මවක් දරු දෙදෙනාත් රැගෙන චන්ද්‍රිකා වැවට පනී…

380

මව සහ 5 හැවිරිදි දියණිය මියයති

මවක් සිය දරු දෙදෙනා සමග සියදිවි නසා ගැනීමට ඊයේ (01 දා) දහවල් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැන ඇති අතර එහිදී මව සහ පස්හැවිරිදි දියණිය දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියේදී දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ 32 හැවිරිදි මව හා ඇගේ 11 හැවිරිදි පුතු ඇඹිලිපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාව සූරියවැව ප්‍රදේශයේ පදිංචි බවත් ඇය සන්තකයේ රුපියල් 2000ක මුදලක් හා ජංගම දුරකථනයක් තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.

මැය දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන දිවිනසා ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් හෙළිවී නැත.

මැය දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන්න අවස්ථාව දැක ඇති ජිවිතාරක්‍ෂක කණ්ඩායමක් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව බේරාගෙන ඇතත් ඒ වන විටත් දියණිය මියගොස් තිබූ බව පොලිසිය කියයි.

මෙසේ වැවට පැන ඇත්තේ 22/71 සමාජසේවාපුර පරණ ඇඹිලිපිටිය පාර සූරියවැව පදිංචි ඒ සුරංගිකා මධුමාලී නමැති තිස්දෙක හැවිරිදි දෙදරු මවකි. මෙම මව යම්කිසි මානසික ආතතියකින් පෙළෙන තැනැත්තියක් බවත් ඇයගේ සැමියා කුලියට ගවයින් බලා ජීවිතය සරිකර ගන්නා පුද්ගලයකු බවත් පොලිසිය පවසයි. ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිලක් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, කුට්ටිගල – සේන වී ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment