මහජන උපයෝගිතා සභාපති සීඅයිඩීයට  කැඳවා බාල තෙල්  ගැන ප්‍රකාශයක් ගන්න

90

– තෙල් සංස්ථා නිදහස්  සේවක සංගම් සභාපති

බාල ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සිදුකරන බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ. පී. චමින්ද මහතා ඉල්ලා සිටී.

මේ වන විට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ද ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවන බව කියන දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බවත්, එම පැමිණිල්ලට අදාළව සිදුකරන විමර්ශනවලට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කරන චෝදනා ද සැලකිල්ලට ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට දරන උනන්දුවට වඩා අඩු උනන්දුවක් එම පැමිණිල්ල සම්බන්ධයෙන් දක්වන බවට පෙනී යන බවත් සංගමයක් ලෙස තමන් ඉල්ලා සිටින්නේ ඇමැතිවරයාගේ පැමිණිල්ලට ප්‍රමුඛතාවක් දක්වන ලෙස බවත් ඔහු පැවසීය.

මහජනතාව ආරක්‍ෂා කිරීම සඳහා පවතින උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඛනිජ තෙල්වල ප්‍රමිතිය ගැන තොරතුරු දන්නේ නම් ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා තෙක් නොසිට එම තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් නීතිමය පියවරයන්ට අනුව යායුතු බව ද ඒ මහතා කීය.

රටේ ජනතාවගෙන් වැටුප් ලබන නිලධාරියකු වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට රටේ ජනතාවට යම් අසාධාරණයක් සිදුවනවා නම් ඔවුන් ඉන් මුදා ගැනීමේ වගකීමෙන් මිදිය නොහැකි බව ද චමින්ද මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment