මහත ළමයා සහ කෙට්ටු ළමයා

898

ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණය අතින් හයවැනි තැනට පත්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසා තිබේ. මේ රටේ ළමයින්ට උදව් කරන්නැයි එම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්‍ෂවරයා මුළු ලෝකයෙන්ම ඉල්ලා ඇත. මේ මොහොතේදී ශ්‍රී ලංකාව පවතින්නේ ලෝක උද්ධමනය පැත්තෙන් පස්වන ස්ථානයේය. අපට ඉදිරියෙන් තවත් රටවල් හතරක් සිටින නිසා ලෝක උද්ධමන ශූරතාව දිනා ගැනීමට තවත් සෑහෙන කලක් අපට ගතවෙනවා ඇත. එසේම ළමා මන්දපෝෂණ කුසලානය සඳහා ඊටත් වඩා කල් බලාසිටීමට සිදුවීම ස්ථිරය. කෙසේ වුවද ආණ්ඩුව හරි පාරේ ගියොත් මේ කුසලාන දෙකෙන් එකක්වත් අපට හිමිවන්නේ නැත. දැනට තිබෙන ආර්ථික අර්බුදය නිසා ළමා මන්දපෝෂණය සෑහෙන තරමකට වර්ධනය වී ඇති බව යුනිසෙෆ් සංවිධානයේ මතය වේ. ළමයෙකුගේ කෘෂභාවයට ආහාරය ඉතා තදින් බලපායි. උදාහරණයක් වශයෙන් ගත්කල දෙවන ලෝක යුද්ධයෙන් පසු සෝවියට් දේශය සහ ඇමෙරිකාව විසින් ජර්මනිය දෙකට බෙදා ගන්නා ලදී. බර්ලින් තාප්පය නමැති ගල් තාප්පයකින් වෙන්කරන ලද නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයටත්, බටහිර ජර්මනිය ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයටත් නතුවන සේ ගිවිසුමක් ගසන ලදී. බටහිර ජර්මනිය ධනවාදීන් විසින් පාලනය කරන ලද නිසා ඒ රටේ සිටින මිනිසුන්ට හොඳ ආහාර ලැබිණ. ඒ අනුව බටහිර ජර්මනියේ සිටි මිනිසුන්ද, ළමයින්ද උසටත්, මහතටත්, ශක්ති සම්පන්නවත් හැදී වැඩෙන්නට පටන් ගත්හ. නැගෙනහිර ජර්මනියේ සිටි ජනයා ජීවත් වුණේ සමාජවාදී ක්‍රමයටය. මේ කියන කාලයේ සමාජවාදය තුළ පෝෂ්‍යදායක ආහාර නැත. එසේම entertainment ද නැත. ඊට සමගාමීව නැගෙනහිර ජර්මනියේ සිටි ළමයි පාන්ඩුවෙන් පෙළෙමින්ද, වෙනත් ලෙඩ රෝගවලට පහසුවෙන් හසුවෙමින්ද, කෘෂවත්, දුර්වලවත් හැදෙන්නට පටන් ගත්හ. මීට අවුරුදු 40 ට පමණ පෙර සෝවියට් සංගමය කඩා වැටී බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය නැවත එක් රටක් බවට පත්කරන ලදී. මෙහිදී බටහිර සහ නැගෙනහිර ජනයා මිශ්‍ර වූ විට බටහිර අය යෝධයන් ලෙසත්, නැගෙනහිර අය කුරුමිට්ටන් ලෙසත් පෙනෙන්නට විය. ඉන්පසු නැගෙනහිර ජර්මනියද බටහිර ජර්මනියට අනුකූලව නිදහසේ සංවර්ධනය වීමට පටන් ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර ජර්මනියේ අද සිටින අයද බටහිර ජර්මනියේ සිටින මිනිසුන් මෙන් උස මහත අඩි හයේ හතරේ පොරවල් වෙති. චීනයේත් මෙවැනිම තත්ත්වයක් තිබේ. ඒ රටේ සංවර්ධනය වූ පළාත්වල ළමයි උසට මහතට බෝල ගෙඩි මෙන් සිටිති. සංවර්ධනයක් නැති දුර පළාත්වල සිටින ළමයි හුලන් ගිය බැලුම් බෝල මෙන් සිටිති. උතුරු කොරියාවේ තත්ත්වයත් මේ හා සමනය. ඒ සමාජවාදී රටේ නාගරික ජනතාව කායික වශයෙන් ෆුල් ෆිට්ය. ගම්බද ළමයින්ගෙන් වැඩිදෙනා පණක් කඳක් නැති පාණ්ඩු පිරිසක් ය.

ලංකාවේ ළමයි කෘෂ වෙන්නේ ඇයි? මෙයට හේතු කිහිපයක් තිබේ. 1977 ට පෙර මේ රටේ ජීවත් වූ ළමයින් කෙට්ටු වුණේ කන්න නැතිකමටය. එකල ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ පහළම ශ්‍රේණියේ රටක් වී තිබූ බැවින් ළමයින්ගේ ආහාර වේල පෝෂ්‍යදායක නොවීය. බොහෝවිට එකල සිටි දරුවන්ට කෑමට ලැබුණේ කබෝහයිඩ්රේට් බහුල ඛනිජ ලවණ හෝ ප්‍රෝටීන් හීන ආහාර පමණි. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාවේ ජනයා සෑම කෑම වේලක් සඳහාම මස්, මාළු, කරවල හෝ බිත්තර වැනි ප්‍රෝටීන් ප්‍රභවයන් සහිත ආහාර පරිභෝජනය කළේ නැත. ඔවුනට පරිප්පු පවා සුඛෝපභෝගී ආහාරයක් විය. මේ කියන කාලයේදී දරුවකුගේ කාය වර්ධනය පිළිබඳව විද්‍යාත්මක නිර්වචනයක් කළ හැකි පෝෂණවේදීන් සිටියේද ඉතා ස්වල්ප වශයෙනි. 1977 න් පසු මේ රටට විවෘත ආර්ථිකය පැමිණීමේදී රටේ ආහාර සම්ප්‍රදාය 1977 ආහාර සම්ප්‍රදායට වඩා වෙනස් විය. 1977 න් පසු බිත්තර සහ කුකුළු මස් බහුල වීමෙන් ප්‍රෝටීන් ප්‍රභවයන් වෙත පහසුවෙන් ළඟා වීමට ජනයාට හැකිවිය. එහෙත් එම හැකියාව ඉහළ මැද පන්තියෙන් නැවතුණි. මධ්‍යම පන්තිය, පහළ මැද පන්තිය සහ දුගී ජනතාව නමැති ජන ස්ථර තුනට බිත්තර, කුකුළු මස්, පරිප්පු, කරවල වැනි ආහාර නිතර ලබා ගැනීමට බැරි විය. මේ නිසා ගැමි ළමයා මධ්‍යස්ථ ශරීරයක් සහිත ළමයෙක් බවට පත්විය. ඒ අතර දුගී ගැමි පවුල්වල දරුවෝ හරි ආකාර කෑමක් බීමක් නැතිව උදේට නිරාහාරවත්, දවල්ට මඤ්ඤොක්කා අලයකිනුත්, රෑට බත් ඩිංගක් සහ එළවළු දෙකකිනුත් සන්ර්පනය වූහ. මේ ළමා ඛාණ්ඩය චර්ම රෝග සහිත කෘෂ පිරිසක් වූහ. ඒ අතර මේ රටේ නාගරික පන්තියේ පිබිදීමක් ඇතිවිය. ඔවුන් අතට මුදල් ලැබුණු අතර පෝෂ්‍යදායක ආහාර වෙත ප්‍රවේශවීමේ හැකියාවද එම පිරිසට විය. ඒ අනුව ඒ ළමයි ඇස්වහක් කටවහක් නැතිව බෝල ගෙඩි මෙන් වැඩෙන්නට වූහ. මේ ළමයි මේ ආකාරයෙන් ශාරීරික වර්ධනයක් පෙන්නුවද ඔවුන්ගෙන් වැඩිදෙනා කිසියම් ආකාරයක ලෙඩ රෝගයකින් නිතරම පෙලුනාහ. එයට හේතුව මේ රටේ නාගරිකයා තුළ ප්‍රබෝධමත් වී තිබුණු f්ිඑ දෙදා සංස්කෘතියයි. බැදපු අල හෝ බැදපු චිකන් හෝ පාන් පිටි සහ මේදය බහුල බර්ගර් වර්ග හෝ නිතර පරිහරණය කිරීමට නාගරික ළමයි කැමති වූහ. ඒ දරුවන්ගේ ජීවිතයද හරිම කාර්යබහුල විය. උදේට පාසල් ගිය ඔවුහු දවල්ට බත්, මාළු හෝ එළවළු වෙනුවට කිසියම් ක්ෂණික ආහාරයක් ගිල දමා ටියුෂන් එකකට සෙට් වූහ. ශ්‍රී ලංකාව අද වනවිට ඉතාම පුළුල් ලෙස ක්ෂණික ආහාරවලට බිලිවූ රටක් බවට පත්ව තිබේ. අප මෙහිදී ක්ෂණික ආහාර ලෙස හඳුන්වන්නේ බැදපු ඉස්සන් සහ බැදපු අලත්, චිලි සෝස් හෝ ටොමැටො සෝස් යන වර්ග දෙකත් සහිතව තිබෙන කෙටි ආහාර ගැනය. මේ ආහාර වේලක් මිලෙන් අධික වුවද රසින් ඉතා වැඩිය. ඒ අනුව මේවා අනුභව කළ ළමෝ ඉතා කෙටි කලක් තුළ කිසිදු සවි ශක්තියක් නැති පුළුන් බෝල බවටත් රෝගීන් බවටත් පත්වූහ. ඉහතින් අප විස්තර කළේ යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා කියන ලද කතාවෙන් හෙළිවන සත්‍යයට වඩා වෙනස් සත්‍යයක් පෙන්වන ඇත්ත කතාවකි. ලංකාවේ මහත ළමයා සහ කෙට්ටු ළමයා යනු කතන්දර දෙකකි. මේ රටට ආහාර ප්‍රතිපත්තියක් ද නොමැත. එබැවින් මහත ළමයා සහ කෙට්ටු ළමයා පිළිබඳ සත්‍යය දුප්පත්කම සහ පොහොසත්කම යන දෙකට සම්බන්ධ කතාවකි. මේ රට විවිධ අන්තවලට නොඇදී එක ප්‍රතිපත්තියක් මත පවතින්නේ නම් සියලුම දූ දරුවන්ට එක ලෙස ආහාර ලැබී ඔවුන් සියලු දෙනාම යථා තත්ත්වයට පත්වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment