මහනුවරට දෙවැනි මාත‍්‍රාව දෙන්න ස්පුට්නික් – වී 120,000ක් සඳුදා ලැබෙයි

71

‘ස්පුට්නික් – වී’ එන්නතේ පළමු මාත‍්‍රාව ලැබූ මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාව සඳහා අවශ්‍ය එම එන්නතේ දෙවැනි මාත‍්‍රා එක් ලක්ෂ විසිදහසක (120,000) ප‍්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය

මෙම දෙවැනි මාත‍්‍රාව ලබා දීම යටතේ මෙරට ‘ස්පුට්නික්- වී’ එන්නතෙහි පළමු මාත‍්‍රාව ලැබූ සියලූ දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇති බව ඇමැතිවරයා කීවේය.

මහනුවර දිස්ත‍්‍රික්කයේ එක් ලක්ෂ පනස්දහසක (150,000) පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබා දී ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවැනි මාත‍්‍රාව ලෙස මෙරටට ලැබුණු 30,000ක එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණයක් අවස්ථා 02කදී ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඖෂධ ආනයනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡුාවක් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (15 දා) පැවැත්වුණු අවස්ථාවේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එලෙස මෙරටට ලැබීමට නියමිත ‘ස්පුට්නික්- වී’ මාත‍්‍රා තොගය ලැබුණු පසුව දින 03ක් ඇතුළතදී මහනුවර දිස්ත‍්‍රික්කයේ දෙවැනි මාත‍්‍රාව අවශ්‍ය පිරිස් වෙත එය ලබා දීම ආරම්භ කෙරෙන බව පවසන ඇමැතිවරයා ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරයි.

මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් බවත්, ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමග ඉදිරි සති කිහිපයේදී එම දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99%ට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවත් ඇමැතිවරයා කීවේය.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment