මහඑළිය රක්‍ෂිතයේ මැණික් ජාවාරමක්

105

මෙහෙවන්නේ දේශපාලනඥයෙක්

මහ එළිය රක්ෂිතය මහ දවාලේ විනාශ කරමින් තිබේ. කාලයක් දැව ජාවාරමුන්ගේද මස් වැද්දන්ගේද ගොදුරු බිමක් බවට පත්ව පැවති එය දැන් මැණික් ජාවාරමුන්ගේ ජාවාරම් භූමියකි. රක්ෂිතය තුළට හොර රහසේ වැදුණු මැණික් ජාවාරම්කරුවන් වතු කම්කරුවන් 400 ක් 500 ක් තරම් විශාල සංඛ්‍යාවක් යොදාගෙන මේ විනාශය සිදුකරමින් තිබේ. මහ දවාලේ සිදුවන මේ අකටයුත්ත ගැන පසු ගිය සතියේ විවිධ පුවත් පළ වුවත් එය එතැකින් නොනැවතෙන්නක් බව දැනගන්නට තබේ. ඒ තරමට සංවිධානාත්මකව සිදුවන මේ මැණික් ජාවාරම පිටුපස සිටින්නේ පළාත නියෝජනය කරන ප්‍රබල දේශපාලකයෙක් බවත් ඔහු පිළිබඳ නාමිකව තොරතුරු ලබා දීමට බිය වන බවත් මේ ගැන දිවයින කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි. මහ එළිය රක්ෂිතය පිළිබඳ නිතර අවධානයෙන් සිටින පරිසර සංවිධාන දීර්ඝ කාලයක සිට සිදුවන මේ විනාශය පිළිබඳ දක්වන අදහස් එහි සිදුවන විනාශයේ තරම කියාපාන්නකි.

“ඇත්තටම පසුගිය මාස කිහිපයේම සෑම සතියකට වරක් ම මහඑළිය රක්ෂිතයේ මැණික් වෙළඳාමේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුණා. හැබැයි අත්අඩංගුවට පත්වෙන්නෙ එක්කෙනයි දෙන්නයි. රක්ෂිය ඇතුළේ වතු කම්කරුවන් හාරසීයක් පන්සීයක් විතර හොරට පතල් හාරන වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් ගත්ත කියල මේ මහා පරිමාණ ජාවාරම නවතින්නෙ නෑ. මෙක තනිකරම ජනතාව රවටන දේශපාලන අධිකාරිය සම්බන්ධ හැංගිමුත්තං වැඩක්” යැයි පරිසරවේදීහු පවසති.

“මේ මැණික් ගැරීම් සියල්ල පිටුපස දේශපාලන ප්‍රබලයන්ගේ හස්ති ක්‍රියාත්මක වනවා” එසේ කියන්නේ මහ එළිය අවට ජීවත්වෙන මිනිසුන්ය. ඒ දේශපාලන හස්තය කවුරුන්ද යන්න ඔවුන් හොඳ හැටි දැනුවත්ය. එය තමන්ගෙ පළාතේ ප්‍රසිද්ධ රහසක් බව කියන්නේ ගම්මුය.

“සමහර තැන්වලට දේශපාලකයන් සෘජුව සම්බන්ධ වෙලා ඉන්නවා, බහුතරයක් තැන් වලට ඔවුන්ගේ ගෝලබාලයන් සම්බන්ධ කරලා තියෙනවා. හැමතැනින්ම මැණික් ගරනවා කියලා ආරංචි වුණ ගමන්ම අහුවෙන්නේ දෙන්නයි තුන්දෙනයි. ඒ අහුවෙන අයත් මේ ජාවාරමේ මහ ව්‍යාපාරිකයෝ නෙවෙයි. ඒ අය නිකන් බිලි බෝයිලා වගේ අය. කොහොම හරි ඒ ගන්න දෙන්නත් අන්තිමට ඇප අරන් එළියට ගන්නවා. ඒ අතරේ රක්ෂිතයේ කෙරෙන මැණික් ගැරීම දිගටම කෙරෙනවා. ඔහොමයි මේ විනාශය දිගටම යන්නෙ.” එසේ කීවේ නම හෙළිකිරීමට අකැමැති ප්‍රදේශවාසියෙකි.

මීට මාසයකට ඉහතදීද මහ එළිය රක්ෂිතයේ මැණික් ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් 19 දෙනෙක් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනිණි. මස්කෙළිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කල්එළිය රක්ෂිතයේ සිදුකළ වැටලීම් තුනකදී මේ පිරිස අත්අඩංගුවට පත් වූ බව එවකට පුවත්පත් වාර්තා කර තිබිණි. ඒ වනවිටත් එම රක්ෂිතයට අයත් භූමියේ අක්කර 25 ක භූමියක් මෙම ජාවාරමුන් විසින් මැණික් සොයා විනාශ කර දමා තිබිණි. වර්තමානය වනවිට එම විනාශය තවත් දරුණු අතට පත්ව ඇතැයි පරිසරවේදීහු කියති.

“දැන් මේක වතු කම්කරුවන් පිරිසකගෙ රැකියාවක් බවට පත්වෙලා. බලංගොඩ ඉහළ ගලකම, කරිවත්ත පාර, හෝර්ටන් තැන්න, නන්පේරියල්, බගවන්තලාව, ලොයිනොන් වත්ත පැතිවලින් තියන මාර්ග කිහිපයකින්ම මහ එළියට මැණික් ජාවාරමට කම්කරුවන් ඇතුල්වෙනවා. මේක දිනපතා වෙන දෙයක්. කිසිම බියක් සැකයක් නෑ. නීතියේ හැටියට සාමාන්‍ය මනුස්සයෙකුට රක්ෂිතයකට ඇතුල් වෙන්න බෑ. එහෙම ඇතුල් වෙලා දර කෑල්ලක් කැඩුවත් අල්ලලා කූඩුවට දානවා. එහෙම සිදුවෙන රටේ මෙහෙම බයක් සැකයක් නැතිව ජාවාරම් කරන්න පුළුවන් වෙන්න හේතුවක් තියෙන්න ඕන” තවත් අයෙක් කීවේය.

“ඒක තමයි අපි මේ ජාවාරම පිටිපස්සෙ දේශපාලනයයි නීතිය රකින අයයි ඉන්නවා කියන්නෙ. ඒ අය මිනිස්සු එක්ක හැංගි මුත්තන් කරනවා කියන්නෙ.” එසේ ඊට තවත් ඌණ පූර්ණයක් සැපයුවේ මේ ජාවාරමුන්ට හෙණ හත වැදියන් යැයි කියා දෙස් දෙවොල් තැබූ ගම්වාසියෙකි.

“ඇයි මහත්තයෝ මේවා අපේ අනාගත පරම්පරාවට උරුම වෙන්න ඕන දේවල්. වගක් නැතිව මෙහෙම විනාශ කරල දැම්මා උන් අපට ශාප කරයි. එක්කො මේ වැඩේ නීත්‍යනුකූලව පරිසර විනාශයක් කරන්නෙ නැතිව කරන්න අවසර දීලා රජයට ආදායමක් ගන්න ඕන. රජයටත් මේ සල්ලි නැති වෙලාවෙ. දැන් කෙරෙන්නෙ රජයටත් නෑ වර්තමානයේ ඉන්න මිනිස්සුන්ටත් නෑ අනාගත පරම්පරාවටත් නෑ. කොහේද ඉන්න ජාවාරම්කාරයෝ ටිකක් ඇවිත් මැණික් හොයන්න මේක පෙරළල විනාශ කරනවා.”

ගැමියෙක් වුවත් ඔහු ඉදිරිපත් කළේ මේ රටේ බලධාරීන්ද යළි කල්පනා කළ යුතු කාරණයකි.

“දෙස් විදෙස් සංචාරකයන් නිදහසේ කාලය ගත කරන්න ඔක්සිජන් සහිත හුස්ම පොදක් ගන්න එන එකම තැන තමයි ලෝකාන්තය කියලා කියන්නෙ.් බලංගොඩ නුවරඑළිය සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මායිම් වන මෙම රක්ෂිතය වර්තමානයේදී භාරව කටයුතු කරන්නේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ යටතේ. තමන්ට අයත් භූමි කොටසක් ආරක්ෂා කරගන්න බැරි ඇමැතිවරයෙක් මොකටද ? තමන්ට අයත් භූමි කොටසක් ආරක්ෂා කරගන්න බැරි අමාත්‍යාංශයක් මොකටද? හැමදාම හොරෙන් මැණික් කරනවා කියලා ප්‍රවෘත්ති වල ගියත් මේ ගැන සොයා බලන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්තෙ කාගෙ වුවමනාවටද කියලා හිතාගන්න බෑ”

මේ පිළිබඳව අදාළ කොට්ඨාය භාර නිලධාරි දයාරත්න මහතා කීවේ මැණික් ගැරීමේ ජාවාරම් නවත්තන්නට මොනතරම් උත්සාහයක් දැරුවත් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බවකි.

“එක පැත්තකින් අල්ලනකොට අනිත් කෙළවරින් පටන් ගන්නවා , බළන්ගොඩ පැත්තේ අවධානය යොමු කරන විට නුවරඑළිය පැත්තෙන් නැවත මැණික් ගැරීම ආරම්භ කරලා. නුවරඑළිය පැත්තෙ මැණික් ගරන එක බලනකොට නැවත බලංගොඩින් හාරනවා” විනාශය සිදුවන අයුරු පෙන්වා දෙමින් ඔහු කියන්නේ එවැන්නකි.

නුවරඑළිය හෝර්ටන් තැන්න, මහ එළිය යනු ලෝක සම්භාවනට පත් පරිසර පද්ධතියකි. එය දීර්ඝ කාලයක සිට දේශගුණ විපර්යාස ඔස්සෙ අපට දායද වූ අගනා ජෛව විවිධත්වයෙන් යුතු පරිසරයකි. ඒ බැඳි ඉතා සංවේදී පරිසරයක් විනාශය කිරීමට ඉඩ දී බලා සීටීම තරම් පාප කර්මයක් තවත් නොමැති බව ලියා තබමු.

නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment