මහදවල් මහපාරේ සීසර් ත‍්‍රස්තවාදය

238

ජුලියස් සීසර් ඝාතනය කරන ලද්දේ මාර්ක් ඇන්ටනි විසිනි. සීසර් කෲර සහ අධම පාලකයෙකි. ස්ත‍්‍රී ධූර්තයෙකි. තම සතුරන් සිංහයන් ට කෑම පිණිස පණ පිටින් සිංහ කූඩුවට වීසි කරවූ දුෂ්ටයෙකි. ඒ නිසා මාර්ක්  ඇන්ටනිගෙන් පිහි පාර කා මිය යෑමට අවශ්‍ය සුදුසුකම් සීසර් විසින් සපුරනු ලැබ තිබිණ. මේ රටේ මහ පාරවල් යුද්ධ භූමි බවට පත් කරමින් වාහන හිමිකරුවන් බෙල්ලෙන් අල්ලා වාහනවලින් එළියට ඇද දමා වාහන පැහැරගෙන යන වාහන සීසර්ලාද මහ පාරේ මැරුම් කෑමට අවශ්‍ය සියලූ සුදුසුකම් සපුරනු ලැබ සිටිති. එහෙත් මේ නෝන්ජල් රටේ සිටින නෝන්ජල් මිනිස්සු වාහන කොල්ලකෑමට එන සීසර්ලාට විරුද්ධව අතක්වත් නොඋස්සති. සීසර් රස්සාව යනු අන්තිම කාලකණ්ණි රස්සාවකි. අකුරු ඉගෙනීමට බැරිවූ දූෂිත ජීවිත සහිත වූ මිනිසුන් විසින් මේ රැකියාව කරනු ලැබේ. ඔවුහු ෆිනෑන්ස් කොම්පැනිවල කුලී මැරයෝ වෙති. පහත සඳහන් කතාව ඒ බව සනාථ කරන්නකි.
 
 මීගමුවේ කොච්චිකඬේ පළඟතුරේ තක්කියා පාරේ පදිංචි මාකස් නිව්ටන් කමල්රාජ් වාහන සීසර් කෙනෙකි. කොවිඞ් නිසා ෆිනෑන්ස් වාරික ගෙවා ගැනීමට බැරිවූ පුද්ගලයකුට අයත් වාහනයක් පැහැරගෙන එන ලෙස කොන්තරාත්තුවක් ෆිනෑන්ස් කොම්පැනියක් ඔහුට භාර දුන්නේය. වාහනයේ හිමිකරු ඉකුත් මැයි අට වැනිදා සිය බිරිය හා දස හැවිරිදි පුත‍්‍රයා සමග ප‍්‍රශ්නගත වාහනයෙන් ගමනක් යමින් සිටියේය. දාමරිකයන් පිරිසක් සමග වාහනය පසු පස පැමිණි කමල්රාජ් එය නවත්වා පැහැරගෙන යෑමට උත්සාහ කළේය. ලීස් කරන ලද වාහන පැහැර ගැනීම වහාම නවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙයට අවුරුද්දකට පමණ පෙර  නියෝගයක් නිකුත්කර ඇත. එයට හේතුවද පට්ට පල් හොරකු විසින් පවත්වාගෙන යන හොර ෆිනෑන්ස් කොම්පැනියක් ඉදිරිපිටදී එම කොම්පැනියෙන් වාහනයක් ගෙන අගතියට පත්වූ පුද්ගලයකු පෙර කී පට්ටපල් හොරාගේ දාමරිකයන් වෙතින් ඝාතනය වීමය. සිය වාහනය පැහැරගැනීමට උත්සාහ ගන්නා ලද අවස්ථාවේදී වාහන හිමිකරු එයට විරුද්ධ විය. එවිට වාහන හිමිකරුගේ දරුවා උදුරාගත් කමල්රාජ් වාහනය නොදුන්නොත් දරුවාගේ බෙල්ල කරකවා මරණ බව කීවේය. බියපත් වූ වාහන හිමිකරු සහ ඔහුගේ බිරිය කමල්රාජ් ට වාහනය භාර දුන්හ. ඔවුන් මීගමුව පොලිසියට ගිය කල්හි මීගමුවේ පොලිස් අපරාධ කොට්ටාසය වහාම ක‍්‍රියාත්මක විය. පසුව සැඟව සිටි කමල්රාජ් ද ෆිනෑන්ස් සමාගමේ කළමනාකරුද අත්අඩංගුවට ගන්නා ලදී. කමල්රාජ් දැනට රිමාන්ඞ් හිර ගෙදරට ගාල්කර තිබේ. ෆිනෑන්ස් සමාගමේ මැනේජර් සහ කුලී දාමරිකයන් තිදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කළමනාකරුට ඇප ලැබිණ. මේ සිද්ධිය සිදුවන අවස්ථාවේදී කමල්රාජ් ඇතුළු තුච්ඡ් දාමරිකයන් වටකොට පහර දී ඔවුන්ගේ අත පය කුඩු පට්ටම් නොකිරීම ඒ අවට සිටි සිංහලයන්ගේ නෝන්ජල්කමය. අපේ ජාතිය හැමදාමත් එක තැනම සිටින්නේ මේ හිඟන නෝන්ජල්කම නිසාය. කමල්රාජ් වැනි ත‍්‍රස්තවාදීන්ට අධිකරණය වෙතින් නිසි පාඩම් ලැබෙන බව අපට විශ්වාසය. (සිද්ධියට අදාළ ෆිනෑන්ස් සමාගමේ නම හෙළිකිරීමට අප සූදානම්ය)
 
 මේ රටේ ෆිනෑන්ස් සමාගම් විසින් මහජනතාව කොල්ලකන බවත් මහජනතාව සමග පාරට බැස එම ෆිනෑන්ස් සමාගම් වැටලීමට තමා සූදානම් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර  පසුගියදා පැවසීය. දයාසිරි සිය දේශපාලන ජීවිතයේ මෙතෙක් කියන ලද වටිනාම කතාව මෙය විය යුතුය. කොවිඞ් වසංගතය මෙරටට පැමිණෙන්නේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේය. එතැන් පටන් ගතවූ අවුරුදු එහකමාරකට කිට්ටු කාලයෙන් අවුරුද්දක පමණ කාලයක් රට වසා තබන ලදී. ඒ කාලයේදී ෆිනෑන්ස් පහසුකම් හරහා වාහන ලබාගත් අයගේ ආදායම් සියල්ල බිඳ වැටී තිබුණ හෙයින් ඔවුන්ට සහනයක් සලසන ලෙස ආණ්ඩුව සහ මහ බැංකුව, බැංකු සහ ෆිනෑන්ස් සමාගම් වලින් ඉල්ලා සිටින ලදී. මේ රටේ බැංකු මේ ඉල්ලීමට සවන් දී කොවිඞ් කාලය තුළ ණය වාරික ගෙවීමට බැරිවන අයට අඩු පොලී පහසුකම් සැලසූහ. එහෙත් ෆිනෑන්ස් සමාගම් වැඩි හරියක් එම ඉල්ලීම තඹ සතේකට ගණන් ගත්තේ නැත. ප‍්‍රමාද වෙන ෆිනෑන්ස් වාරික වෙනුවෙන් සීයට පහේ සිට සීයට එකොළහමාර දක්වා වූ අතරමැද වාර්ෂික පොලියක් අය කරන ලෙස ආණ්ඩුව ෆිනෑන්ස් සමාගම් වලට දැන්වුවද එම සමාගම් වැඩිහරියක් කෙලින්ම සීයට එකොළහමාරේ පොලිය උඩ සිට ගත්හ. කොවිඞ් වසංගතය යනු මෙරට ජනයා තමන් දන්නා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ඛේදවාචකයයි. එහිදී රටේ ව්‍යාපාරද, රාජ්‍යයද, ආණ්ඩුවද යන සියල්ල බිඳ වැටිණි. මේ බිඳ වැටීම තුළ ජනතාව සූරා මිරිකා බිම දමා පාගා මුදල් අයකර ගත්තෝ ඇතැම් ෆිනෑන්ස් සමාගම් පමණක්මය. ෆිනෑන්ස් සමාගම් ලෙස ලියාපදිංචි වුණු නීත්‍යනුකූල ආයතන රැුසක් මේ රටේ ඇත. ඊට අමතරව අතන මෙතන කඩ බක්කිවල පටන් ගත් හොර ෆිනෑන්ස් කම්පැනි දහස් ගණනක් ද මේ රටේ තිබේ.

අරතොට ෆිනෑන්ස්, මේතොට ෆිනෑන්ස් යනාදී වශයෙන් තැන තැන මතුව සිටින මෙකී ෆිනෑන්ස් හොරකොටු දුප්පත් මිනිහකුට වාහනයක් මිලට ගැනීම සඳහා කල්බදු පහසුකමක් නිකුත් කරන්නේ ඒ මිනිසාට කෙලවා වාහනය අත්පත් කරගෙන වැඩි මිලකට විකුණා මුදල් කොල්ලකනු පිණිසය. සාමාන්‍යයෙන් ෆිනෑන්ස් කර වාහනයක් ලබාගන්නා විට එම වාහනයේ වටිනාකමෙන් සියයට පනහක් ගෙවිය යුතුය. එනම් ලක්ෂ තිහක වාහනයක් මිලට ගන්නා කෙනෙක් එම වටිනාකමෙන් අඩක් වූ රුපියල් ලක්ෂ පහළොවක් ද ෆිනෑන්ස් ගාස්තු වශයෙන් තවත් රුපියල් ලක්ෂයකට පමණ කිට්ටු වූ ගණනක් ද ෆිනෑන්ස් සමාගමට ගෙවිය යුතුය. කොවිඞ් කාලයේදී වාරික ගෙවීම පැහර හැරෙන විට හොරකොටු ෆිනෑන්ස්කාරයා කරන්නේ එම වාහනයේ අයිතිකරුට පහරදී එය පැහැරගෙන විත් රුපියල් ලක්ෂ තිහකට හෝ ඊට වැඩි ගණනකට විකිණීමය. සමහරවිට වාහන අයිතිකාරයා ෆිනෑන්ස් සමාගමට වාහනය සඳහා ගෙවිය යුතු මුදලින් සීයට අනූවක් පමණ ගෙවා තිබියදීත් මේ පැහැරගැනීම් සිදුකරනු ලැබේ. එවිට අර අසරණයාට අතින් ගෙවූ රුපියල් ලක්ෂ පහළොවත් නැත; වාරික වශයෙන් ගෙවූ තවත් ලක්ෂ විසි පහක පමණ මුදලත් නැත; වාහනයත් නැත. ෆිනෑන්ස් සමාගම් නියාමනය කිරීම පිණිස වහාම කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විටින් විට නියෝග කර ඇති නමුදු නිලධාරිවාදී පල් හොරු එම නියෝග යට ගසති. එබැවින් ජනාධිපතිතුමා මැදිහත්ව වහාම මේ අසාධාරණය ගැන පියවරක් ගත යුතුය. නැත්නම් ෆිනෑන්ස් සමාගම් වැටලීම සඳහා දයාසිරි ජයසේකර පසුපස යෑමට මේ රටේ ජනතාවට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment