මව මරු කටින් ගළවද්දී පියාට දිවි අහිමිවෙලා!

566

හබයට මැදි වූ පුතා අත්අඩංගුවට…..

අඹු සැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු පහරකෑමට ලක්වූ 48 හැවිරිදි තිදරු පියෙකු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (15 දා) අලුයම මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව, වැවේතැන්න පන්සල පාර, අංක 251/3 ලිපිනයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු වන කොටුවේ ගෙදර ඉන්ද්‍රකුමාර (48) යන අයයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉකුත් 14 දා රාත්‍රී 10.30ට පමණ සිය බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ එතැනට පැමිණි මියගිය අයගේ පුත්‍රයා බව කියන 17 හැවිරිදි තරුණයකු එම යකඩ පොල්ල උදුරාගෙන පහරදී ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. එම පහරකෑමෙන් බරපතළ තුවාල ලබා ඇති පියා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (15 දා) අලුයම 4.10ට පමණ මියගොස් ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු කියති. එම පහරදීම සිදුකළ බව කියන මියගිය අයගේ පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය. පොලොන්නරුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment