මව පන්සලට භාරදුන් හත් හැවිරිදි සාමණේර හිමි ඉල්ලා පියා උසාවි එයි

304

උසාවියේ නඩුවක් පවරා භාරකාරත්වය ගන්න – කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය

මව විසින් උතුරු කළුතර උග්ගල්බඩ ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයකට භාරදෙන ලදුව පැවිදි කර සිටි 07 හැවිරිදි සාමණේර හිමි නමක් ඉල්ලමින් පියා ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය දිසා අධිකරණයේ නඩුවක් පවරා තම දරුවාගේ භාරකාරත්වය ලබා ගන්නා ලෙස එම පියාට නියම කළේය.

තිස්සමහාරාම ප‍්‍රදේශයේ ගම්මානයක පදිංචිකරුවකු වූ මෙම දරුවා මවගේ ලිඛිත කැමැත්ත මත විහාරස්ථානයට භාරදී තිබූ අතර තවත් සාමණේර හිමිවරුන් 15 දෙනකු පමණ එම විහාරස්ථානයේ පැවිදිව සිටින බවත්, ඉන් පස්නමක්ම මෙම දරුවා පදිංචි ගම්මානයේම පදිංචිකරුවන් බව අනාවරණය විය.

දරුවෙකු විහාරස්ථානයට භාරදීමේදී මව හා පියා යන දෙදෙනාම කැමැත්ත ප‍්‍රකාශ කළ යුතු වුවද මෙම දරුවා විහාරස්ථානයට භාරදී තිබුණේ මවගේ කැමැත්ත මත පමණි.

මීට අදාළ සියලූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය දිසා අධිකරණයේ නඩුවක් පවරා දරුවාගේ භාරකාරත්වය තීරණය කරගත යුතු බව ප‍්‍රකාශ කළ අතර එතෙක් සාමණේර හිමිනම අදාළ විහාරස්ථානය භාරයේම තබන ලෙස නියම කළාය.

උතුරු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිල්වා මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment