මහජන බැංකුවේ අවසන් කාර්තුවේ ප්‍රතිඵල ප්‍රකාශය

68
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ/ මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව්ෆොන්සේකා

මහජන බැංකුව 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 24.0ක් සහ රුපියල් බිලියන 7.2ක් ලෙස වාර්තා කළේය.

පැවැති ආර්ථික අභියෝගවලට සමගාමීව පොලී ප්‍රතිශත අඛණ්ඩව ඉහළ යාමත් සමඟ 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල සීමාව තුළ මහජන බැංකුවේ ඒකාබද්ධ ශුද්ධ ආදායම රුපියල් බිලියන 15.3 දක්වා එනම්, 49.7% කින් පහත වැටී ඇත. වඩාත් සංවේදී ගනුදෙනුකාර කොටස් වෙත පිරිනමන ලද අනුපාතිකයන් ප්‍රතිමිලකරණය ප්‍රමාද වීම ද මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙම කාලසීමාව තුළ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 4.5 ක් ලෙස වාර්තා වූ අතර, එහිදී එක් අයිතමයක් හැර, අනෙක් සියලු ම අයිතමවල 40.0% කට වැඩි වර්ධනයක් වාර්තා විය.

වර්ධනය වූ උද්ධමනය මගින් පිරිවැය ආශ්‍රිත පීඩන තත්ත්වයන් නිර්මාණය වූ අතර, ඒවායින් බොහොමයක් 2022 වසරේ පළමු කාර්තුවෙන් පසු ආරම්භ වූ ඒවා ලෙස දැක්විය හැකිය. 10.1% කින් ඉහළ ගිය බැංකුවේ ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 14.4 (2022 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් බිලියන 13.1) ක් ලෙස වාර්තා විය. මෙය සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය හා සසඳන විට පිරිවැය පාලනය වෙනුවෙන් මහජන බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 2,513.1 දක්වා වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය රුපියල් බිලියන 1,835.1 දක්වා අඩු විය. ප්‍රතිශතයක් ලෙස සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු 2.6% කින් වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය 4.2% කින් පහළ යාමක් පිළිබිඹු කරයි. තවමත් හැකිලෙමින් පවතින සාර්ව-ආර්ථික තත්ත්වය තුළ ණය ලබා දීම පාලනය කිරීමට මහජන බැංකුව සහ සමූහය දැරූ උත්සාහය ශුද්ධ ණයවල පහත වැටීම මගින් පිළිබිඹු කරයි. වසර අවසානයේ වාර්තා වූ සමස්ත ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,072.2 ක් (2022 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 3,133.1ට සාපේක්ෂව) විය.

2023 මාර්තු 31 දින වන විට මහජන බැංකුවේ පළමු ස්ථරය සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණකතා අනුපාතය පිළිවෙළින් 11.8% සහ 16.2% ක් (2022 අවසානයේ වාර්තා වූ 11.9% සහ 16.3%ට සාපේක්ෂව) වූ අතර, ඒකාබද්ධ පදනම මත එම ප්‍රතිශතයන් පිළිවෙළින් 13.0% සහ 16.9% (2022 අවසානයේ වාර්තා වූ 13.3% සහ 17.2% සාපේක්ෂව)ක් ලෙස වාර්තා විය. 2017 ජුලි 1 වැනි දින බාසල් ෂෂෂ නීති ප්‍රකාරව ඇරඹූ ප්‍රයත්නයන් පිළිබිඹු කරමින් මහජන බැංකුවේ වගකීම් තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පැවතුණු අතර, අතිරේක හදිසි අවස්ථා ඇතුළුව එහි නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ ක්‍රමවේද වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, එම කාල සීමාව තුළ බැංකුව සිය සියලු ම ප්‍රධාන නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇති බව ද සඳහන් කළ යුතු ම ය.

මේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා – ‘2023 වසරේ පළමු කාර්තුව අවසානයේ අප වාර්තා කළ ප්‍රතිඵල අපගේ අඛණ්ඩ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වගේ ම ඕනෑ ම තත්ත්වයකට සරිලන අයුරින් අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරනවා. පසුගිය වසර කිහිපය තුළ, මහජන බැංකුව සිය විවිධ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සාර්ථකව සපුරාලීමට සමත් වුණා. ඒ වගේ ම සෑම අවස්ථාවක දී ම රට ප්‍රමුඛස්ථානයේ තබා කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කළා. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන අතර, වාණිජ අවශ්‍යතා ද සපුරා ගැනීමට කටයුතු කළ අප 2023 වසරේ පළමු කාර්තුව තුළ ලබා ගත් ඉහළ වර්ධනයට මූලික බැංකුකරණ මෙහෙයුම්වල සාර්ථකත්වය බෙහෙවින් ඉවහල් වුණා. අඛණ්ඩව ඉහළ ගිය පොලී අනුපාත මූල්‍ය ක්ෂේත්‍රය තුළ යම් පීඩනකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත් පැවසිය යුතු ම යි. කෙසේ වෙතත්, අප ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආයතනික දෘෂ්ටි කෝණයකින් යුක්තව කටයුතු කිරීම ජයග්‍රහණ කිහිපයකට ම හේතු වුණා කිව්වොත් මා නිවැරදියි. ඒ වගේ ම හඳුනාගත් උපාය මාර්ගික වර්ධන ක්ෂේත්‍ර සාර්ථකව මෙහෙයවීම, රුපියල සහ විදේශ මුදල් යන අංශ දෙකේ ම ද්‍රවශීලතාව තිරසාර ලෙස වැඩිදියුණු කිරීම වගේ ම අවදානම් කළමනාකරණය කරමින් කටයුතු කිරීමත් අපගේ වර්ධනයට ප්‍රධාන හේතු විදියට දැක්වීමට පුළුවන්. ඊට අමතරව, අප ඩිජිටල් සේවාවන් ස්ථාපිත කිරීම සඳහා සිදු කළ ආයෝජන අඛණ්ඩව ඵල දරන බව පෙනෙන්නට තිබෙනවා. එය බැංකුවේ අනාගත වර්ධනය සඳහා ඉතා හොඳ පෙර නිමිත්තක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම තුළින් මතු වන ධනාත්මක වර්ධන තත්ත්ව ඇතුළු සාර්ව ආර්ථික වර්ධනය සමඟින්, ඉතා සුබවාදීව අනාගතයට මුහුණ දීමට අපට හැකියාව තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ ජාතික අවශ්‍යතා සහ අපගේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වුණා. ඉදිරියේදීත් ඒ අයුරින් ම කැප වන බව අවධාරණය කිරීමට කැමතියි. අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් අපගේ
ගනුදෙනුකාර ජනතාවට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “රජයට අයත් ආයතනයකට අනන්‍ය වූ විවිධ බලපෑම් ඇතුළුව බොහෝ බලපෑම් මධ්‍යයේ වුවත් අපට අංශ ගණනාවකින් ඉතා සුවිශේෂී ප්‍රගතියක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. අපගේ ද්‍රවශීලතාව තවදුරටත් ශක්තිමත් කිරීම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ක්‍රියාත්මක වීම සහ අපගේ වත්කම්වල ගුණාත්මකභාවය කළමනාකරණය කරමින් පාරිභෝගික ජනතාව වෙත මෙම අභියෝගාත්මක කාලවල දී සහයෝගය ලබා දීම ආදී කරුණු කෙරෙහි අපි අපගේ මූලික අවධානය යොමු කළා. අපි අපගේ නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසිය යුතුමයි. අපගේ බෙදාහැරීමේ කටයුතුවල සාර්ථකත්වය ප්‍රධාන කාර්ය සාධන දර්ශක කිහිපයක් හරහා වර්ධනය වීම තුළින් වඩාත් හොඳින් පිළිබිඹු වෙනවා. අක්‍රීය ණය කපා හැරීම් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍යයන් තුළ පැතිර යන පුවත් සාවද්‍ය ඒවා බව අවධාරණය කිරීමට කැමතියි. එවැනි ණය අයකර ගැනීම සඳහා අපගේ සාමාන්‍ය ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසිය යුතු ම යි.

මහජන බැංකුවේ සාර්ථකත්වයේ පදනම මූලික වශයෙන් රඳා පවතින්නේ අපගේ කාර්ය මණ්ඩලය සහ අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් මත බව පැවසිය යුතු ම කරුණක්. ඉදිරිය මීටත් වඩා අභියෝගකාරී විය හැකියි. පසුගිය වසර කිහිපය තුළ වගේ ම ඉදිරියේදීත් අභියෝගවලට විශ්වාසයෙන් හා ශක්තියෙන් මුහුණ දීම අපගේ අරමුණයි.”

advertistmentadvertistment
advertistmentadvertistment