මවගේ ණය බරට පස් හැවිරිදි පුතු දිවිදෙයි – වස පානය කළ මවට සහ දියණියට බරපතළයි

521

මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතු පෙරේදා (01දා) මරණයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි ඒ. ඒ පේෂාන් සචින්ත නමැති 05 හැවිරිදි දරුවෙකි.

වයස අවුරුදු 9 ක් වන දියණියටත් 5 හැවිරිදි පුතනුවන්ටත් වස පානය කිරීමට සලස්වා මවද වස පානය කර ඇති බව නාල්ල පොලීසිය පවසයි.

මවගේ ණය බරට පස් හැවිරිදි පුතු දිවිදෙයි - වස පානය කළ මවට සහ දියණියට බරපතළයි

දියණිය වස කුප්පියෙන් භාගයක් බී ඇති අතර මියගිය දරුවා සම්පූර්ණයෙන්ම වස කුප්පිය පානය කර ඇත. එම අවස්ථාවේදී තම මව ඇද වැටී ඇති අතර සහෝදරියද සිහි මුර්ජා තත්ත්වයෙන් සිට ඇත. මෙය දුටු පිරිමි දරුවා වහාම අසල්වැසි ඥාති නිවසකට ගොස් මේ බව පවසා ඇත.

අසල්වැසියන් පැමිණ මවගේ සහ දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරද්දී වස බී ඇති බව අනාවරණය වී ඇත. එහිදී තමාද වස පානය කළ බව මව අසල්වැසියන්ට පවසා ඇත. වහාම ක්‍රියාත්මක වූ අසල්වැසියන් දරුවන් සහ මව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. මීරිගම මූලික රෝහලට ඇතුළත් කළ මව සහ දරුවන් තිදෙනා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලටත් දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා රෝහලටත් ඇතුළත් කර ඇත.

මව මේවන විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

විවිධ පාර්ශවයන්ට සිදුවී ඇති ණය තුරුස් ගෙවා ගැනීමට නොහැකිවීම මේ සිදුවීමට අසාන්නම හේතුව බව අසල්වැසියෝ පවසති.

ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයෙක් අප සමග මෙසේ පැවසුවේය.

මේ පුතාලගේ තාත්තා ටයිල් වැඩ කරන කෙනෙක්. හරිම අහිංසකයි. අරක්කු සිගරට් බොන්නෙත් නෑ. මම දන්නේ නෑ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචියි නංගි ගොඩක් ණය තුරුස් වෙලා තියෙනවා කියලා. ඒත් අපි දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.

මේ මරණය සම්බන්ධයෙන් නාල්ල පොලීසියේ විශේෂ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ මරණයට ආසන්නම හේතුව වී ඇත්තේ අධික ණය වීම බවයි.

කෙසේ වෙතත් නාල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment