මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා රජයේ තීන්දු තීරණ මගහැර හිතාමතාම විපක්‍ෂයේ දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කළා

192

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර
වැරැදි දත්ත මත විදුලිබිල වැඩිකළා යැයි ජනක ‘දිවයින’ පුවත්පතට කියා තිබුණා
ඉම්තියාස් බාකිර් මාකාර් (සජබ)
සමස්ත විදුලි බිල සියයට 27කින් අඩුකළ හැකි බව දත්තවලින් පැහැදිලියි
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
ඔහු තනතුරු ගත්තේ ගෝඨාභයට කඩේ ගිහින්
නිමල් ලංසා (ශ්‍රීලපොපෙ)
අයිඑම්එෆ් එකේ තීන්දු ක්‍රියාත්මක කරගන්න බැරි වූ නිසා ජනක ආණ්ඩුවට එපා වුණා
විජිත හේරත් (ජාජබ)
රුපියල් 3.50ට දෙන්න පුළුවන් ඒකකය රුපියල් 30 දක්වා වැඩි කරලා
උදය ප්‍රභාත් ගම්මන්පිල

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත්කිරීමේ විවාදය

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා රජයේ තීන්දු තීරණ මගහැර හිතාමතාම විපක්‍ෂයේ දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කළ බව විදුලිබල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24 දා) පෙරවරු 9.30ට රැස්විය.

නිවේදන, ලිපි ලේඛන පෙත්සම්, වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

ඉන්පසු දිනට නියමිත මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත්කිරීමට අදාළව මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගත්තේය. එහිදී කතා කළ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් (සජබ)

ස්වාධීන කොමිසන් සභා පත් කරනවා. මේ අද ගන්න තීන්දුවෙන් කියන්නේ කොමිසන්වල අය හීලාවෙලා ඉන්න කියලා. අධීකරණය, රාජ්‍ය සේවය හෑල්ලු වෙනවා. ඒ නිසා වහාම ගත්ත තීරණ ගැන දෙවරක් හිතන්න. විකෘති තීන්දුවක් ගත්තොත් රට කොfාමද යන්නෙ කියලා හිතන්න. අපි නිවැරදි ගමනක් යන්න නම් නිවැරදි තීන්දුවක් ගන්න. තනතුරුවලට පත්වන අයට රතු එළියක් ආණ්ඩුව මේ තීරණයෙන් දෙන්නේ.

වැරැදි දත්ත මත විදුලිබිල වැඩිකර ඇති බව ජනක රත්නායක ‘දිවයින’ පුවත්පතට ප්‍රකාශ කර තියෙනවා. ඔහු කතා කරන්නේ ජනතාව පැත්තෙන්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා :

විදුලිබල මණ්ඩලය කඩා වැටීමට ආණ්ඩුව වගකිව යුතුයි. රජය හා ස්වාධීන කොමිසම පුද්ගලයකු හා ගැටුමකට නොයායුතුයි. කරන්න බැරිනම් ඉල්ලා අස්වී යායුතුයි.

ගැටුමක් නිර්මාණය කරගත යුතු නෑ. කොමිසන් සභාවට තනි තීන්දුවක් ගන්න බැහැ. කවුරු ආණ්ඩු කළත් ජනතාවට සහන සපයන්න ආණ්ඩුවලට පුළුවන් විය යුතුයි. ඒ නිසා මම විපක්‍ෂයේ සිටියත් යෝජනාවට පක්ෂ වෙනවා.

සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත :

මහජන උපයෝගිතා කොමිසම වෙනම පනතක් මගින් පිහිටුවල තියෙන්නේ. ජලය, විදුලිය, තෙල් ආදී මහජන සේවාවන් බැලීමයි සිදුවන්නේ. පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත කිරීමකින් මේ ගැන තීන්දු ගන්න පුළුවන්.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් :

මේ යෝජනාව ස්ථාවර නියෝග යටතේ ඉදිරියට යන්න බැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පාර්ලිමේන්තු සභාව පත්වීම කරන්නේ. විශේෂ කාරක සභා මගින් සභාපති ගැන බැලිය යුතුයි. මේ කරුණ ගැන උපයෝගිතා පනත යටතේ සභාපතිගේ වාර්තාව හා ඇමැතිගේ වාර්තාව සලකා බලා වෙනම වාර්තාවකට අනුවයි තීරණ ගත යුත්තේ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර :

උපයෝගිතා කොමිසමේ සභාපතිට චෝදනා 5ක් ඉදිරිපත් වී තියෙනවා. මොහුගේ පත්වීම දේශපාලන පත්වීමක්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රාවුෆ් හකීම් :

සභාපති තමා ගැන විවාදය බලන්න ඉල්ලුවත් ගැලරිය වහලා කියලා කිව්වා. ඒත් අද පාසල් ළමුන් ඇවිල්ලා. ඇයි ඔහුට බලය දුන්නේ නැත්තේ.

ඇමැති කාංචන විජේසේකර :

සභාපති තමන්ගේ තනි මතයට සාමාජිකයන්ගේ එකඟතාවකින් තොරව ක්‍රියාකර ඇති බව අධිකරණ තීන්දුවේ තිබෙනවා. කොමිෂන් සභාව අකර්මණ්‍ය කරන්න යනවා කියන කතාව බොරු. සභාව සක්‍රීය කිරීමයි අපි කරන්නේ.

චෝදනා පහෙන් දෙකක් නඩු නිමිත්ත මුල්කරගෙනයි හදලා තියෙන්නේ. කොමිසමේ සාමාජිකයන් පත් කිරීමේ දී ඔවුන්ගේ ව’්‍යාපාර ගැන බැලිය යුතුයි. ඔහු විදුලිය ලබාගෙන වෙනත් පාර්ශ්වවලට විදුලිය අලෙවි කරලා. ඔහු මේ කරුණු අනාවරණය කර නෑ. තොරතුරු වසන් කරලා. විදුලිබල මණ්ඩලය සමග ඔහුට ඇති ගනුදෙනු වසන් කරලා.

කොමිසමක සභාපති වූ පමණික් ඔහුට දේශපාලන තීන්දු ප්‍රකාශ කරන්න බැහැ. ඇමැතිවරු වෙනස් කිරීම් ගැන කතා කරන්න බැහැ. 2014 සිට නිසි කලට විදුලි ගාස්තු සංශෝධනය නොකළ නිසා විශාල බරක් ජනතාවට පටවන්න සිදුවී තියෙනවා.

ගාස්තු සංශෝධනය ප්‍රමාද කිරීම නිසා බිලියන 32ක පාඩුවක් ඇතිවුණා. ඔහු තමයි ප්‍රමාදය ඇති කළේ. ඒ නිසා විවාද ක්‍රියාවලියෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය තීරණ ගන්නවා. ජනවාරි 01 වැනිදා සිට ගාස්තු සංශෝධනය කරන්න දුන්නේ නෑ. පැය කිහිපයක් එක් අයකුගේ අවශ්‍යතාව මත විදුලිය කපන්න වුණා. අද විදුලිය කැපීමක් නෑ.

අද ගෙනා යෝජනාව ස්වාධීන කොමිෂන් සභාවක සිටින දේශපාලන අරමුණක් ඉටුකරන පුද්ගලයෙක් ඉවත් කිරීම පමණයි සිදු කරන්නේ.

විදුලිය දිගටම කපලාආණ්ඩුව පෙරළීමේ අවශ්‍යතාව සභාපතිට තිබුණා. ඉදිරියේ දී කරන විදුලි ගාස්තු අඩුකිරීම සියයට 23කින් පමණ සිදු කිරීමට යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන අයට තෙල් මිල අඩුවීම, ගල් අඟුරු මිල අඩුවීම, ඩොලරය අඩුවීම කරුණු මත සහන ජනතාවට ලබා දෙනවා. සභාපතිවරයා ිහතාමතාම විපක්‍ෂයේ දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කළා. රජයේ තීන්දු තීරණ මගහැර ඔහුට අවශ්‍ය පරිදි ක්‍රියා කළා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

ජනකරත්නායකට ගැලරිය තහනම්. ඒත් හොරෙන් රන් භාණ්ඩ ගෙන්වා හසුවූ මන්ත්‍රීවරයකුට දඩ මුදල් ගෙවා අද විවාදයටත් එන්න පුළුවන් වෙලා. මේකද සිස්ටම් චේන්ජ්.

අපිට පුද්ගලයෝ වැඩක් නෑ. අපි බලන්නේ ක්‍රියාකලාපය පමණයි. ඔහු පෙනී සිටින්නේ කා සමගද කියලා බැලිය යුතුයි. ලක්‍ෂ 220 සමග කවුද හිටගන්නේ. නැත්නම් රට කුජීත කරන ආණ්ඩුවක් සමගද හිටගන්නේ කියලා නමින් ඡන්දය විමසිය යුතුයි.

ජනක රත්නායක මැතිවරණයට ඉල්ලනවාද කියා අපට වැඩක් නැහැ. ආණ්ඩුව ඒකට බයවෙලා. ලක්‍ෂ ගානක් දරුවන් විභාගයට පෙනී සිටීමට සිටියදී ඔවුන් වෙනුවෙන් පෙනී සිට විදුලිය කප්පාදුව නැවැත්වීමට ඔහු කැපවුණා. ඔහුගේ මේ උත්සාහයත් ඔහුව ඉවත් කිරීමට චෝදනාවක් කරගෙන. එය මහත් නීච ක්‍රියාවක්.

ඔහු හොඳ වැඩ රැසක් කර තියෙනවා. ඒවා කියන්න,

පිළිගන්න බිය විය යුතු නෑ. ලක්‍ෂ 220ට පාසල් දරුවන්ව වසල ක්‍රියාවක් කරන්නෙ කවුද කියා අද පැහැදිලියි. සමස්ත විදුලි බිල සියයට 27කින් අඩු කළ හැකිව තිබියදී ආණ්ඩුව සියයට 3කින් අඩු කරන්න යනවා. සියයට 27කින් අඩු කළ හැකි බව ජනක රත්නායක පෙන්වා දී තියෙනවා.

ඔහු අපි පත් කළ හෝ නම් කළ අයෙකු නොවෙයි. ආණ්ඩුවට හුරේ කියපු අයෙක්. ආණ්ඩුව ඉවත් කරන්නේ. අපි පෙනී සිටින්නේ ඔහු ජනතාව සමග සිටි නිසයි. රට ගැන ජනතාව ගැන හිතලා මේ යෝජනාව පරාජය කරන්න කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා (ශ්‍රීලපොපෙ) :

මේ රටේ ආදායම හැටියට සහන දෙන්නේ කොහොමද? රටේ මිනිසුන් අමාරුවෙන් සිටියදී විදුලි බිල වැඩි කිරීමේ තීන්දුව පමා කරලා මූල්‍ය අරමුදලේ ආධාර ගැනීමත් පමා කළා. ඔහු ස්වාධීන නෑ. ගෝඨාභය රාජපක්ෂට කඩේ ගිහින් ඔහු තනතුරු ගත්තා. මොන සුදුසුකමක්වත් නෑ.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ :

රට යථා තත්ත්වයට පත් කරන අවස්ථාවකදී විරුද්ධ පක්‍ෂයේ බළල් අතක් වී රට අස්ථාවර කිරීමට බාධා කළ අයෙක් පිළිබඳවයි අද විවාද කරන්නේ.

ජනක රත්නායක සමහරු පාවිච්චි කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩ සටහන කඩාකප්පල් කරන්න විපක්‍ෂය ජනක රත්නායක භාවිතා කළා. පැය 24ම රට අඳුරේ තැබීමයි ඔහුගේ ඉලක්කය. ජනක වෙනුවෙන් පෙනී සිටින අය හැමෝම ඔහු පිටුපස සිටියා.

විදුලිය නැති වුණත් රටේ මිලියන 220ට ප්‍රශ්න ඇතිවෙනවා. තෙල් නැතිවුණොත් රටටයි ප්‍රශ්න ඇති වන්නේ. ඒ නිසා රට පාලනය කිරීමට විවිධ පියවර ගන්න වෙනවා. එහිදී මෙවැනි පුද්ගලයන් ඉවත් කිරීමට සිදුවෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :

විදුලිය කැපීමට එරෙහිව අභියාචනාධිකරණයට යෑමත් ඔහුට එරෙහිව චෝදනාවක් වෙලා. සභාපති තීරණ අරන් තියෙන්නේ කොමිසමේ අනුමැතිය ඇතිවයි.

2014 සිට විදුලිබිල වැඩි කරන්න යෝජනානොකළ විදුලිබිල මණ්ඩලයයි. කොමිසම පසුවයි තීරණ ගත්තේ. විදුලිබිල සියයට 275කින් වැඩි කළා. කොමිසමේ සාමාජිකයන් බලෙන් ඉවත් කරලා තමයි ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) :

විදුලිය ප්‍රශ්නය විසඳීමේදී ආපසු තීන්දු තීරණ ගත යුතු වෙනවා. එහිදී සියලු ආයතන ඊට සහය දිය යුතුයි. එහෙම නොවී රජයේ තීරණයට පිටින් යායුතු නෑ. පෞද්ගලික න්‍යාය පත්‍රවලට ක්‍රියාකිරීම සුදුසු නෑ. ජනක රත්නායක දිගින් දිගටම තනි තීරණ මත ක්‍රියා කළේ.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ) :

යම් කොමිසමක සභාපතිවරයා ක්‍රියා කළ යුත්තේ තම දේශපාලන අරමුණු මත නොවෙයි. උපයෝගිතා කොමිසමේ සභාපතිට කියනවා තමාට තනතුර ලැබුණේ දේශපාලන පත්වීමක් මත කියලා.

කොමිසන්වලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ පසුබිම සොයා බැලිය යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම :

මේක ස්වාධීන කොමිසමක් නොවෙයි. දේශපාලන පත්වීමක්. උසස් පෙළ දරුවන්ට විදුලිය දෙන්න ගත් ප්‍රතිපත්තිය හොඳයි. ආණ්ඩුව ඒකට එකඟ වුණා. ජනක රත්නායක ඕනවට වැඩිය කතා කරනවා. දේශපාලන පත්වීමක්නම් ඔහු සංවර විය යුතුයි.

ඔහු කෙළින්ම කියනවා ජනපතිවරණයට ඉල්ලනවා කියනවා. රනිල් ජනපති කරන්න මම ඡන්දය දුන්නා. නමුත් ඔහු ජනපති කියලා ණය ගත්ත ව්‍යාපාරිකයන් දසදෙනකුගේ ණය කපා හැර බොල් ණය කරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවට නොවෙයි අපි ඔහුව පත් කළේ. ධනවත් ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ.

රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ :

අපිට අවශ්‍ය ජනතාව ජීවත් කරවීමටයි. පැය 24ම විදුලිය ලබාදීමට ඇමැති කැපවුණා. ඉන්ධන පෝලිම් නැති කිරීමට ක්‍රියා කළා. විදුලිය බිල වැඩි කිරීම ජනතාවට පීඩාකාරී වුවත් අඛණ්ඩව සැපයුමකට එය අවශ්‍ය වුණා. මේ තීරණවලට ජනක රත්නායක එරෙහිව ක්‍රියා කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ) :

ස්වාධීන කියලා පත්කරන කොමිසන්වල සාමජිකයන් සමහරවිට කිසිම නීතියක් නැතිව හැසිරෙනවා. සමහරුන්ට ‘වොයිස් කට්’ දෙන අමාරුවක් තියෙනවා.

ඔහු බොරු පුවත් මවන්නෙක්. ඔහුට පක්ෂවීම පිළිබඳව මම විපක්‍ෂය ගැන ලජ්ජා වෙනවා. විගණකාධිපති වාර්තාවල ඔහුගේ වංචා රැසක් වාර්තා වෙනවා. ඔහුගේ පරිහරණයට ගත් වාහනයේ තොරතුරු දීලා නෑ. පෞද්ගලික ආයතනයකින් කුලී පදනම මත වාහනයක් අරගෙන.

ඔහු මාධ්‍ය භාවිතා කරලා තම ප්‍රතිරූපය නංවා ගන්න උත්සාහ කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ :

මේ සභාපතිගේ වැරැදි ගැන කියනවා. මෙවැනි ව ැරැදිකරන වෙන සභාපතිවරු නැද්ද? ඇයි ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්නේ නැත්තේ. මේවගේ වැරැදි වැඩ කරන සභාපතිවරු සියයට 70ත් මට කිව හැකියි.

විදුලිබල මණ්ඩලය අසාධාරණ විදුලි ඉහළ දැමීම් හැදුවා. පරණ බර සියල්ල දාලා. අධික විදුලිබිල දරාගන්න බැහැ. අසාධාරණ මිල වැඩි කිරීම උපයෝගිතා කොමිසම මතු කළ නිසයි මේ ප්‍රශ්නය ඇති වී තියෙන්නේ.

මහජන උපයෝගිතා කොමිසම හදලා තියෙන්නේ විදුලිබල මණ්ඩලය ගත්ත තීරණ ජනතාවට කොපමණ බලපෑමක් වෙනවාද කියලා බලන්නයි. මණ්ඩලය කියන එකම කරන්න නොවෙයි එහෙම නම් කොමිසමම අහෝසි කරලා දාන්න.

පැපුවා නිව්ගිනියාවේ තියෙනවා නීතියක්. වගකීමෙන් බැඳී සිටීමේ නීතිය. කරන වගකීම ඉටු කළේ නැතිනම් බලයේ සිටියදී හෝ ගියාට පසු දඬුවම් කළ හැකියි. තමන් කියන දේට එකඟ නොවූ පලියට තීරණ ගන්න එක අශීලාචාරයි.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ :

සභාපති තනතුර ගත්දා සිටම වොයිස්කට් දීම පමණයි කරන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් සමග සම්මුතියක් තිබුණෙ නෑ. අධ්‍යක්ෂවරුන් වෙනම සභාපති වෙනම ක්‍රියා කළේ.

සභාපතිගේ අන්තනෝමතික ක්‍රියාකලාපය නිසා 2022 හා මේ වසර මුල රටම කරුවලේ ඉන්න සිදුවුණා. රජය ඉදිරියට ගෙන යෑමට මහජන සුබසිද්ධිය ඉදිරියට ගෙන යෑමට ආයතන ප්‍රධානීන් සහය විය යුතුයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් :

මේ සභාපතිවරයාව පිළිගත්තේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවයි. එය ස්වාධීන කොමිසමක්. මේ සභාපති ඉවත් කිරීමට අවශ්‍ය නම් කළ හැකියි. ඒ සඳහා දැන් ගන්න ක්‍රමවේදයේ වරදක් තියෙනවා. චෝදනා පත්‍රයත් ඊට පිළිතුරු පත්‍රයත් දෙක මත පදනම් වී පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි. ඒ තීරණය මුදල් ඇමැතිගේ තීරණයම නොවිය යුතුයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල :

සභාපති ලෙස පත්වූ ඔහුගේ වගකීම පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කිරීමයි. එල්ල කර ඇති චෝදනා පහේම තියෙන්නේ පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කිරීමයි. ඔහුව පාරිභෝගිකයා වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. දූෂණ චෝදනා ගැන නෑ.

ඔහු විදුලි බිල වැඩිකිරීම ගැන ප්‍රශ්න කළා. දැන් අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රශ්න කරනවා. රට බංකොළොත් කළේ ආණ්ඩුවයි. ජනක රත්නායක නොවෙයි ආණ්ඩුවයි අස්විය යුත්තේ. ආයතන ස්වාධීන වුණාට වැඩ කරන්න බැහැ.

මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කළත් ඊට මුදල් දුන්නේ නෑ. මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් හැංගිලා හිටියා.

ජනක රත්නායක ඉවත්කිරීම ගැන අසුභ පණිවුඩයක් ලෝකයට යන්නේ. රට බංකොළොත් කළේ ජනක රත්නායක නොවෙයි ආණ්ඩුවයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ):

රට ඉතා අසීරු අවස්ථාවක කංචන ඇමැති වුණේ. ඔහු ඒ අභියෝගය ජයගත්තා. ජනක රත්නායක ඔහුට අභියෝග කළා. මෝදි ඇඳුම ඇන්ද ගමන් ඉවරයි. ඔය ඇඳුම ඇඳපු අයට වුණ දේ මතකයි. ජනක වැඩිපුර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. අපි කැබිනට් එකේදිත් ඇහුවා දාපු ගෙනෙක් නෑ.

ස්වාධීන කොමිසන්වලට දාන හැම එකක්ම දේශපාලන පත්වීම්. තමන්ට හිතවත් අය විශ්වාස අය තමයි කවුරුත් දාන්නේ. ජනක ආවෙත් එහෙමයි.

කවුරුත් විදුලිබිල, ජල බිල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරන්න කැමැති නෑ. අඩු කරන්න කොයි ආණ්ඩුවත් කැමැතියි. පැය 14ක් විදුලිය කැපුවා. එය වළක්වන්න අවශ්‍ය පියවර අපි ගත්තා. තීන්දුව තිත්ත වුණත් ගත්තා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

මහජන උපයෝගිතා කොමිසම ගෝඨාබය රාජපක්ෂ සමයේ සම්පූර්ණයෙන් අහෝසි කරන්න හැදුවා. කොමිසම් සාමාජිකයන් ඉල්ලා අස්වුණා. ජනක රත්නායක ඊට පත් කළා.

ජනක රත්නායක ගැන චරිත සහතික අපි දෙන්නේ නෑ. ජනක පත් කළේත් ආණ්ඩුවයි. මොහු කලින් ආණ්ඩුවෙත් වෙනත් තනතුරක් දැරුවා. ඒ චරිතය ගැන අපටත් විවේචන තියෙනවා.

ජනක එපා වුණේ මූල්‍ය අරමුදලේ තීන්දු ක්‍රියාත්මක කරන්න බැරි වුණාමයි. විදුලිබිල වැඩි කරන්න කියලා අරමුදල කිව්වා කොමිසම විරුද්ධ වුණා. ජනකට පෙර සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වුණා. කැමැත්තෙන් අස්න්‍ුණා කිව්වත් රටම දන්නවා නිකන් ඉල්ලා අස් නොවූ බව. කොමිසමම ඉල්ලා අස්වෙන්න කිව්වහම ජනක හැර අනිත් අය අස්වුණා.

මැතිවරණ කොමිසමට ඉල්ලා අස්වෙන්න කිව්වහම චාල්ස් මහත්මිය අස්වුණා. කිව්වේ පෞද්ගලික හේතු කියලා. දැන් ආණ්ඩුකාරවරිය වුණා.

උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත් කළා. ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ සිට ඔහුගේ නිලධාරියෙක් ලෙස සිටියා.

තිත්ත ඇත්ත කවුරුවත් දන්නවා. සභාපති ඉවත් කරගන්න බැරි වුණෙම හීලෑ වූ අනිත් අය දාගෙන බිල වැඩි කරගත්තා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි :

ඡන්දය කල් දාන්න සහාය දුන් චාල්ස් අද ආණ්ඩුකාර කරලා. අද ජනක රත්නායක එලවලා සියයට 75කින් විදුලිබිල වැඩි කරන්න ගත්ත තීරණය නීති විරෝධියි. සියයට 35කින් පමණයි බිල වැඩි කළ හැක්කේ කියලා උපයෝගිතා කොමිසම කිව්වා. කොමිසමේ අදහස් ගන්නේ නැතිව අනීතිකව බිල වැඩි කළා. ඒ වැරැදි වහගන්න අද මේවා කරනවා. බිල අඩු කරන්නත් යනවා. කොමිසමේ උපදෙස් පිළිපැද්දනම් මහජනතාව හෙණ ඉල්ලන්නේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල :

අධිකරණයේ විනිශ්චය කළ යුතු කාරණාවකට පාර්ලිමේන්තුවේ තීරණ දෙන්න බැහැ. ඒනිසා මේ විවාදය ඡන්ද විමසීමකින් තොරව අවසන් කරන්න.

ජනකට එරෙහි චෝදනා 5ම පට්ටපල් බොරු කියලා ඔහු ලිඛීතවම සාක්ෂී ඇතිව පෙන්වා දී තියෙනවා.

බිල් වැඩිවීම අනුව ධනපතියන් සැනසීමට දුප්පතාගෙන් මුදල් අරගෙන තියෙනවා. රුපියල් 3.50ට දෙන්න පුළුවන් ඒකකය රුපියල් 30 දක්වා වැඩි කරලා. සුපිරි වෙළෙඳ සැල්වලට සහන දීලා. මේ අසාධාරණයට එරෙහිවයි ජනක කතා කළේ.

පාර්ලිමේන්තුව අද (25 දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment