ අයිතිය ඔවුන්ට දිය යුතුව ඇත.

කතාව හා පින්තූර
නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment