මසකට ආහාර ටොන් ලක්ෂයක් විසිකරයි

402

ජනතාවගේ නොසැලකිලිමත් බව නිසා ශී‍්‍ර ලංකාවේ දිනකට අනුභව කළ හැකි තත්ත්වයේ පවතින ආහාර මෙටි‍්‍රක් ටොන් 3963 ක් පමණ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම ආහාරවලින් ටොන් 353 ක පමණ ප‍්‍රමාණයක් කොළඹ නගරයෙන් දිනකට කසළ ලෙස බැහැර කරන බව ද එම සමීක්ෂණයට අනුව වාර්තා වේ.

ඒ අනුව මසකට මෙරට ආහාර ටොන් ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක් අපතේ යන බව හඳුනාගෙන ඇත.

මෙරට නාගරික ආහාර අපතේ යෑමේ අභියෝගයට මුහුණ දීම පිණිස, ගෘහාශි‍්‍රත, ආහාර සේවාමය, සිල්ලර වෙළෙඳාම සහ තොග වෙළෙඳාමේ නාගරික ආහාර අපතේ යෑම පිටුදැකීම සහ අවම කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශය උදෙසා කෙටුම්පත් කරන ලදී. සාක්ෂි පදනම් කරගත් ක‍්‍රමෝපායන් සහ ඵලදායී ලෙස රටේ ආහාර අපතේ යෑම පාලනය කිරීම සඳහා වන දැක්මකින් යුතුව මෙම කි‍්‍රයාකාරි සැලැස්ම සකසා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, 2019 ජුනි මාසයේදී, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සමග එකතුව කි‍්‍රයාත්මක කරන ලද, FAO හී තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක් හරහා ජාතික මාර්ගෝපදේශය අදාළ සැකසීම සඳහා අරමුදල් සහ තාක්ෂණික සහාය පිරිනමන ලදී.

ගෘහාශි‍්‍රත, ආහාර සේවාමය, සිල්ලර වෙළෙඳාම සහ තොග වෙළෙඳාමේ නාගරික ආහාර අපතේ යෑම පිටුදැකීම සහ අවම කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සමග ශී‍්‍ර ලංකාව සහ මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් යන මහත්වරුන්ගේ සහයෝගයෙන් යුතුව කොළඹදී දියත් කෙරුණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment