මල් පෝච්චිය ඔළුවට වැටී  පෙරපාසල් දැරිය මියයයි

759

නිවස ඉදිරිපිට තිබූ අඩි තුනක් පමණ උස කොටස් (තට්ටු) 04කින් යුත් මල් පෝච්චියක් ඇඟට පෙරළී වයස අවුරුදු හතර හමාරක දැරියක මියයෑමේ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ බලබෝව ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙයලි යෙහන්සා නම් වූ වයස අවුරුදු හතර හමාරක පෙර පාසල් දැරියකි.

දරු දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය ජෙයලි යෙහන්සා දැරියයි. යෙහන්සා දැරියගේ පියා රැකියාවට ගොස් සිටි අතරතුර මව කුඩා දරුවා සමග නිවසේ සිටියදී ජෙයලි යෙහන්සා දැරිය නිවසෙන් පිටතට පැමිණ නිවස ඉදිරිපිට තනිවම සෙල්ලම් කරමින් සිටියදී ඉකුත් 20 වැනිදා පස්වරු 04.30 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ කිසිවකුත් සිද්ධිය දැක නැති අතර මල් පෝච්චිය දැරියගේ ඇඟ මතට පෙරළී ඇත්තේ කෙසේ ද යන්න නිශ්චිතව වාර්තා වී නොමැති බව වේයන්ගොඩ පොලිසිය පවසයි. අනතුරින් පසු දැරිය වහාම වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් දැරිය මෙලොවින් සමුගෙන තිබූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී සිදු කෙරුණු අතර දැරියගේ හිස් කබලට සිදු වූ හානි හේතුවෙන් හිස අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

මියගිය ජෙයලි යෙහන්සා දැරියගේ අවසන් කටයුතු 22 වැනිදා පස්වරුවේ බටහිර බලබෝව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර
 

advertistmentadvertistment
advertistmentadvertistment