මහනුවර පාසලක් තුළදීම විභාගයට පෙනී සිටි සිසුවාට විකට් පොලු ප්‍රහාරයක්

827

ගණිතයට පිළිතුරු ලිවීමත් මඟහැරේ
සිසුන් පිරිසකගේ නොහොබිනා වැඩක්

මහනුවර කටුගස්තොට ප්‍රධාන පෙළේ පිරිමි පාසලකදී සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයයට පෙනී සිටි සිසුවකුට එම පාසලේම සිසුන් පිරිසක් පහරදීම නිසා එම සිසුවාට ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නොහැකිව රෝහල්ගත වීමට සිදුවී තිබේ.

පෙරේදා (06 දා) පහරකෑමට ලක්වූ සිසුවා ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයට පෙනී සිට පාසලේ ආපනශාලාවට ගොස් සිටියදී එම පාසලේම සිසුන් පිරිසක් පැමිණ “තොට විභාගයට ඉන්න දෙන්නේ නෑ” යැයි පවසමින් විකට් පොලු වැනි දෙයකින් පහරදී ඇත.

එම පහරදීම නිසා සිසුවා මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ අතර එදින පැවැති ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට ඔහුට නොහැකි වී ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා පාසලේ දක්‍ෂ සිසුවකු වන අතර ඊයේ (07 දා) පැවැති විෂයයට මුහුණ දීම සඳහා සිසුවා රෝහලෙන් ටිකට් කපාගෙන ගොස් ඇති බවද පැවසේ. සිසුවාට පහර දීමට සිසුන් 07 දෙනකු සම්බන්ධවී ඇති බව පැවසෙන අතර විභාගය අවසන්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට කටුගස්තොට පොලිසිය කටයුතු කරන බව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ජයසිංහ මහතා පැවසීය.
චමින්ද සිල්වා, සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment