මසකට කෝටි 25 ක අතිකාල දීමනා අරන්: ඛනිජ තෙල් සේවක අතිකාල සීමා කරයි

460

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල සීමා කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට පැය 75 ක් දක්වා අතිකාල සේවයේ නිරත වීමේදී කාර්යාංශ ප‍්‍රධානියාගෙන් හෝ අනු කාර්යංශ ප‍්‍රධානියාගෙන් අවසර ගත යුතු බවට කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා චක‍්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටී.

පැය 75 ත් පැය 150 ත් අතර අතිකාල සේවයේ නිරත වීමේදී පිරිපහදු කළමනාකරුගේ හෝ නියෝජ්‍ය කළමනාකරුගේ අවසරය ලබාගත යුතු අතර පැය 150 ට වඩා වැඩි කාලයක් අතිකාල සේවයේ නිරත වන්නේ නම් කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ හෝ සභාපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුව ඇත. විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ මූලික වැටුපෙන් සියයට විසිපහක සීමාවකට අතිකාල අඩුකර ඇත.

තෙල් සංස්ථාවේ ආධුනික කම්කරු සේවකයකුගේ (C-6) මූලික දළ වැටුප රුපියල් 58,500 කි. එවැනි සේවකයකුට අතිකාල පැයක් සඳහා රුපියල් 1000 ක පමණ මුදලක් ගෙවන අතර සංස්ථාවේ සෑම සේවකයකුම අවම වශයෙන් මසකට පැය සියයක්වත් අතිකාල සේවයේ නිරත වන බව වෘත්තීය සමිති කියයි. ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන් අතිකාලත් සමග මසකට රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි වැටුපක් ලබන අතර රාති‍්‍ර කාලයේදී කාර්යාල පරිශ‍්‍රවල රැුය පහන් කරන රියැදුරන්ද මසකට අතිකාල පැය 200 ත් 300 ත් අතර කාලයකට අදාළව දීමනා ලබා ගන්නා බවද ඔවුහු හෙළිකර සිටිති. මේ අනුව ගත්කල තෙල් සංස්ථාවේ හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්) යටතේ සේවය කරන සේවකයන් සඳහා ඉකුත් මාසවලදී මසකට රුපියල් කෝටි 25 ක් බැගින් අතිකාල දීමනා ලබාගෙන ඇතැයි ගිණුම් අංශ වාර්තා තහවුරු කර ඇත.්

වත්මන් ආර්ථික තත්ත්වය මත ඉකුත් දින පැවැති කළමනාකරණ රැුස්වීමේදී ගත් තීරණ මත ලබන 01 වැනිදා සිට අතිකාල සේවයේ නිරතවීමේදී ඊට අනුමැතිය ලබාගත යුතු බවට දැනුම්දී තිබේ. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කළමනාකරණ රැස්වීම පවත්වා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment