මහඉලුප්පල්ලමේ මහා විලාපය : කෘෂිකර්මාන්තයට දෙයියන්ගෙම පිහිටයි!

506

‘දිවයින’ අනාවරණය කරයි

අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීර්ණය මහජන මුදල් කාබාසීනියා කරන ආයතන බවට පත්කර ස්වාභාවිකව මරණයට පත්කර ඇති බව ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරයි.

මහඉලුප්පල්ලම රජයේ ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීර්ණය නිරීක්ෂණය කරමින් ඔවුන් මේ බව පැවසීය.

ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය (උප ඒකකය), බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු උප කාර්යාලය ඇතුළු කෘෂි සංකීර්ණය මහඉලුල්පල්ලම නගරයේ පිහිටා ඇත. මෙම ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ගොවිජන එකමුතුවේ නිලධාරීන් පිරිසක් හා සත්ව නිෂ්පාදන එකමුතුවේ නිලධාරීන් පිරිසක් පසුගිය (19දා) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ඔවුන් ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර, එහි සේවකයන් සමඟද ආයතනයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඒ අවස්ථාවේදී එහි පැමිණි ආරක්ෂක නිලධාරීන් යැයි පැවසූ පිරිසක් මාධ්‍යවේදීන්ට හා ජාතික ගොවිජන එකමුතුවේ පිරිසට කියා සිටියේ ඡායාරූප ගැනීම සිදු නොකරන ලෙසයි. ගොවිපළ කළමනාකරු මෙහි ඡායාරූප ගැනීමට නොදෙන ලෙස පැවසූ බව එම නිලධාරීන් පැවසීය. එවිට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති කියා සිටියේ මේවා රජයේ දේවල්, මේවායේ රහස් දේවල් තියෙන්න බෑ, ගොවිපළ කළමනාකරුට එන්න කියන්න අපිව හම්බෙන්න කියලා යැයි පැවසීය.

මහඉලුප්පල්ලමේ මහා විලාපය : කෘෂිකර්මාන්තයට දෙයියන්ගෙම පිහිටයි!
පාළුවට ගිය මහඉළුප්පල්ලමේ ගොවි පර්යේෂණායතනයේ දිරාගිය ගොඩනැගිලි

අනතුරුව ගොවිපළ කළමනාකරු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති හා සම්බන්ධ වූ අතර, එහිදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා විමසා සිටියේ අපිට මේක බලන්න බැරිද? ඔබතුමා මෙතන්ට එන්න අපිට මේක පෙන්වන්න. අපි මේකේ කිසි දෙයක් හොරකම් කරන්න ආවේ නෑ, අපි මේක බලන්න ආවේ.

එහිදී ගොවිපළ කළමනාකරු කියා සිටියේ ආයතන ප්‍රධානියාගෙන් අවසර අරගෙන එන්න, එතකොට බලන්න පුළුවන් යැයි පැවසීය.

මේවා මුඩු බිම්, මේවා රටට ජනතාවට අනාවරණය කරන්න ඕන, මේවා මහජන මුදල්, මේවා අනාවරණය වෙන නිසාද බලන්න එපා කියන්නේ, අපි ඔබතුමාට බය නෑ, අපි මේක කරනවා යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පැවසීය.

එ අනුව ඔවුන් ගොවිපළ භූමිය නිරීක්ෂණය කළහ, ගොවිපළ භූමියේ වැටවල් වන අලින් කඩා ඇති අයුරු, ඵළ නොදරන පොල්, අඹ ගස් හා වගා නොකර කැලෑවට යට වූ වගා බිම්, වගාවන් සිදු නොකර විනාශ වෙමින් යන දැල් ගෘහ, වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගරා වැටෙමින් පවතින සේවක නිළ නිවාසයන් දැකගත හැකි විය.

මහඉලුප්පල්ලමේ මහා විලාපය : කෘෂිකර්මාන්තයට දෙයියන්ගෙම පිහිටයි!

නිරීක්ෂණයෙන් අනතුරුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

මහඉලුප්පල්ලම කෘෂිකර්ම හදවතක්. අද අපි ලංකාවේ ප්‍රධානම ගොවිපළක් වන මහඉලුප්පල්ම ගොවිපළ නිරීක්ෂණය කළා, කියන්න කනගාටුයි මේක තමයි කෘෂිකර්මයේ හදවත, බීජ පර්යේෂණ ආයතන, භෝග පර්යේෂණ ආයතන, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ඇතුළු සියලු දේවල් මෙතන කරනවා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උප විශ්වවිද්‍යාලයකුත් මෙහි තියෙනවා. පටන් ගන්නේම මානා, ඉලුක් වැවිලා තියෙන ස්ථානයකින්, අපි ගොවිපළ භූමිය පුරා සංචාරය කළා, අපිට දැනගන්න ලැබුණ විදිහට අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා, දැන් ඒ සම්පූර්ණ ප්‍රමාණයම නැතත්, ගොඩනැඟිලි සම්පූර්ණයෙන් ගරා වැටිලා, වගා කරන භූමි ප්‍රමාණය ගත්තාම බොහෝම සුළු ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන්නේ, අඩමු ගණනේ අපි දැක්කේ නෑ අක්කර 50 ක්වත් වගා කරලා තියෙනවා. මේ ආයතනයේ සේවය කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් රටටම කියනවා වගා කරන්න කියලා හැබැයි මේකේ වගා කරලා නෑ, බීජ පර්යේෂණ භූමි, බීජ ගොවිපළවල් අපි දැක්කේ නෑ, ඒ නිසා මේ පිළිබඳව අදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමු වෙන්න ඕන. සේවක නිළ නිවාස 200 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා සම්පූර්ණයෙන් පොළවට සමතලා වෙන්න ආසන්නයි. අද බීජ ගේන්නේ පිටරටින්, අපිට හිතෙනවා මේ ආයතනවල වැඩ කරන ඉහළ නිලධාරීන් බීජ ගෙන්වන ආයතනවල අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්ද කියලත්. දැල් ගෘහ විශාල ප්‍රමාණයක් මෙහි තියෙනවා, ඒවා සියල්ලම කැලේට වැහිලා. ඒවායේ වගාවන් කරලා නෑ, මේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ඇමැතිවරු හිටියා, ආණ්ඩුවේ වගකීම් භාර ප්‍රධාන ඇමැතිවරු විදිහට එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක වගේ අය හිටියා හැබැයි මේවා ගැන අවධානයක් යොමු වෙලා නෑ, අපි එදා දැක්කේ එම්. අයි. 1, එම්. අයි 2 මිරිස් බීජ හැබැයි අද පිටරටින් බීජ ගෙන්වන්නේ, ඔය ඇමැතිවරු ඇවිල්ලා නිලධාරීන් දෙන කේක් කෑල්ල කාලා, තේ එක බීලා යන්න නෙමෙයි මේ ගොවිපළේ ඇවිදින්න,

මහඉලුප්පල්ලමේ මහා විලාපය : කෘෂිකර්මාන්තයට දෙයියන්ගෙම පිහිටයි!
ගොවි සංවිධානයේ නියෝජිතයන් වන අනුරාධ තෙන්නකෝන්, උපාලි ඒකනායක, සුජීව ධම්මික යන අය අදහස් දැක්වූ අයුරු

ජාතික ගොවිජන එකමුතුවේ උප සභාපති, එච්.එම්. උපාලි ඒකනායක මහතා,

අද මහඉලුප්පල්ලම ගොවිපළ අද අපි නිරීක්ෂණය කළාම ගොවියෝ හැටියට අපිට කඳුළු එනවා, ඇත්තටම අනාගත පරම්පරාවට හිමිකම් තියෙන වටිනා ස්ථානයක් හිස් බිමක් බවට, ගරා වැටිච්ච නගරයක් බවට පත් කරලා තියෙනවා.මේ ස්ථානය දියුණු කරලා ලංකාවට අවශ්‍ය බීජ නිෂ්පාදනය කළ හැකියි. නමුත් මේ තැන් කඩා වට්ටලා පිටරටින් බීජ ගෙන්වන කුමන්ත්‍රණවලට තමයි මේ සෘජුව හා වක්‍රව කටයුතු කරන්නේ. ලංකාවට විදේශ විනිමය නෑ කියනවා නමුත් අද වන විට බිලියන 700-800 ක් වියදම් කරනවා ලංකාවට අවශ්‍ය බීජ ගෙන්වන්න. මහඉලුප්පල්ලම ආයතන සුදු අලි. මේවායේ පරිපාලනය වෙනස් කළ යුතුයි. මේ ආයතනය හරහා ගොවියෝ පුහුණු කරන්නේ නෑ, පාසල් දරුවන්ට බලන්න දෙයක් මෙහි නෑ, මේ අපි කියන දේ බලලා හිනා වෙන්න නෙමෙයි, ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමැති විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම මේ ගැන හොයලා බලන්න. ඉදිරි සතියේ එන්න මහඉලුප්පල්ලමට, අපිටත් ආරාධනා කරන්න අපි පෙන්වලා දෙන්නම් අඩුපාඩු.

මේ ආයතන තිබ්බට අලුත් බීජ ප්‍රබේද හොයාගෙන නෑ, පරණ තිබුණ එම්.අයි 1, එම්.අයි 2 මිරිස් ප්‍රභේදයම තමා තාමත් තියන්නේ, මේක වටේ ඇවිද්දාම තියෙන්නේ එම්.අයි 2 මානා, එම්.අයි 2 මාරා, එම්.අයි 3 තේක්ක. අඹ ගහක ගෙඩියක් නෑ, අවුරුදු ගණනකින් අඹ ගහක් කප්පාදු කරලා නෑ, මේවායෙන් පඩි ගන්න අය මේ රටට බරක්, අපිත් ආරාධනා කරන්නේ ගොවි මහත්වරුන්ට මේ වෙනුවෙන් හඬක් නඟමු කියලා.

සත්ත්ව නිෂ්පාදන එකමුතුවේ කැඳවුම්කරු, සුජීව ධම්මික මහතා –

මේ අක්කර ගණනක වපසරියේ බඩඉරඟු වගා කරන්න හිතලාවත් නෑ, සතුන්ට ආහාර හිඟයක් තියෙනවා. මෙහි ඉන්නේ කැහැටු වුණ හරක් ටිකක් පමණයි. සත්ත්ව පාලනය කියන්නේ මහා පුළුල් විෂයක්, එළුවෝ බැටලුවෝ, මී මැසි පාලනය මෙහි කලින් තිබුණත් දැන් ඒ සත්තු නෑ, කියන්න කනගාටුයි නිළ නිවාස 250ක් පමණ නිළ නිවාස අබලන් වෙලා තියෙනවා. මේ නිළ නිවාස ප්‍රතිසංස්කරණ කරලා මේ ආයතන දියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ ඇයි, මේවා මෙහෙම ගරා වැටෙන්න ඇරලා මේවා විදේශ සමාගම්වලට විකුණා දැමීමට ද මේ පාර කපන්නේ කියලා අපි අහන්න කැමතියි.

මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපළේ අධ්‍යක්ෂ කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ,

තවම අපි මාස් කාන්නයට වගා කරලා නෑ, ඒකයි කිසිම වගාවක් තාම නැත්තේ, වගා කළ හැකි අක්කර 175 ක භූමිය අපි වගා කරනවා, ගොඩනැඟිලිත් එක්ක තමයි සම්පූර්ණ අක්කර 800ක් මෙහි තියෙන්නේ, අපිට නිලධාරීන් හිඟයක් තියෙනවා, අවුරුදු 10 කින් නිලධාරීන් බඳවාගෙන නෑ, එහෙම තියෙද්දී අපි මේ ආයතනය බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ, ඒ වගේම නිළ නිවාස වසර ගණනක් භාවිත නොකළ නිසා හානි වෙලා තියෙනවා. කොටසක් කඩා ඉවත් කළා, කොටසක පදිංචියි, භාවිත කිරීමට නොහැකි නිවාස තවත් 30 ක් විතර තියෙනවා. ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව තමයි තීරණ ගන්නේ.

මට ආරංචි වුණා කට්ටියක් ඇවිත් ෆොටෝ ගහගෙන ගියා කියාලා, ඒ අය නොදැන තේරුමක් නැතිව කරන චෝදනාවලට උත්තර දෙන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා. අපි නව බීජ ප්‍රභේද රැසක් හඳුන්වලා දීලා තියෙනවා, බඩඉරිඟු, උඳු, මුං ඇට, ලූනු වගේ දේවල් හදනවා. මේ අය මේ විදිහට මොන අරමුණින් චෝදනා කරනවාද කියලා අපි දන්නේ නෑ, අපි වගා කරන්නේ නෑ කියලා මේ ඉඩම් ගන්නද දන්නේ නෑ මේ හදන්නේ, මෙතෙක් කල් වගා නොකළ අක්කර 25 ක් අපි තල හා බඩඉරිඟු වගා කරන්නත් ආරම්භ කරලා තියෙනවා යැයි කීවාය.

තිසර සමල් – අනුරාධපුර, මකුලෑව එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment