මහනුවරින් පැහැරගත් දරුවා මහරගමින් සොයා ගැනේ

290

සැකකරුත් අත්අඩංගුවට
දරුවා කෝච්චියෙන් පනින්නත් හදලා
දරුවා වෛද්‍ය පරීක්ෂණයකට

මහනුවර දළදා පෙරහැර නැරඹීමට දෙමාපියන් සමඟ පැමිණ සිටියදී දින 2 ක් අතුරුදන්ව සිටි 8 හැවිරිදි අමිල අභිමන් නමැති දරුවා මහරගම දුම්රිය ස්ථානයට ළඟා වූ කැලණිවැලි දුම්රියේදී සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙම දරුවා පැහැරගෙන යමින් සිටි බව කියන 30 හැවිරිදි පේරාදෙණිය පදිංචි පුද්ගලයකු ද මහත් පරිශ්‍රමයක් දරා දුම්රිය මගීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.

මයිලපිටිය, තලාතුඔය ප්‍රදේශයේ පදිංචි එම දරුවා අගෝස්තු 03 වැනිදා තම මවුපියන් සමග මහනුවර දළදා පෙරහැර නැරඹීමට පැමිණ තිබේ.

එහිදී මවුපියන්ට නොදන්වා සැකකරු දරුවාට ආහාර ලබාදෙන බව පවසා රවටා ගෙන කොළඹ රැගෙනවිත් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

අදාළ දරුවාගේ මවුපියන් විසින් දරුවා අතුරුදන්ව ඇති බවට මහනුවර පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබූ අතර, පසුව පොලිසිය දිවයිනේ අනෙකුත් පොලිසි ස්ථාන ද දැනුවත් කර විමර්ශන අරඹා තිබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත දරුවා රැගෙන පැමිණ ඇති සැකකරු පෙරේදා (04 වැනිදා) රාත්‍රී 8.00 ට පමණ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ දරුවා සමග ගමන් කර තිබේ.

අවිස්සාවේල්ල බලා ධාවනය වූ එම කැලණිවැලි දුම්රිය තුළදී මෙම දරුවා දිගින් දිගටම ඔහු රැගෙන යන සැකකාර පුද්ගලයාව ප්‍රතික්ෂේප කිරීම ගැන දුම්රිය මගීන්ට සැකයක් හටගෙන තිබිණි.

මරදාන ප්‍රදේශය පසුකරමින් දුම්රිය ධාවනය වන අවස්ථාවේ දරුවා දුම්රියෙන් පැනීමට උත්සාහ කිරීමත් සමග දුම්රිය මගීන්ගේ සැකය තීව්‍ර වී ඇත.

එහිදී දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවා සමග පැමිණි පුද්ගලයා නුගේගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් පැන පලා යෑමට උත්සාහ දරා තිබේ.

එහිදී දුම්රිය මගීන් පිරිසක් ඔහු පසුපස පන්නා ගොස් මහත් පරිශ්‍රමයක් දරා අදාළ පුද්ගලයා අල්ලාගෙන නැවත දුම්රියට රැගෙනවිත් දරුවා ඉදිරියේ ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී කුඩා දරුවා සහ සැක කටයුතු පුද්ගලයා ලබාදුන් ප්‍රකාශයන් පරස්පර වීම හේතුවෙන් දුම්රිය මගීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ ගැන දැනුම් දී තිබේ.

ඒ සිදු කළ දැනුම් දීමට අනුව මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මහරගම දුම්රිය ස්ථානයට පැමිණියහ.

නුගේගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියෙන් දරුවා හා අනෙක් පුද්ගලයා මහරගම දුම්රිය ස්ථානයට රැගෙන ගිය අතර, පසුව එහිදී දුම්රිය මගීහු දරුවා හා අනෙක් පුද්ගලයා පොලිසියට දුන්හ.

එහිදී පොලිසිය සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

සැකකරු දින දෙකක කාලය තුළදී දරුවා රැගෙන දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කර ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබිණි.

සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මහනුවර මයිලපිටිය පදිංචි දරුවාගේ දෙමාපියෝ ඊයේ (05වැනිදා) මහරගම පොලිසියට පැමිණ ප්‍රකාශයක් ද දුන්හ.

මේ පිළිබඳව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මේ අතර අපරාධකරුවන් විසින් විවිධ අරමුණු සඳහා ළමයින් රවටා රැගෙන යා හැකි බවත්, එලෙස ළමුන් රවටා රැගෙන යෑමට මෙවැනි අවස්ථා උපයෝගී කරගත හැකි බව විවිධ සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මේ හේතුවෙන් මහජනයා වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල ගැවසීමේදී මවුපියන් තම කුඩා දරුවන් ගැන දැඩි අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව ද එම කොට්ඨාසය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment