මහනුවරට විශේෂයි

1118

මහනුවර නගරයේ සංචාරය කරන්නේ නම් එම නගරයේ ඇති ත්‍රිරෝද රථවල ගමන් නොකරන්නැයි ඇතැම් තානාපති කාර්යාල මගින් තම තමන්ගේ රටවල වැසියන්ට දන්වා ඇතැයි වාර්තා වේ. මහනුවර නාගරික කොමසාරිස්තුමා කියන පරිදි මහනුවර නගරයේ ත්‍රිරෝද රථ මේ ආකාරයෙන් බ්ලැක් ලිස්ට් වී ඇත්තේ ත්‍රීවීල් රියැදුරන්ගේම කුපාඩි වැඩ නිසාය. වසර 2016 දී කරන ලද සමීක්‍ෂණයකට අනුව මේ රටේ තිබෙන ත්‍රිරෝද රථ ගණන මිලියන 1.06 එසේම මේ රටේ තිබෙන, ඉන්ධනවලින් ක්‍රියාකරන සමස්ත වාහන ප්‍රමාණය හැටතුන් ලක්‍ෂයක් වේ. එයින් තිස්තුන් ලක්‍ෂයක් ම මෝටර් සයිකල් ය. කිසියම් රටක ත්‍රිරෝද රථ දාසය ලක්‍ෂයක් තිබීම සැලකියයුතු කාරණයකි. ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙනි.
බලාගෙන යන විට ඉන්දියන්කාරයා තමන් හැදූ ත්‍රීවීලර්වලින් 80% ක් පමණ ශ්‍රී ලංකාවට පටවා ඇති බව පෙනී යයි. ත්‍රිරෝද රථය මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1976 දී ය. කොළඹ ආමර්වීදියේ පිහිටි සමාගමක් විසින් එම ත්‍රීවීලර් ඉන්දියාවේ බජාජ් කොම්පැණියෙන් ආනයනය කරන ලදුව එකක් රුපියල් පනස්දහසකට වඩා අඩුවෙන් විකුණනු ලැබීය. එකල ත්‍රීවීලර්වල මෙකල මෙන් රිවස් ගියරයක් නැත. ත්‍රීවීලරය පිටුපසට හැරවිය යුතු නම් රිවස් ගියරය නැති නිසා සම්පූර්ණ යූ ටර්න් එකක් ගැසිය යුතු විය. අද තිබෙන ත්‍රිරෝද රථ තාක්‍ෂණයෙන් ඉතා උසස් ය. 1976 දී මේ රටේ තිබුණු ත්‍රීවීලර් මෙන් ගොරහැඬි, සුවපහසු නොවන ත්‍රිරෝද රථ අද ලංකාවේ නැත.

අද තිබෙන ත්‍රිරෝද රථවල සුව පහසු නොවන්නේ රියැදුරා පමණි. සමහර විට මේ රියැදුරා කපටියෙකි. තවත් විටෙක වංචනිකයෙකි. නො එසේ නම් වලත්තයෙකි. ඒ අතර ඉතා හොඳ ගුණයහපත් මිනිස්සුද සිටිති. වනචර ත්‍රිරෝද රථ රියැදුරෙක් නිතරම කරන්නේ තම රථයට ගොඩවන කාන්තාවක් රවටාගෙන හෝටලයකට ගෙනයෑමය. තවත් ත්‍රිරෝද රථ රියැදුරෙක් කිලෝමීටර් 5 ක දුරට අධික ගාස්තුවක් අය කරයි. ඒ අනුව එම ගමන බෙන්ස් රථයක් කුලියට ගෙන ගියේ නම් වඩා ලාභදායක බව මගියාට කල්පනා වේ.

මහනුවරට එන සංචාරකයෝ නිරන්තරයෙන් ම ත්‍රිරෝද රියැදුරන් සමඟ ගැටෙති. සුද්දා යනු මෝඩයෙක් හෝ කොන්ඩෙ බඳින කාලයේ සිටි චීනෙකු නොවේ. ඔහු තම රටේ තිබෙන කොම්පැණියක හෝ ආයතනයක පුරා මාස 11 ක් වැඩකර එයින් ඉතිරිකරගත් මුදලින් වැකේෂන් එක සඳහා ශ්‍රී ලංකාවට එයි. ලෝක ආර්ථික උද්ධමනය නිසා මේ විදේශිකයන් නිරන්තරයෙන් ම උත්සාහ කරන්නේ ඉතා අඩු බජට් එකක් යටතේ ලංකාව දැක බලා ගැනීමටය. ඒ නිසා ඔවුහු චූන් පාන්ගෙන්
කිඹුල බනිස් කති. පෙට්ටි කඩවලින් තේ බොති. කබල් හෝටල්වලින් දිවා ආහාරය කති. සාමාන්‍යයෙන් ඔවුන් හෝටල් කාමරයට ගෙවන මිලට අමතරව දිනකට ඩොලර් 100 ක් වත් වැය නොකරන අවස්ථා තිබේ. දැනට තිබෙන ඩොලර් රේට්එකේ හැටියට මෙවැනි සුද්දකු දවස් තිහක් ශ්‍රී ලංකාවේ සිටියහොත් එමගින් රුපියල් ලක්‍ෂ 12 ක් හා සමාන ඩොලර් ආදායමක් ලංකාවට ලැබේ.

මහනුවර සහ මේ රටේ නගර බොහොමයක සිටින ත්‍රිරෝද රථ රියැදුරෝ සංචාරය පිණිස තමන්ගේ රථයට නඟින සුද්දන් සුද්ද කරති. ඔවුන් හදන්නේ පාත්තයා මරා රත්තරන් බිත්තර සියල්ලම එකවර ගැනීමය. එබැවින් ත්‍රිරෝද රථ රියැදුරා හෝ කඩ හිමියා හෝ කඩල කාරයා හෝ චූන් පාන් හෝ තමන්ට වංචා කරන බව සුද්දාට හැඟුණහොත් එම පුද්ගලයන්ට එරෙහිව සුද්දෝ නැඟී සිටිති. රුපියල් දහසකින් යා හැකි දුරක් සඳහා රුපියල් පහළොස් දහසක් ඉල්ලූ ත්‍රිරෝද රථ රියැදුරකු ගැන පසුගිය දිනක අපට අසන්නට ලැබිණ. තම රටේ වැසියා රැකගැනීම තානාපති කාර්යාලවල වගකීම වේ. එබැවින් මහනුවර ප්‍රදේශයේ රජයේ ප්‍රධානීන් සහ පොලිසිය එක්වී ත්‍රිරෝද රථ හිමියන් දැනුවත් කිරීමටත් වංචනික ත්‍රිරෝද රථ හිමියන්ට දඬුවම් දීමටත් පියවර ගත යුතුය.

පෙට්‍රල් හිඟ කාලයේදීත් ත්‍රිරෝද රථ රියැදුරන් දවස් ගණන් පෝලිම්වල ලැග්ග බව අපි පිළිගනිමු. එසේම එදා වේල නැතිවීම හේතුවෙන් ඔවුහු බරපතළ ඇබැද්දියකට ලක්වූහ. දැන් එළඹෙමින් පවතින්නේ ආර්ථික අර්බුදයෙන් යම් ප්‍රමාණයකට ගොඩවිය හැකි අවස්ථාවකි. ඒ අවස්ථාවේදී සුද්දන් තරහ කරගෙන ශ්‍රී ලංකාවේ සිටින ත්‍රිරෝද රථ රියැදුරන් පල් හොරුන් බවට ඔප්පු නොවන පරිදි වැඩ කිරීම ත්‍රිරෝද රථ හිමියන්ගේ සාමූහික වගකීම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment