මලින් උපන් මල්ලබණ්ඩාර දෙවියෝ

425

දඹදිව කපිලවස්තුපුර නුවර වෙහෙරමහ රජුගේ බිසව ගැබිනිව සිටියදී රජතෙමේ ඇය රජවාසලින් පිටුවහල් කරයි. එම හේතුව මත ගැබිනි බිසව මහවනය මැද තාපසාරාමයක් ආසන්නයේ ඇයට උපන් බිලිඳු දරුවා සමග දිවිගෙව්වාය.

දිනක් සිය බිලිඳා වනරුප්පාවේ ගසක බැඳි තොටිල්ලක නිදමින් සිටියදී බිසව පලවැල නෙලාගෙන ඒම පිණිස වනගතවෙයි. තොටිල්ල තුළ නිදන බිලිඳුන් දුටු වනයේ වෙසෙන වඳුරන් බිලිඳා රැගෙන වනවදී. බිලිඳාගේ දැඩි නිහඬතාවය ගැන සැක පහළවූ තාපසතුමා තොටිල්ල අසලට පැමිණ බිලිඳා ගැන විපරම් කළහ. තොටිල්ලේ දරුවා නොමැති බව දැනගත් තාපසතුමා දරුවා නොමැතිවීම බිසවගේ මහත් ශෝකයට හේතුවක් වනු ඇතැයි සිතා ඊතණ දණ්ඩකින් දරුවකු මවා තොටිල්ල මත තැබූහ.

තොටිල්ලේ සිටි දරුවා රැගෙන ගිය වඳුරෝ දරුවා ආපසු රැගෙනවිත් තොටිල්ල තුළ තැබීමට සැරසීමේදී තොටිල්ල තුළ දරුවකු සිටිනු දැක තොටිල්ල යටින් දරුවා තබා යයි. පලවැල නෙලීමට ගොස් ආපසු පැමිණි බිසව දරුවන් දෙදෙනෙකු සිටිනු දැක මවිතයට පත්ව මෙම සිදුවීම පිළිබඳව තාපසතුමාගෙන් විමසයි. තවුස් තෙමේ තමන් ඊතණ දණ්ඩකින් දරුවකු මැවූ බව බිසවට පවසයි. එය විශ්වාස නොකරන බිසව එසේ නම් තමන් ඉදිරියේ තවත් දරුවකු මවා පෙන්වන ලෙස තාපසතුමාට කියා සිටී. එම අවස්ථාවේ තාපස තෙමේ ආරාමය අසල වූ දර්ශනීය මහනෙල් මල් විලේ ඇති මහනෙල් මලකට තම හස්තය දිගුකොට මහනෙල් මලින් දරුවකු මවා බිසවට පෙන්වයි. මහත් සතුටට පත්වෙන බිසව දරු සෙනෙහසින් යුතුව දරුවන් දෙදෙනාට දෙතනේ කිරිපොවා මලින් උපන් කුමරාට සුළඟිල්ලෙන් කිරිපෙව්වාය. මෙසේ මලින් උපත ලබන කුමරා මල්ල බණ්ඩාර නම්වූ බව උපත් කතාවේ කියැවේ.

ලක්දිව රජවන විජය රජුගේ ඇවෑමෙන් රජකමට පත්වෙන පඬුවස්දෙව් රජුට හටගත් දිවිදෝසය දුරුකිරීමට හැකි එකම සුදුස්සා මලින් උපන් කුමරකු වූ මල්ලරජුන් බව දත් සක් දෙවි මලයරජු මෙරටට ගෙන්වාගැනීමට උපක්‍රමයක් සැලසීමට ඊශ්වර දෙවියන්ට භාර කරයි. ඊශ්වර දෙවියන් මෙම කාර්යය රාහු අසුරේන්ද්‍රයාට පවරයි.

දුනුශිල්පයෙහි අති දක්‍ෂයෙක් වූ මල්ල රජු ලංකාවට රැගෙන ඒමට උපක්‍රමයක් සිතූ රාහු අසුරේන්ද්‍රයා ඌරුවේෂයක් මවාගෙන මුහුද තරණය කර මල්ලරජුගේ මඟුල් උයනට ගොස් මල්ල රජු කුපිත කරවීම පිණිස මඟුල් උයන පාළුකරයි. මෙම අත්භූත ඌරා දැක බියට පත්වෙන උයන් පල්ලා මේ බව රජුට දන්වා සිටියි. මහත් කෝපයට පත්වෙන මල්ලරජුන් තම කිත්සිරි සදළිදු දෙසොහොයුරන් හා පිරිවර දසදහසක්ද සමග මඟුල් උයනට පැමිණ ඌරා අල්ලා ගැනීමට සූදානම් වෙද්දී අදුන්ගිරි පර්වතයක් මෙන් සුවිශාල වූ ඌරා රජුගේ හිසටත් උඩින් පැන වාහල් පවුරු දියඇලි බිඳිමින් මහත් පෙරළියක් කොට උපක්‍රමයෙන් මහනුවර හන්තානේ කන්ද දක්වා මල්ලරජු රැගෙන එයි. ඒ බව කොසඹා දෙවියන් වෙනුවෙන් කියනු ලබන මල්යහන් කවිගායනාවල සඳහන් වන්නේ මේ අයුරිනි.

රාහු ගොසින් මල රටකට එදිනේ
පාළු කරන් මල නිරිඳුගෙ උයනේ
වාරුවකින් ගෙන්වාගෙන මෙදිනේ
බාල නගා බාරයි මල රජුනේ

හන්තානේ වද දෙවිවැඩ උන්නේ
දුන්ආලේ ලොව දුක් දුරලන් නේ
දුන්ආලේ වද කෙළිපුද ගන් නේ
හන්තානේ මල් රජුන් වඩින් නේ

මෙහිදී මල්ලරජුන් විසින් ඌරා වෙත එල්ල කරනු ලබන කඩු පහරින් ඌරා ගල්වූ බවද මල්ලරජ උපතේ කියවේ. පඬුවස් දෙව් රජුට ඇතිවී තිබෙන දිවි දෝෂය පිළිබද මහත් සොවට පත් මල්ලරජුන් වෙත පැමිණෙන සක්දෙවි මල්ලරජුන් මෙරටට ගෙන්වා ගැනීමට වූ හේතුව පවසා කණක, මිණිකණක, මුක්තාභරණ, රත්නපට, හෂ්තවිභීෂණ, අවුල්හැර ආදී සිව්සැටක් අභරණින් මල්ලරජු සරසා පඬුවස් දෙව්රජුන්ගේ දිවිදොස දුරලීමට කටයුතු සම්පාදනය කෙළේය.

උපතිස්ස නුවර රජුගේ මඟුල් උයනේ විසිතුරු රඟමඬලක් සාදවා තැඹිලි තල් පොල් නවසි යනාදියෙන් සහ රඹකැන් තොරණ් බැඳ කොසැඹෑ පිච්ච ගිණිහිරිය මානෙල් ඕලු නෙළුම් සේපාලිකා ආදී මලින් වියන් විසිතුරු රවා ධජ පතාක සේසත් චාමර තබවා විසිතුරු කොට කොසඹා තුන් කට්ටුව ප්‍රධාන වැදිමූලන් සමග සැටපස් මංගල්‍යයක් කොට රජුගේ දිවිදොස් දුරු කළ බව පැවසේ. මෙයින් රජුගෙන් වරප්‍රසාද ලැබූ මල්ලරජු වෙහෙර මහ රජුගෙන්ද තාන්න මාන්න ලැබූ බව උපත් කතාවේ කියවේ.

ඉන්පසු වෙහෙර මහ රජු තම බිසවත් දරුදෙදෙනාත් මාළිගාවට කැඳවා ගත්හ. මෙම වෘත්තාන්තය රාජාවලියේ ලිඛිතව සඳහන් වේ.

වීරමුඛණ්ඩ, මලෙයියකා, කඩවර, වැදියකුන්, ඉරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර, කළුකුමාර, කුඩාගුරු, මහගුරු, අඹරාපොති ආදීන් කොහොඹා දෙවිශාන්ති කර්මයේ පුද ලබන දෙවිවරුන් ලෙස සැලකේ.

මලෙන් උපන් කුමරුන් ලවා කරවූ මෙම ශාන්ති කර්මයේදී වර්තමානයේ උඩරට වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් ඇන්ද බවට පහත කෝල්මුර කවි ගායනාවලින් ද පැහැදිලි වේ.

පළමුව බමුණන් දෙදෙනකු ගෙන්වා
දෙදෙනම පිනිදිය සඳුනෙන් නහවා
නවනරු තබමින් හගළද අදවා
මුදුනට හගළද ගෙනහැර බදවා

හත්තාලේ එක්තාලේ ගන්නේ
ගුර ලගු අක්ෂර දෙක දැන ගන්නේ
උතුම් කුළෙන් බමුණන් ගෙන් වන්නේ
හටගත් දිවිදොස පහකර ගන්නේ

විජයරාජ කතාව නම් පුස්කොළ පොතෙහි සඳහන් වන පරිදි රෝගීව සිටි පඬුවස් දෙව් රජ මඩුව මැද හිඳුවා මලය රජුගේ සිවිලිය (ජටාව) එක බමුණෙකුට පළඳවා තවත් බමුණකුට නවකොළ අත්ත දී යාගකර ආවඩා දිවිදොස දුරුකළ බව පැවසේ. මලය බණ්ඩාර දෙවියන්ගේ ආභරණ ලෙස රන් ජටාව , රුවන් පායිම්පත, රන් රුවන් තෝඩුපත්, රන් නෙත්තිමාලය රුවන් උරබාහු, රන් රුවන් අවුල්හැර රන් රුවන් බුබුළුපටි රන් රුවන් කයි මෙත්ත, රන් රුවන් බන්දි වළලු රන් රුවන් සිලම්බු නිසංසගළ හා බඳින පොට යනාදිය සැලකේ.

මල්ල බණ්ඩාර දෙවියන්ගේ උපත් කතාවේ මල්ල බණ්ඩාර පිරිවර සමගින් මෙරටට පැමිණි අවස්ථාවේ විශාල සේනාවක් එයට හරස් කොට ඇති බවද පැවසේ. එවිට මල්ල බණ්ඩාර සුවිසල් වීර ගසක් දෙපලුකරමින් රට තුළට ඇතුළු වූ බවත් හස්තිශෛලපුර ඊරියගම යක්‍ෂයා දෙකට පලාගෙන පත්තිනි සළඹ කුරුණෑගල වැවට දැමූ බවද විෂ්ණු දෙවියන් සඳහා වූ පොකුණට පණුවන් දමා නැවත එය පිරිසිදු කොට විල්බාවට පැමිණ තල්ගස් දෙකක් ලණුවක් මෙන් අඹරා හාස්කම් පෙන්වූ බවද එයින් දේවත්වයට පැමිණ පඬුවස් නුවර පිහිඕය දේවාලය ප්‍රධාන දෙවොල කොටගෙන වැඩ වෙසෙන බව පැවසේ. (දෙවිවරු ගැන කතා මිස්සක සූරිය බණ්ඩාර) වර්තමානයේ මෙම කොහොඹා යක් ශාන්ති කර්මය විවිධ සමාජ අවශ්‍යතාවයන් මත සකස් වී ඇති බව පෙනේ. කෘෂීකාර්මික ජන සමාජයක ජීවත්වන මිනිසා තම භවභෝග සම්පත් ආරක්‍ෂාකර ගැනීම ඇතිවන්නාවූ අපල උපද්‍රව දුරුකරගැනීම ලෙඩ රෝගාදියෙන් ආරක්‍ෂාවීම සඳහා මල්ල බණ්ඩාර දෙවියන්ට පුදපූජා පවත්වති.

මලින් උපන් මල්ලබණ්ඩාර දෙවියෝ

කලාභූෂණ, විශ්වාභිනන්දන,
සියැනෑ ගෞරව කීර්ති
සරණපාල නුවරපක්‍ෂ.
පූගොඩ – 077 913 9904

advertistmentadvertistment
advertistmentadvertistment