මහජන බැංකුවේ ස්ථාවර කාර්යසාධනය අඛණ්ඩව ඉදිරියට

105

මහජන බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවයක කාලය සඳහා මුල්‍ය ප්‍රතිඵල පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර, බැංකුවේ බදු පෙර ස්වාධීන ලාභය රුපියල් බිලියන 17.0ක් ලෙස සහ ඒකාබද්ධ ලාභය රුපියල් බිලියන 21.0ක් ලෙස වාර්තා විය.

සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 91.0 දක්වා 41.3% කින් ඉහළ ගිය අතර, සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 31.4 දක්වා 9.6% කින් පමණක් වර්ධනය විය. පසුගිය කාලයේ ඇතිවූ 80.0%ක මුදල් අවප්‍රමාණය සහ මූලිකවම ඒ නිසා ඇතිවූ 70.0% ආසන්න උද්ධමන පීඩනයකින් පිරි ඉතා අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් තුළ බැංකුවේ දූරදර්ශී වියදම් කළමනාකරණය මෙම ප්‍රතිඵලයෙන් මනාව ප්‍රදර්ශනය වේ. 2021 එම කාල සීමාව තුළ 52.3%ක් ලෙස බැංකුවේ පිරිවැය ආදායම් අනුපාතිකය සටහන් වූ අතර, අවසන් වූ මාස 9 ක කාලය සඳහා එම අනුපාතය 40.9% ක් ලෙස දැක්වෙන්නේ බැංකුවේ ආදායමේ වර්ධනය සහ පාලිත පිරිවැය වැඩිවීම යන දෙකම පිළිබිඹු කරමිනි.

2022 මුල් මාස නවය තුළ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 66.5 දක්වා 12.7% කින් වර්ධනය වූ අතර, එම වකවානුව තුළ පොලී වියදම් 89.6% කින් ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 එම කාල සීමාව හා සසඳන විට ශුද්ධ පොලී ආන්තිකය 3.27% සිට 3.12% දක්වා පහත වැටුණි. ඒ අතර, 2021 ලද රුපියල් බිලියන 5.6 සාපේක්‍ෂව බලන කල 2022 එම කාල අන්තරය තුළ ගාස්තු සහ කොමිස් ආදායම 128.0% කින් වර්ධනය වී රුපියල් බිලියන 12.8 දක්වා ළඟාවිය. නිරන්තරයෙන් වෙනස්වන සුළු පොලී අනුපාත පරිසරයක, අසාමාන්‍ය අයිතම හැරුණු විට වර්ධනය 30.0% ට ආසන්න වූ අතර, එය අරමුදල් නොලබන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා වන බැංකුවේ අඛණ්ඩ උත්සාහය පිළිබිඹු කරයි.

අභියෝගයට ලක් වූ සාර්ව මට්ටමේ තත්වයන් සහ එහි ප්‍රධාන ගනුදෙනුකාර කාණ්ඩවලට අදාළ ඉහළ අවදානම් මට්ටම පිළිබිඹු කරමින් ණය හානිකරණ වෙන්කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. බදු පසු ලාභය රුපියල් බිලියන 12.7 ක් වූ අතර, එය 2021 වසරේ එම කාලසීමාවට සාපේක්‍ෂව 15.6% කින් අඩු වී තිබේ.

මහජන බැංකුවේ ස්ථාවර කාර්යසාධනය අඛණ්ඩව ඉදිරියට
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා

මුළු තැන්පතු රුපියල් බිලියන 2,286.3 දක්වා 10.4% කින් වර්ධනය වූ අතර, ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,811.0 ක් වූයේ 1.3% ක සුළු අඩුවීමක් පෙන්නුම් කරමිනි. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,028.5 ක් වූ අතර, එය 2021 අවසානයේ සිට 14.4% කින් වර්ධනය වී ඇත.

බැංකුවේ ස්වාධීන පදනම මත ස්ථර 1 සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත 11.2% සහ 15.6% වූ අතර, පිළිවෙළින් එය 2021 අවසානයේ 12.6% සහ 17.8% ක් විය. ඒකාබද්ධ පදනම මත, එය පිළිවෙළින් 12.4% සහ 16.3% ලෙස දැක්වූයේය. 2021 අවසානයේ එම අගයන් පිළිවෙළින් 13.4% සහ 17.9% ලෙස සටහන් වී තිබුණි. 2017 ජුලි 1 වන දින බාසල් 1 එළිදැක්වීමේ සිට එහි නියාමන ප්‍රාග්ධනය වැඩි කර ගැනීමට බැංකුව දරණ උත්සාහය බැංකුවේ ණය ආපසු ගෙවීමේ හැකියාවෙන් (solvency) පිළිබිඹු වන අතර, මේ වෙනුවෙන් තවදුරටත් උත්සහ දරමින් සිටී.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාථ ‘සියලුම සාධක සහ තත්වයන් සලකා බලන විට, බැංකුවේ ප්‍රතිඵල පිළිබඳව අපි සතුටුවන්නෙමු. ව්‍යාපාරයේ ක්‍ෂේත්‍රය හෝ ස්වභාවය කුමක් වුවත්, 2022 ආදායම් හෝ ලාභ මට්ටමින් කාර්ය සාධනය මනිනු ලබන වසරක් නොවෙයි. එය දරා ගැනීමේ හැකියාව, විචක්ෂණභාවය, නියාමන සීමා වලින් ඔබ්බට වගකීම් දැරීමේ සහ ගනුදෙනුකාර කේන්ද්‍රියත්වයට මුල්තැන දුන් වසරකි. පසුගිය වසර කිහිපය තුළ, මහජන බැංකුව සිය උපරිම හැකියාවන් භාවිතා කර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට සහාය වෙමින් රට ඉදිරියට ගෙනයාමට මූලික කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකුව පිරිනැමූ සේවා අතර, මෙරටට බොරතෙල්, ගල් අඟුරු, පොහොර සහ අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් ගෙන්වීමට දායකවීම කැපීපෙනෙයි. අප ජාතියට සේවය කිරීමට කැපවී සිටින අතර, බැංකුවේ විවිධ පාර්ශ්වකරුවන්ගේ වැඩිවන අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුව වඩාත් හොඳින් සවිබලගැන්වීමට අඛණ්ඩව ක්‍රියාකරමින් සිටින්නෙමු.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා ‘මේ වසරේ ආර්ථික සංකෝචනයක් සිදුවීමට ඉඩ ඇති අතර, ඒ හේතුවෙන් මුදල් අවප්‍රමාණය වීම මෙන්ම තවත් බොහෝ ශේෂ පත්‍ර සංකෝචනයට ඉඩ තිබේ. මෙම දුෂ්කර කාලවලදී ලාභදායිත්වය කේන්ද්‍ර නොකර, ද්‍රවශීලතාවය ඉහළ නැංවීම, ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ ඩිජිටල් බැංකුකරණ සහ වෙනත් ක්‍රම හරහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ආදියට මූලික අවධානය යොමු කෙරේ. ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය බොහෝ කරුණු මත රැඳුනු දිගු හා දුෂ්කර එකක් වනු ඇති අතර, අපි දැනට නිවැරදි මාවතේ ගමන් කරන බවට සුබවාදීව විශ්වාස කරමු. දැනට සිදුවී ඇති, සිදුවෙමින් පවතින සහ සිදුවිය හැකි වෙනස්කම් රටේ අනාගතය යහපත් අතට හැඩගැස්වීමට හේතුවන බව අපි සිතමු.’

advertistmentadvertistment
advertistmentadvertistment