මල් පිපෙන – සුවඳ හමන ලස්සන නුවර එළියේ ඔක්කොම කුණු ග්‍රෙගරි වැවට

558

මේ ඡායාරූප වලින් ඔබ දකින්නේ ශීතල නුවරඑළියේ හදවත බඳු සුන්දර ග්‍රෙගරි වැව යි.

නුවරඑළියට හොඳින් හිරු පායා ඇති පැහැබර දිනක නිරුපද්‍රිතව රමණීය ග්‍රෙගරි වැව දැක පුරුදු ඔබ, මා මේ කියන්නට යන කතාව ගැන එතරම් සතුටු වන්නේ නැති බව මම දනිමි. මේ ග්‍රෙගරි වැව යයි මා කීවිට එකපාර එය පිළිගන්නට ඔබ අසතුටු වන්නේ ඒ නිසාය.

එහෙත් යථාර්ථය එයයි. මේ ග්‍රෙගරි වැවේ වත්මන් තත්ත්වයයි.

නුවරඑළියට මහ වැසි ඇද හැලෙන මේ සමයේ ග්‍රෙගරි වැවේ පමණක් නොවේ, සමස්ත නුවරඑළියේම තත්ත්වය මෙයයි.

අයහපත් නාගරික සංවර්ධනය හා වාරි කළමනාකරණය හේතුවෙන් මහවැස්සක් අවසානයේ නුවරඑළිය නගරය බලා සිටියදී වතුරෙන් යටව යයි. නගරයේ කුණු කසළ ගංවතුර දිගේ පාවී පාවී ජලාපවහන මාර්ග අවහිර කරයි. වැසිකිළි කැසිකිළි මාර්ග උතුරා ගොස් ඒ ගලා යන ජලය අපවිත‍්‍ර කරයි. නගරයේ කැළි කසළ පමණක් නොව, නුවරඑළියේ සංචාරය කරන්නට හා සනීප ගන්නට යන එන ඔබත් මමත් භාවිතයෙන් ඉවතලන ප්ලාස්ටික් බෝතල්, ලන්ච් ෂීට්, මත්පැන් බෝතල්, කාලේ කුප්පි, බියර් ටින්, කෑම පෙට්ටි, ආදී එකී මෙකී සියලූ දෑ ඉවක් බවක් නොමැතිව තැන තැන දැමීම නිසා වැසි දිනවල ඒ සියල්ල එකතු වන්නේ නගරයේ නොපෙනෙන තැන් ඔස්සේ ගලා යන දිය කඩිති වලට ය. කළු ග`ග ඔස්සේ ගලා බසින ඔක්කොම කුණු බේරුවල බොක්කට කියන්නාක් මෙන් අවසානයේ සුන්දර නුවරඑළිය නගරය හා ඒ අවට ලස්සන ලස්සන මල් වතු, වතුපිටි, උයන් වතු සියල්ල සේදි සේදී යන ජල දහරාවෝ සමග මේ සියලූ කුණු කන්දරාවල් පාවි පාවී ගොස් එකතු වන්නේ ග්‍රෙගරි වැවට බව නුවරඑළියේ ලස්සන බලන්නට පැමිණෙන බොහෝ දෙනෙක් දන්නේ නැත.

සංචාරකයෝ ඒ බැව් නොදන්නවාට කමක් නැත. එහෙත් ප‍්‍රශ්නය ඒ බැව් දැන දැනම නොදැක්කා සේ බලා සිටින පාලකයන් පිරිසක් නුවරඑළියේ සිටීමය.

නුවරඑළිය යනු ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගලටත් කිකිළියාමාන කඳුවලටත් තොටුපළ කන්දටත් මැදි වූ අඩි 6200ක් පමණ උසින් පිහිටි මනස්කාන්ත උස් සම භූමියකි. රාවණා යුගයට සම්බන්ධකම් ඇති බවට ජනප‍්‍රවාද සාක්ෂි කිව්වත් 1686 දී රොබට් නොක්ස් ලියා පළ කළ ලංකාව පිළිබඳ තොරතුරුවල ඇති සටහන් හමුවනතුරු නුවරඑළිය පිළිබඳ ලියැවුණු කිසිදු ලිඛිත සාක්ෂියක් නැත. උඩරට ඉංග‍්‍රීසීන් විසින් අත්පත් කරගැනීමෙන් පසු පස්චාත් යුද කටයුතු සඳහා 1816 පැමිණි දොස්තර ජෝන් ඬේව් මහතා නුවරඑළියේ පළමු සාක්ෂිකාරයා විය. ඔහුගේ ඇහින් දුටු සාක්ෂි මත 1827 දී නුවරඑළියට පැමිණි එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරයා මිහිපිට මැවී ඇති මේ අපූර්වතම භූමිභාගය ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ හා සුදු ජාතික ධනවතුන්ගේ විවේක සුවය සඳහා වෙන්වූ පාරාදීසයක් කළේය.

මල් පිපෙන - සුවඳ හමන ලස්සන නුවර එළියේ ඔක්කොම කුණු ග්‍රෙගරි වැවට

එහෙත් නුවරඑළිය සුන්දර මලින් පලින් එළවළු පලතුරුවලින් බර ආකාශ උද්‍යානයක් කළෝ 1846 දී මෙහි පදිංචියට ආ සැමුවෙල් බේකර්ස් ය. නුවරඑළිය නැමැති මිහි මවගේ හදවතට ළතෙත් බව එක් කරන්නට අද පවතින ස්ථානයේ මේ සුන්දර ග්‍රෙගරි වැව නිමකළෝ විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයාය. ඔහු නුවරඑළිය පුංචි එංගලන්තයක් බවට පත් කළේය.

අතීත කතා බොහෝ වෙතත් එදා මෙදා තුර රට පාලනය කළ කිසිදු පාලකයකු සුද්දා නුවරඑළියට කළ දේට අමතර වැඩි යමක් කරන්නට සමත් වී තිබේද. නැත. ඔවුන් කළා නම් යමක් කර ඇත්තේ ඒ සුන්දර පරිසරයේ ඇති සුන්දරත්වය හා භූමි වටිනාකම් කටු කම්බි ගසා කොටස් කඩා පුද්ගලික වත්කම් ලෙස පැහැර ගැනීම හැර වෙන කුමකටද.

නුවරඑළිය නගරය දෙපස පිහිටි පිදුරුතලාගල කඳුවැටියෙනුත් කිකිළියාමාන කඳුවලිනුත් ගලා එන දිය දහරාවන්ගෙන් සැදුම්ලත් තලගල ඔය ග්‍රෙගරි වැවේ ප‍්‍රධාන දිය දහරාවයි. මේ ඔය ගලා බසින්නේ නගරයේ පිටුපසිනි. ප‍්‍රධාන බස් නැවතුම් පළ පිටුපසින් මල් වත්ත මැදින් යන තලගල ඔය ග්‍රෙගරි වැවේ ප‍්‍රධානම දිය දහරාවයි. නගරයේ අපද්‍රව්‍ය කුණු කසළ මෙන්ම වැසිකිළි කැසිකිළි අපද්‍රව්‍ය නිරතුරුවම ග්‍රෙගරි වැවට එක්වන්නේ මේ තලගල ඔය ඔස්සේ ය.

නුවරඑළිය පුරවරය පාලනය කළ නගරාධිපතිවරුන්ගේ අනුහසින් අක‍්‍රමවත් ලෙස ගොඩනැගිලි ඉදි කළ යම් යම් ව්‍යාපාරිකයෝ තලගල ඔය පටු කරන පටු කරන තරමට නගරයට බලපාන ගංවතුර තර්ජනය උග‍්‍ර විය. මේ වන විට ඒ ගංවතුර අවදානම නගරයට බරපතළ අන්දමින් දැනෙන්නට පටන්ගෙන අවසන්ය.

මීට කලකට පෙර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීයම ස්ථානය, ගිමන්හල වූයේ මල් වත්තයි. පසුකාලීනව නගරාධිපතිවරුන් විසින් ග්‍රෙගරි වැව වටා කරන ලද සංවර්ධන කටයුතු වලින් පසුව ග්‍රෙගරි වැව දේශීය සංචාරකයන්ගේ පාරාදීසයක් විය. සංචාරකයන්ට ටිකට් කැඞීම නිසා දිනකට ලක්ෂ දහයකට වඩා ආදායමක් නගර සභාව ග්‍රෙගරි වැවෙන් ලබාගනී. සංචාරකයන්ට බෝට්ටු සේවාවන් සැපයීම සඳහා බෝට්ටු හාරසියයක් පමණ වෙන්ව ඇත. ප‍්‍රදේශවාසීහු අටසියයකට පමණ ග්‍රෙගරි වැව නිසා විවිධ රැකියාවන් ලැබී ඇත. ඒ සියලූ ඵලප‍්‍රයෝජන ග්‍රෙගරි වැවෙන් ලබාගත්තා වුවත් අවසානයේ ඔවුන් ගෙගරි වැවට ලබා දී ඇත්තේ කුමක්ද… ඒ සුන්දර පරිසර හදවත විනාශය කරා තව තවත් තල්ලූ කිරීම ම නොවේද.

ග්‍රෙගරි වැවේ සංවර්ධන කටයුතු ක‍්‍රමාණුකූලව සිදු කළ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ ග්‍රෙගරි වැව අදියර තුනකින් සංවර්ධනය කරන්නට සුවිශේෂී වැඩපිළිවෙළක් යෝජනා කර ප‍්‍රතිපාදනයන්ද සපයා ගෙන තිබිණි. එහෙත් දෙවනුව පැමිණි නගරාධිපතිවරයා ඒ වැඩසටහන අතහැර දමනු ලැබීය. අරමුදල් ආපසු හැරී ගියේය.

අද වන විට ග්‍රෙගරි වැවෙන් බාගයක් ප්ලාස්ටික්, කුණු කසළ, වීදුරු බෝතල්, පොලිතීන් හා රොන්මඩවලින් පිරීගොස් හමාරය. එහෙත් නගර සභාව වැව එසේ තිබියදී එය වටේ ඇවිදින මං තීරුවක් ඉදිකිරීම පටන් ගෙන අවසන්ය. එහෙත් පරිසරවේදීන්, නුවරඑළිය ප‍්‍රදේශවාසීන් ඉල්ලන්නේ වැව වටේ ස්වාභාවික සෞන්දර්යය විනාශ කරන ඇවිදින මන්තීරුවක් නොව, වැසිදාට නුවරඑළිය ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවේ දියකඳ දරාගත හැකි වන ලෙස ග්‍රෙගරි වැව රොන්මඩ ටික ඉවත් කර දෙන ලෙසයි.

කවුරුන් කෙසේ කීවත් හිතුවක්කාර පාලකයන් කරන්නේ ඔවුන්ට වාසිදායක ඔවුන්ට වුවමනා දේ මිස පරිසරයට කළ යුතු සත්කාරය නම් නොවේ. මේ හිතුවක්කාරය හා දේශපාලන බලපුළුවන්කාරකම මේ ලෙස පවතිනතාක් කල් නුවරඑළියේ සැබෑ සංවර්ධනය හා සුන්දරත්වය සිහිනයක් ම මිස වෙන කුමක්ද…

ඡායාරූප හා පසුබිම් වාර්තා
නුවරඑළිය නාලක රත්නායක
බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment