මවුපිය සෙනේ අහිමි 11 මසැති දැරියට රෝහලේදී කන් විද කරාබු දමයි

320

දුවේ…. නුඹ අපෙ ප‍්‍රාණයයි… දුක දිනා හිනැහියන් හෙට දිනේ…

දස මසක් තම කුස තුළ හොවා ගෙන සිට ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දී දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු මව විසින් හැර දමා ගිය ගැහැණු දරුවෙකු වෙනුවෙන් නැකතට කන් විදීමේ චාරිත‍්‍රය කන්තලේ මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකර මව්පියන්ගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කිරීමේ සංවේදී මිනිස් සත්කාරයක් පෙරේදා (13* වාර්තා විය.

මේ වනවිට මාස 11 ක් සම්පූර්ණ කර ඇති දැරිය රෝහලේ දමා මව පැන ගොස් ඇති අතර දැරිය ත‍්‍රිකුණාමලය ළමා නිවාසයක භාරකාරත්වයට පත්කර ඇත. මීට දින 10 කට පමණ කලින් සිඟිත්තියට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් ළමා නිවාසයේ භාරකාරිත්වය ද සමග කන්තලේ කෝවිඞ් ප‍්‍රතිකාර රෝහලට ඇතුළත් කර ඇත.

සුව අතට පත්වෙමින් සිටින සිඟිත්තියගේ කන් විද නොමැති බව දැනගත් රෝහල් කාර්ය මණ්ඩලය අවුරුද්දක් සම්පූර්ණ වීමට මත්තෙන් එය සිදුකළ යුතු හෙයින් රෝහල් වාට්ටුව තුළදීම එය සම්පූර්ණ කර තෑගි බෝග ද ලබා දී චාම් උත්සවයක් ද පැවැත්වීමට අමතක නොකළා ය.

රෝහල් අධ්‍යක්ෂ මෙලින්ටන් කොස්තා මහතාගේ මඟ පෙන්වීම මත අංක 7 වාට්ටුවේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කරාබු ජෝඩුවක් හා තෑගි බෝග ලබා දීමට පිරිවැය දරා තිබුණි.

මනුස්සකම සාරධර්ම බිංදුවටම සිඳී ගොස් ඇති මෙවන් කාලයක මෙවැනි සත්ගුණවත් උතුම් කාර්යයක් කෙරෙහි තම සිත් යොමු කිරීම ගැන කන්තලේ ප‍්‍රදේශවාසීහු මේ සුව විරුවන්ට තම ප‍්‍රණාමය පුද කර සිටිති.

කන්තලේ ඩබ්.එම්.වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment