මව්පිය උපස්ථානය සලසයි දෙලොව සහනය

1838

පවුල් සංස්ථාවේ උසස්ම සම්බන්ධය මව්පිය දූදරු සම්බන්ධයයි. එය යුතුකමක්. වගකීමක් අයිතිවාසිකමක් වශයෙන් එකිනෙකට බැඳී පවතී. දරුවන් දෙමාපියන්ට සැලකීම දරුවන්ගේ යුතුකමක් වගකීමක් වන අතර එය ලබා ගැනීමට අයිතියක් දෙමාපියන්ට ඇත. දරුවන්ට සැලකීම දෙමාපියන්ගේ යුතුකමක් වගකීමක් වන අතර දරුවන්ට එය ලබා ගැනීමට අයිතියක් ඇත.

 දරුවන්ගේ අවශ්‍යතා කුඩා කාලයේ සිටම සපුරන්නේ දෙමාපියන් විසිනි. දරුවන්ට ඒවා දීමට අසල්වාසීන් බැඳී නොසිටන අතර අසල්වාසීන්ගෙන් ඉල්ලීමටද නොහැක. දෙමව්පියන්ගෙන්ද ඉල්ලන අතර ඔවුන්ම එය සපුරාලිය යුතුය. එසේ වන්නේ ඒ සඳහා යුතුකම් අයිතිවාසිකම් හා වගකීම්වලින් ඒ දෙපක්ෂයට පැනයා නොහැකි අන්දමින් ඔවුනොවුන් බැඳී පවතින නිසාය. දසමාසයක් කුසදරා ලේ කිරි කර පොවන අම්මාත් සියලු දුක සැප සොයා බලමින් අවශ්‍යතා සපුරාලමින් වර්ධනය කරන තාත්තාත් හැර උතුම් වස්තූන් දෙකක් දරුවන්ට ලොව නැත. දරුවන් වෙනුවෙන් දෙමාපියන් තුළ ඇත ිවන ආදර සෙනෙහස තරම් බන්ධනයක් තවත් නැත. ගතපුරා දිවයන රත්නවර්ණ රුධිරය සුදුවන් කිරණ හැරෙන්නේ ඒ නිසාය. තමා නොකා නොබී සියලු සැප පහසුකම් තම දරුවාගේ පා දූවිල්ලක් බවට පත්කොට දිවි නොතකා දරුවන් ආදරයෙන් සොයා බලමින් හදාවඩා ගන්නේ දරු සෙනෙහස නිසාමය.

 ගෞතම බුදුරජාණන් වහන්සේ මුල් වරට බුදු බව පැතුවේ සිය මව නිසාය. නැගීගිය නැව විනාශ වූ තැන ලෑල්ලක් මත නැඟුණු මහ බෝසතාණන් වහන්සේ මව කරපිට තබාගෙන ගොඩබිමක් තෙරක් නොපෙනෙන මහ සයුරේ දින හතක් නිරාහාරව පිහිනූ බව මාතුපෝෂක ජාතක කථාවේ දැක්වේ. මවු සෙනෙහසේ බලමහිමයෙන් දෙවියන්ගේ ආධාරයෙන් ගොඩබිමට ආ විගසම ආදරයෙන් උතුරා ගිය අම්මා ආසිරි පැතුවේ ලොව්තුරා බුදු බව ලැබේවායි කියාය. “පුතේ උඹ බුදු වෙයන්” කියා කී ඒ වචනය බුදු බව පිණිස කළ මුල්ම ප්‍රාර්ථනාව විය. දරුවන් හා මව්පියන් අතර පවත්නා ආදරය, බැඳීම මෙයින් මැනවින් පිළිබිඹුවේ.

 දරුවන් ජීවිතයට හුරුකරවීමේ මූලික පාඩම  උගන්වන්නේ දෙමාපියන්ය. කන බොන අඳින පළඳින කතා බස් කරන හැටි දරුවන්ට කියා දෙන්නේත් හොඳ නරක දැනමුතුකම් උගන්වන්නේත් නෑ හිතමිතුරන්ට හඳුන්වා දී සමාජයට හුරු කරන්නේත් දෙමාපියන් විසිනි. ඒ නිසා දෙමාපියන් ‘පුබ්බාචරිය” නමින් හඳුන්වයි. පූර්වාචාර්ය හෙවත් මුල්ම ගුරුවරු යනු එහි අර්ථයයි. ‘මෙත්තා, කරුණා. මුදිතා, උපේක්කා” යන සතරවිධ මහෝභාවයන් මහාබ්‍රහ්ම ප්‍රජාව දෙස යොමුකරවයි. මේවා සිව් බඹ විහරණ නමින් හඳුන්වයි. දරුවන් වෙනුවෙන් දෙමාපියන් තුළ ද මේ සිව් බඹ විහරණය අඛණ්ඩව පවතින බව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. මේ නිසා දෙමාපියන් දරුවන්ට බ්‍රහ්මයකු වැනිය. “බ්‍රහ්මාති මාතා පිතරෝ”

 දක්ෂිණාව පිරිනැමීමට නියම සුදුස්සෝ නම් බුදු, පසේ බුදු, මහ රහත් ආදී කෙලෙස් නැසූ උත්තමයන්ය. දරුවන් දෙන දක්ෂිණාව පිළිගැනීමට දෙමාපියන් සුදුසු බව දේශනා කරන බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් ‘දක්ඛිණ්‍යෙය’ යන වචනයෙන් හඳුන්වන අතර ඒ කාර්යයේදී දෙමාපියන් බුද්ධාදී උතුමන්ගේ තත්ත්වයට පත් කරයි. දෙමාපියන්ගේ ශ්‍රේෂ්ඨ බව තේරුම් ගැනීමට වඩාත් වැදග් වන කරුණක් තිබේ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකු මැරීම ප්‍රාණඝාත අකුසල කර්මයකි. ඉන් ලැබෙන විපාක බරපතළම අකුසල විපාක නොවිය හැක. සමහර විට එම විපාක අංගුලිමාල හිමියන්ට මෙන් නොලැබී යෑමටද ඉඩ ඇත. එවන් සුළුකොට තැකිය හැකි ප්‍රාණඝාතය දරුවන් වෙනුවෙන් ලොව ඇති බරපතළම අකුසල කර්මය බවට පත්වේ. මවුපියන් මැරීම ආනන්තරීය පාපයක් ලෙස දක්වා ඇත. මියගිය මොහොතේම අවීචි නිරයේ උපත ලබන්නට සිදුවෙයි. ආනන්තරීය පාපකර්ම පහක් පෙන්වන බුදු සමය නියත වශයෙන්ම එහි විපාකය ඊළඟ භවයේදී අපාගතවීම වන අතර එය වැළැක්වීමට බුදුවරයකුටත් කළ නොහැකි මහතද්ගත අකුසල කර්මයකි. රහතන් වහන්සේ නමක මැරීමත්, දෙමාපියන් මැරීමත් අතර කිසිදු වෙනසක් නැත. දෙකටම ලැබෙන්නේ සමාන විපාකය. එහෙත් ඒ දෙමාපියන් අන් අයෙකු මරණ ලද්දේ වී නම් එය ආනන්තරීය අකුසල කර්මයක් නොවේ. මෙවන් ශ්‍රේෂ්ඨත්වයට පත් දෙමාපියන්ට දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇත. එම යුතුකම් ඉටුකිරීමට දරුවන් බැඳී සිටින අතර ඒවා ලබා ගැනීමේ අයිතිය මවුපියන්ට ඇත.

 1. වයස්ගත දෙමාපියන් පෝෂණය කොට රැක ගැනීම

 2. දෙමාපියන්ගේ සියලු අවශ්‍යතා කටයුතු ඉටුකිරීම

 3. කුල පරපුර පවත්වාගෙන යෑම

 4. දායාද රැක ගැනීම

 5. දෙමාපියන් මියගිය පසු පිං අනුමෝදන් කිරීම

 දෙමාපියන්ට මෙම යුතුකම් ඉටුකිරීමට මානව ධර්මයෙන් මෙන්ම නීතියෙන්ද දරුවෝ බැඳී සිටිති. ඒවා දරුවන්ගෙන් ලබා ගැනීමට අයිතියක් දෙමාපියන්ටද ඇත. කුඩා කාලයේ සිට කවා පොවා රැකගෙන උගන්වා හොඳ පුරවැසියන් කර අවාහ විවාහාදියද සිදුකර දුන් දෙමාපියන් වයස් ගත වූ පසු රැකබලා ගැනීමේ විශේෂ අයිතියක් දරුවන්ට ඇත.

 දරුවන්ගෙන් සැළකිලි වන්දනා මාන ලබන්නට දරුවන් දෙමාපියන්ට නම්‍යතාවක් ඇතිවීමටත් හැකිවන පරිදි දෙමාපියෝ සුදුස්සන් විය යුතුය. මාතෘත්වයේ සහ පීතෘත්වයේ ගෞරවය රැකෙන පරිදි පැවැත්ම සකසා ගත යුතුය. දරුවන් මොළොවට බිහි කළ පමණින් කවා පොවා හදාගත් තරමින් එය සම්පූර්ණ නොවේ. මවුපියන් ඊට වඩා වැඩිමනත් දෙයක් කළ යුතුප ඇත.

 1. දරුවන් පාපයෙන් වැළැක්වීම

 2. දරුවන් යහපතෙහි යෙදවීම

 3. දරුවන්ට ඉගැන්වීම

 4. සුදුසුම කාලයේ අවාහ විවාහ කරදීම

 5. තමන්ට අයත් ධනය සම්පත් නිසි කල නිසි ලෙස පවරා දීම

 බුදු සමය පෙන්වා දී ඇත. මව්පියන් විසින් දරුවන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු පිළිවෙළ දහමේ දක්වා තිබේ.

 තස්මාහි තෙ නමස්සෙයය
 සක්කරෙය්‍යාථ පණ්ඩිතො
 අත්තේන අථ පාහේන
 වත්ථේන සයනේනච
 උච්ඡාදනේන නහාපනේන
 පාදනා ධෝවනේනච

 මවුපියන්ට දරුවන් නමස්කාර කළ යුතුය. ආහාරපාන, සයන ආදියෙන්ද ඇඟ ඉලීමෙන්, නෑවීමෙන් පා සේදීමෙන් සත්කාර කළ යුතුය.

 මව්පියන් දරුවන්ට කළ උපකාර ලෝකයේ කිසිවකු කර නැති බැවින් දරුවන් මව්පියන්ට ණය කාරයෝය. එම ණයින් නිදහස්වීම එතරම් පහසුද නැත. එම ණයෙන් යම් පමණින් නිදහස් වීමට නම් දරුවන් මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සීල සම්පත්තියෙහි ත්‍යාග සම්පත්තියෙහි, ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවා ප්‍රත්‍යුපකාර කළ යුතුමය. මව්පියන් ළඟ යම් කිසි අඩුපාඩුවක් වරදක් ඇතිනම් දරුවන් ඒවා ඉවසීමෙන් මව්පියන්ට සත්කාර කළ යුතුය.

 යමෙකු මව පියා ධර්මයෙන් පෝෂණය කරයිද, ආහාරපානාදියෙන් පෝෂණය කරයිද, ඔවුන් විසින් කළ යුත්තක් පැමිණි කල්හි එය තමාම කර දෙයිද අසනීපයකදී බෙහෙතින් උපස්ථාන කරයිද හෙතෙම මෙලොවදීම සමාජයේ ප්‍රශංසා ලබයි. ගෞරව ලබයි. මරණින් මතු දෙව්ලොව ඉපිද දිව සැපතින් සතුටු වෙයි.

 යමෙකු මව්පියන්ට උපස්ථාන කිරීමට පුළුවන්කම තිබියදීමත් උපස්ථාන නොකර සිටීනම් එම දරුවන් මෙලොව පරලොව පරිහානිය වැළඳගත්තෝ වෙති. දෙමාපියන්ට සැළකීම මංගල කරුණක් අතරින් එකක් වන අතර එය සතර අපායට ගමන් කරන මග වළක්වන කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනාකොට ඇත. හොඳ දරුවෙකු තැනීම දරුවාගේ මව්පියන්ටත් සෙසු ලෝකයටත් යහපත පිණිසම පවතින්නේය.

දඩගල්ල, වාලුකාරාම වෙහෙරවැසි, ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment