මහජනතාව වෙනුවෙන් ඉතා දුෂ්කර තීන්දුවක් ගත්තා – ඇමැති හරීන් ප්‍රනාන්දු (සජබ)

310

මම පත්වීම ගත්තේ අහක බලාගෙන
මගේ දේශපාලන ගමන වෙනුවෙන් ඇස් වසාගෙන
සිටීමට බැහැ- ඇමැති මනුෂ නානායක්කාර (සජබ)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් කියා මා තවමත් කියනවා. මා හා මනුෂ තවමත් සමගි ජනබලවේගය නියෝජනය කරනවා. මේ රටේ පවතින මහා ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න නම් පක්ෂ දේශපාලනය අමතක කරලා රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් කැපවිය යුතුයි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, උද්ඝෝෂණ, අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි හිඟය සැමදාම තියාගන්න බැහැ. මිනිසුන් මහ මඟ ඇද වැටී මැරෙන තත්ත්වයක් උදාවෙන්න කලින් අප ඉතා දුෂ්කර තීන්දුවක් ගත් බැව් සංචාරක හා ඉඩම් ඇමැති ලෙස ඊයේ (20 දා) දිවුරුම් දුන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ඇමැති ධුරයේ වැඩ

භාරගැනීමෙන් පසුව කොළඹ 03, සංචාරක මණ්ඩලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

කම්කරු හා විදේශ රැකියා ඇමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දුන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

නිර්පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අප නිර්පාක්ෂික වූවා. සර් ෆේල් කියලා මේක සාපයක් කියලා එදා ඉඳලා කිව්වා. ඒ ලෙසින්ම අදත් මා කියනවා. මහ පාරේ බැහැලා යන්න බැහැ. ගෑස්, ඉන්ධන, කිරිපිටි, අත්‍යවශ්‍ය භාණ්ඩ, බෙහෙත් වර්ග නැහැ. විදුලි බලය නැහැ. රට බංකොලොත් කියලා අගමැතිතුමාත් පැහැදිලිව කීවා. අප මෙවැනි තීරණාත්මක තීන්දුවක් ගත්තේ අපගේ අනාගත දේශපාලනය ගැන සිතාගෙන නොවේ. කඩිනමින් රට ගොඩනැඟීමේ අරමුණින්ය.

ගෝඨාභය ජනාධිපතිවරයා මෙම තනතුරින් යායුතු යැයි කියන මතයේ අප දශමයකින් හෝ වෙනස් වී නැහැ. සජබ පක්ෂ ලාංඡනය වන දුරකථනය එළිදැක්වූ දිනයේ පටන් මැයි දිනය දක්වා බොහෝ සංවිධාන කටයුතුවල දැඩිව කැපවී ක්‍රියා කළ පුද්ගලයකු ලෙස ගත් තීන්දුව බෝම්බයක් ඇඟ බැඳගත්තා හා සමානයි.

අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග යන්නේ පිල් මාරුවක් හෝ පිල් පැනිල්ලක් නිසා නොවේ. අප සියල්ලම සිටින්නේ එකම බෝට්ටුවක. කුණාටුව තරණය කරද්දී හොඳ දක්ෂ නැවියා කවුද යන්න තීරණය කරන්න සිදුවනවා. ගෝඨා ගෝ හෝම් අරගලය ඉදිරියට යායුතුයි. අප මෙවැනි තීන්දුවක් ගත්තේ ගෝඨාභය ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ බේරා ගැනීමට නොවේ.

මිලියන 2.3 ක් සංචාරකයින් 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මේ වනවිට සංචාරකයින් 2000-3000 කට වඩා පැමිණ නැහැ. මෙරට

ජනතාවගෙන් 12% ක් යැපෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. අපට ඩොලර් ළඟා කරගත හැකි හොඳම මඟ සංචාරක කර්මාන්තයයි. අප අද කරන්නේ නිධානයක් උඩ හිඳගෙන හිඟා කනවා හා සමාන දෙයක්.

ජුනි මාසයේ මැද වෙද්දී සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගෙනෙන්න අපේක්ෂා කරනවා. ජනාධිපතිවරයාගෙන් ඇමැති ධුරයක් ලබා ගන්නට යම් හිරිකිතයක් තිබුණා. එය ඉටු කළේ රටේ ජනතාව ගැන සිතා. අපට රට භාර ගන්න කියා ජනාධිපතිවරයා ඉල්ලීමක් කළත් දින 05 ක් යනතුරු අප භාර ගත්තේ නැහැ. සජබ පාක්ෂිකයින් අපට චෝදනා කරාවි, මඩ

ගසාවි, නමුත් ඔවුන්ට ටික කලෙකින් සත්‍ය අවබෝධ වෙනු ඇත.

නව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා:-

මේ වනවිට රටේ මුළු ආර්ථිකයම කඩා වැටිලා. තෙල්, ගෑස්, කිරිපිටි, බෙහෙත්, අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. ජීවන වියදම අහස උසට නැගලා. පොහොර සම්බන්ධ වැරදි තීරණ අර ගැනීම නිසා ආහාර සුරක්ෂිතතාවක් ඇති වුණේ නැහැ. එකම පන්තියේ මිනිස්සු පෙට්‍රල් ටික උදුරා ගන්නා දිනයක් ඉදිරියේ ඇති වේවි.

සජබ වෙනුවෙන් යහපත් තීන්දුවක් ගන්න අප ඇඬුවා, තරහා වුණා, අයැද සිටියා. හෙට දවසේ මිනිසුන් මරාගන්නා යුගයක් ආවොත්, කන්න, බොන්න නැතිව ජනතාව මැරී වැටේවි. තත්ත්වය මෙසේ තිබියදී ඊළඟ ඡන්ද දිනීම ගැන හිතන්න බැහැ. මගේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් නිහඬ වන්නත්, ඇස් වසාගෙන සිටීමටත් බැහැ. අප දෙදෙනා පක්ෂය තුළ සිට දැඩි සටනක් කළා. ජනතාව වෙනුවෙන් හඬක් නැගුවා. සජබ තීන්දුවක් ගන්න ප්‍රමාද වුණා. අප සජබෙන් ඉවත් වෙලා නැහැ. සජබ හෙට දවසේ ආණ්ඩුවක් පිහිටුවනවා නම් දේශපාලනය කරන්න රටක් ඉතිරි විය යුතුයි.

ඡායා – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment